නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 5

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ ප්‍රථම භාගයේ අවසාන කොටස අද දින මෙහි පළ කරමු.

මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් වන අතර, එහි ප්‍රථම භාගයේ පස්වැනි කොටස ලෙස එන “බුද්ධිමතුන් හා කම්කරුවන්” යන පරිච්ඡේදය මෙහි අද දින පළ කෙරේ. මෙය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිලිබඳ උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

5. බුද්ධිමතුන් හා කම්කරුවන්

බහුතරයේ ඍජු නිර්ධන පන්ති දිශානතිය බර්න්හැම් විසින් නිරූපණය කරනු ලැබ ඇත්තේ “බුද්ධිමතුන්”ට එරෙහි විරුද්ධත්වයේ ප්‍රකාශනයක් ලෙස සහ පොදුවේ අධ්‍යාපනයට එරෙහි ව අඳබාල ගැමියන්ගේ ප්‍රාග් විනිශ්චයක් ලෙස ය. “The War and Bureaucratic Conservatism (යුද්ධය හා නිලධාරිවාදී ගතානුගතිකවාදය)” නම් සිය ප්‍රධාන ලේඛනයේ ඔහු මෙසේ ලියයි: “අන් සියල්ලටමත් වඩා, ‘බුද්ධිමත් භාවයට එරෙහි’ හා ‘බුද්ධිමතුන්ට එරෙහි’ ආකල්පයක් පක්ෂ සාමාජිකයන්ගේ මනසට කා වද්දනු ලැබේ. ‘බුද්ධිමතුන්ට’හා ‘බුද්ධිමත්කම’ට ගර්හා කිරීමටත් අවමන් කිරීමටත් සිය කණ්ඩායම් සගයන්ට සැබැවින් ම උගන්වනු ලැබේ.” තමන් පමණක් හොඳින් දන්නා හේතු මත ෂැට්මන් හා ඇබර්න් මෙම විරෝධතාවට සිය නම් ද ඇතුලත් කරමින්, මධ්‍යස්ථභාවය ප්‍රකාශ කිරීමට තමන්ට සෑම අයිතියක් ම ඇති ගැටුමක පැත්තක් ගැනීමට තීරණය කරති.       

විපක්ෂය පිළිබඳ නො සැඟවූ සානුකම්පාවකින් යුතුව අපේ අභ්‍යන්තර සාකච්ඡාව අනුයන ලව්ස්ටෝන්වාදීන්ගේ The Workers’ Age (කම්කරු යුගය) පුවත්පත, උනන්දුවක් දක්වන පක්ෂවාදියෙකු ලෙස ගැටුමට එළැඹෙයි. ප්‍රකාශයට පත් කරන ලද මගේ කථාවක එන, පන්ති අරගලයේ නිමග්නව සිටින කම්කරු කොටස් වඩාත් උගත් පඬිවරුන්ට වඩා හොඳින් රුසියානු ප්‍රශ්නය වටහා ගනිතැයි යන සඳහනක් ගැන අදහස් දක්වමින් මාර්තු 9 වන දින වර්කර්ස් ඒජ් පුවත්පත මෙසේ කියයි: “මෙය නිසැකව ම, අධ්‍යාපනය ලබා සිටීමට ‘අභාග්‍ය සම්පන්න’ වූ බර්න්හැම් එල්ල කොට කියන ලද්දකි. මේ ආකාරයේ අපහාස; සාධු ගුණයෙන් හා පැහැදිළි දැක්මකින් යුතු ‘නිර්ධන පංතික’ කොටස් දුෂ්ට හා ව්‍යාකූල වූ ‘බුද්ධිමතුන්’ගෙන් විලක්ෂණය කොට දක්වන පැරැණි ස්ටැලින්වාදී කපටි කථා ම විනා අන් කුමක් ද? වරදවා නො ගන්න. මේ එම වර්ගයේ ම කුණු වී ගිය ප්‍රතිපත්ති විරහිත ගෝසා බද්දයන් ම ය!”            

අපි මෙය විමසා බලමු. මතු වී ඇති ප්‍රශ්නය වන්නේ නිර්ධන පන්ති ව්‍යාපාරය කරා සපැමිණි සුළු ධනපති පන්තියේ උගත් සාමාජිකයන් කෙරේ නිර්ධන පන්ති විප්ලවවාදීන් දරන ආකල්පයයි. මෙය පැහැදිළි කිරීමට වටනා වැදගත් ප්‍රශ්නයකි. බර්න්හැම්ගේ ශාස්ත්‍රාලීය පුහුණුවත්, වෘත්තීයත්වය හා සාමර්ථ්‍යයනුත් සාක්ෂ්‍ය දරන පරිදි නිසැකව ම ඔහු බුද්ධිමතෙකි. එහි කිසිදු වරදක් නො මැති අතර, ඒ හේතුව මත ඔහුට අවලාද නැඟීමට අපට සුළු හෝ හේතුවක් තිබිය නො හැක. මාක්ස් පැවසූ පරිදි “නූගත්කම කිසිදා කිසිවෙකුට කිසිදු යහපතක් කර නැති” බව අප හොඳින් දන්නා අතර, තමන්ගේ ම අරමුණු ඉටු කර ගනු වස් තක්කඩි වාචාලයන් විසින් “උගත් ජනයා”ට එරෙහිව වපුරනු ලබන අශිෂ්ට අගතීන් සමඟ පොදු කිසිවක් හෝ අපට නැත. ලෙනින් මේ කරුණ සම්බන්ධයෙන් ගෝර්කිට මෙසේ ලියා යැවීය: “සත්තකින් ම, තකතීරු සින්ඩිකල්වාදී (සම්මේලවාදී) බාලයන් මෙන් ‘බුද්ධිජීවී ගණයට හිංසා පීඩා පැමිණවීමේ’ සිහිනයක් මම දැක නැත්තෙමි. එමෙන් ම, කම්කරු ව්‍යාපාරයට එය (එකී බුද්ධිජීවීන්) අත්‍යවශ්‍ය බව ද මම කිසිදා ප්‍රතික්ෂේප කර නැත්තෙමි.” එවැනි හැඟීම් අපට ආරෝපණය කිරීම වූ කලී පක්ෂයේ මාක්ස්වාදී පාර්ශ්වය මත වගුරන අපවාදයකි. අනෙක් අතට, අපි හුදු ‘අධ්‍යාපනය’ නිසා අනවශ්‍ය ලෙස ප්‍රසාදයට පත් නො වන්නෙමු; ඒ පිළිබඳ හුදු කියාපෑම් කෙරේ අපේ සැලැකිල්ල ඊට ද වඩා අඩුය. සියලු ප්‍රශ්නවලට සේ ම මෙම ප්‍රශ්නයට ද අපේ ප්‍රවිෂ්ඨය විචාරාත්මක එකකි.

විද්‍යාත්මක සමාජවාදයේ ව්‍යාපාරය වන අපේ ව්‍යාපාරය දේවල් හා පුද්ගලයන් විනිශ්චය කරන්නේ පන්ති දෘෂ්ටි කෝණයකිනි. අපේ අරමුණ වන්නේ බලය සඳහා නිර්ධන පන්ති අරගලයට නායකත්වය දෙන පෙරටු බලඇණි පක්ෂය සංවිධානය කිරීම සහ සමාජවාදී පදනම් මත සමාජය ප්‍රතිසැකැසුම් කිරීමයි. එය අපේ “විද්‍යාව”යි. අන්‍ය පන්තිවලින් අප කරා එන සියලු පුද්ගලයන් අප විනිශ්චය කරන්නේ ඔවුන් අපේ පන්තිය සමඟ සැබැවින් ම අනන්‍ය වන ප්‍රමාණය මත සහ, ධනපති පන්තියට එරෙහි සිය අරගලය තුල නිර්ධන පන්තියේ ආධාරයට ඔවුන්ට ලබා දිය හැකි දායකත්වය මත ය. ව්‍යාපාරය තුල සිටින බුද්ධිමතුන් පිළිබඳ ගැටළුව අප වෛෂයිකව සලකා බලන්නේ මෙම රාමුව තුල ය. ඉදින් විප්ලවවාදී කම්කරු ව්‍යාපාරය කරා පැමිණෙන සෑම බුද්ධිමතුන් 100 දෙනෙකුගෙන් ම අවම වශයෙන් 99 දෙනෙක් ආන්තික “ගතානුගතිකත්වයකින්” කතා කරන්නහු නම්, ඔවුහු වත්කමකට වඩා ගැටළුවක් බවට පත් වන්නාහු නම්, ඒ කිසිසේත් ඔවුන්ට එරෙහි අපේ අගතීන් නිසා සිදු වන්නක් හෝ, අප ඔවුන් කෙරේ නිසි සේ නො සැලකීම නිසා සිදුවන්නක් නොව, ඔවුන්ට අපේ අරගලයට ප්‍රයෝජනවත් විය හැකි එක ම ක්‍රමය ලෙස සපුරා ලිය යුතු අවශ්‍යතාවලට ඔවුන් අනුකූල නො වීම නිසා සිදු වන්නකි. 

පාලක ධනේශ්වර පන්තියේ බිඳවැටීම එකී පන්තියේ කොටස් නිර්ධන පන්තියට ඇද දමන බව සහ, අන්‍යයන් – නිසැකව ම, ප්‍රධාන වශයෙන් තනි තනි පුද්ගලයන්ගෙන් සැදුම් ලත් වඩාත් කුඩා කොටසක් – ජරපත් වෙමින් පවතින ධනේශ්වර පන්තියේ පෙකණි වැල කපා ඉන් මිදී නිර්ධන පන්තියට බුද්ධියේ හා ප්‍රගතියේ නැවුම් මූලාංග සම්පාදනය කරන බව, විද්‍යාත්මක සමාජවාදයේ න්‍යාය හා වැඩ පිළිවෙල ප්‍රථම වරට විධිමත් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු කොමියුනිස්ට් ප්‍රකාශනය තුලමත් පෙන්වා දී තිබිණ. විද්‍යාත්මක සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවරුන් වන මාක්ස් හා එංගල්ස් ම ද, වෙනත් පන්තියක සිට නිර්ධන පන්තිය වෙත පැමිණියෝ වූහ. ව්‍යතිරේකයකින් තොරව ම, අපේ ව්‍යාපාරයේ සෙසු සියලු ශ්‍රේෂ්ඨ ගුරුවරුන් සම්බන්ධයෙන් ද එකී තතු සත්‍ය වේ.    

ලෙනින්, ට්‍රොට්ස්කි, ප්ලෙකනොව්, ලක්සම්බර්ග් – මේ කිසිවෙක් හෝ සිය පන්ති සම්භවය තුල නිර්ධන පන්තිකයෝ නො වූහ. නිර්ධන පන්තිය කරා පැමිණි ඔවුහු ශ්‍රේෂ්ඨතම නිර්ධන පන්ති නායකයන් බවට පත් වූහ. කෙසේවෙතත් ඒ සඳහා ඔවුන්ට, තමාගේ ම පන්තිය හැර පියා “විප්ලවවාදී පන්තිය”වෙත, “අනාගතය සිය’තෙහි දරනා පන්තිය” වෙත එළැඹීමට සිදු විය. පන්ති පක්ෂපාතිත්වයේ මෙම පරිවර්තනය ඔවුහු කොන්දේසි විරහිතව ද, අනවශේෂ ලෙස ද සිදු කළෝය. තමා හදාවඩා ගැනෙන පන්තියේ අව්‍යාජ නියෝජිතයන් බවට පත්වීමට ද, එය සමඟ පූර්ණ ලෙස බද්ධවීමට ද, තමන් සහ නිර්ධන පන්තියෙන් සම්භව වූ විප්ලවවාදීන් අතර ගැටුමේ සේයාවක් හෝ නො තබා ඉවත් කර දැමීමට ද ඔවුන්ට හැකි වූයේ එපරිද්දෙනි. ඔවුන් සම්බන්ධ කාරනාවේ දී කිසිදු “ගැටළුවක්” නො වීය; එසේ වීමේ හැකියාවක් ද නොවිණි.

ලෙනින්, රෝසා ලක්සම්බර්ග් හා ට්‍රොට්ස්කි – ඡායාරූපය අන්තර්ජාලයෙනි

පරපුරෙන් පරපුරට පොදුවේ සමස්ත ලෝකයේ ම කම්කරු ව්‍යාපාරය තුල සිදු වී ඇති සේ ම, අපේ පක්ෂයේ නිර්ධන පාන්තික විප්ලවවාදීන් හා සුළු ධනපති බුද්ධිමතුන් අතර ගැටුම ද පැන නඟින්නේ කිසිසේත් ම, සුළු ධනපති බුද්ධිමතුන්ට එරෙහිව කම්කරුවන් තුල පවත්නා නූගත්කමේ අගතීන් නිසා නොවේ. එය පැන නඟින්නේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් වන පරිදි ඔවුන් “පිටස්තර පන්තිවල පෙකණි වැල කපා මිදී ගැනීම”ට හෝ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “විප්ලවවාදී පන්තිය සමඟ බද්ධවීම”ට ක්‍රියා නො කිරීම නිසා ය. කොන්දේසි විරහිතව මුළු දුර ගෙවා නිර්ධන පන්තිය වෙත එළැඹුණු ඉහත සඳහන් කළ ශ්‍රේෂ්ඨ නායකයන් මෙන් නො ව ඔවුහු, පන්ති විකල්පයන් අතරේ මැද ස්ථානයක අවිනිශ්චිත ව පසුබට වෙමින් සිටිති. කුණු වී දුගඳ හමන සමස්ත පරපෝෂිත පාලක පන්ති පර්යායේ එක තැන පල්වීමට එරෙහිව කැරැළි ගැසීමට ඔවුන්ගේ බුද්ධිය හා යම්තාක් දුරකට ඔවුන්ගේ දැනුම ද ඔවුන් පොළඹවයි. අනෙක් අතට ඔවුන්ගේ සුළු ධනේශ්වර ස්වභාවය, නිර්ධන පන්තිය හා එහි පෙරටු බලඇණි පක්ෂය සමඟ මුළුමණින් අනන්‍ය වී, ඔවුන් තම මුළුමහත් ජීවිත ම නව නිර්ධන පාන්තික පරිස්ථිතියක් තුල යළි හැඩ ගස්වා ගැනීම වළකා ලමින් ආපස්සට අදියි. බුද්ධිමතුන් පිළිබඳ “ගැටළුවේ” ප්‍රභවය ඇත්තේ මෙහි ය.

“අනාගතය රඳා ඇත්තේ සිය’තෙහි ය” යන්න සම්බන්ධයෙන් සවිඥානක විප්ලවවාදී කම්කරු ව්‍යාපාරය ආත්ම විශ්වාසයෙන් යුක්තය; උදාරම් ය; එය ඉහළ ම මට්ටමේ නිරවද්‍යතාවය ඉල්ලා සිටී. එය සියලු දෙනාගෙන්, විශේෂයෙන් ම සිය නායකයන්ගෙන්, ඉල්ලා සිටින්නේ “එක්කෝ සියල්ල ලබා දෙනු, නැතහොත් කිසිවක් එපා!”යනුවෙනි. බුද්ධිමතුන් නිර්ධන පාංතික ක්‍රියාධරයන් සමඟ ගැටුමට ගෙන යනු ලබන්නේ, අපේ පක්ෂයේ විරුද්ධ පාර්ශ්වය කෙරේ සහානුකම්පාව දක්වන ලව්ස්ටෝන්වාදීන් කියා සිටින පරිදි ඔවුන්ගේ “අධ්‍යාපනය” විසින් නොව, ඔවුන්ගේ සුළු ධනපති ස්වභාවය විසිනි; ඔවුන්ගේ කාලකන්ණි අර්ධභාවය විසිනි; තමන්ගේ අතිරේක කාලය තුල විප්ලවවාදී කම්කරු ව්‍යාපාරයට නායකත්වය දීමේ ඔවුන්ගේ අභූතරූපී අභිලාෂය විසිනි. 

වැඩි දියුණු සටන්කාමී කම්කරුවන් අධ්‍යාපනයට සතුරු බවත්, උගත් ජනයා සම්බන්ධයෙන් අගතිගාමී බවත් කීම සත්‍යයක් නොවේ. සත්‍යය නම් එහි ප්‍රතිබද්ධයයි. ව්‍යාපාරයට ප්‍රවිෂ්ඨ වන සෑම බුද්ධිමතෙකු කෙරේ ම පමණ ඉක්මවූ ගෞරවයක් ද, එවන්නෙකු විසින් ඉටු කෙරෙන සෑම කුඩා සේවයක් සම්බන්ධයෙන් ම පමණ ඉක්මවූ අගය කිරීමක් ද ඔවුහු දක්වති. බර්න්හැම් අපේ ව්‍යාපාරයට විධිමත් ලෙස ඇතුළු වූ විට ඔහු ලද පිළිගැනීම තුල ද, මේ මුළු කාලය පුරා ඔහුට දෙන ලද අසාමාන්‍ය සැලකිල්ල තුල ද තරම් ඒත්තු යන ආකාරයෙන් මෙය විදහා දැක්වුණු අන් අවස්ථාවක් නොවේ. පන්ති අරගලයේ කිසිදු ආධුනිකත්ව පුහුණුවකින් තොරව ම ඔහු ජාතික කමිටුවේ සාමාජිකයෙකු බවට පත් විය. අපේ න්‍යායික සඟරාවේ කර්තෘවරුන්ගෙන් කෙනෙකු ලෙස ඔහු පත් කරන ලදී. සියලු පිළිගැනීම හා පක්ෂයේ ප්‍රමුඛ නායකයෙකු වීමේ “ගෞරවය” ඔහුට පහසුවෙන් හිමි විය.    

නායකත්වයේ වගකීම් කෙරේ ඔහු දැක්වූ ගර්හනීය ආකල්පය; පක්ෂ කටයුතු හුදු අතිරේක කාලයේ කෙරෙන අතිරේක කටයුත්තක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස නොව වෘත්තියමය ආකාරයෙන් කිරීමට කැපවීම නිරතුරුව ම ප්‍රතික්ෂේප කිරීම; පක්ෂ සගයන් කෙරේ ඔහුගේ පැවැති ගර්විත හා අවමන්සහගත ආකල්පය; අපේ සම්ප්‍රදාය සහ අපේ ජාත්‍යන්තර සංවිධානය හා එහි නායකත්වය පිළිබඳව පවා ඔහු දැක්වූ අගෞරවය – මේ සියල්ල හා තවත් දේ, පක්ෂයේ කම්කරු කොටස් විසින් – ඉදින් කිසිසේත් ම ඒවා අනුමත කිරීමෙන් තොරව වුව – නිහඬ ව, නොතකා හරින ලදී. බර්න්හැම් අපේ වැඩ පිළිවෙල පෙරළා දැමීමට එළිපිට ම ප්‍රයත්නයක යෙදෙන තුරුමත්,  පක්ෂයේ කම්කරු කොටස් ඔහුට එරෙහිව නැඟී සිටිමින් නිසි පිළිවෙලට අවනත වන ලෙස ඔහුට දන්වා සිටියේ නැත. මෙම විප්ලවවාදී ක්‍රියාව තමන්ගේ “උගත්කම” නිසා තමන්ට එරෙහිව ඇති අඥාන අගතියක ප්‍රකාශනයක් ලෙස දැක්වීමට ඔහු දැන් දරන ප්‍රයත්නය, හුදෙක් ඔහුගේ ම සුළු ධනේශ්වර ස්වභාවය හා කම්කරුවන් වෙත ඔහු දක්වන සුළු ධනේශ්වර අවඥාව පිළිබඳ තවත් – වඩාත් ම ප්‍රකට කරන සුළු ආකාරයේ – විදහා දැක්වීමක් පමණි. 

මාක්ස්වාදයේ විද්‍යාත්මක දෘෂ්ටියෙන් න්‍යායාත්මක අධ්‍යාපනය ලැබූ නිර්ධන පන්ති පක්ෂයක් කිසිවෙකුට බිය ගැන්විය නො හැකි අතර, අවාසනාවන්ත අත්දැකීම් කිහිපයකට එය වල්මත් කර දැමීමට ද නො හැකිය. සිදුවිය හැකි පරිදි, බර්න්හැම් උගත් මහාචාර්යවරයා තමන් තවත් සුළු ධනපතියෙකු පමණකැයි හෙළිදරව් කර ගත්තේය යන්න, අනාගතයේ දී ඊට සමාකාර කොටස් සම්බන්ධයෙන් මඳක් වැඩි ප්‍රවේශම් සහගත බවක් ඉපිදවීමට හේතු විය හැක. එහෙත් අනාගතයේ දී ධනේශ්වර ලෝකයෙන් ව්‍යාපාරයට ප්‍රවිෂ්ඨ වන බුද්ධිමතුන් සම්බන්ධයෙන් කම්කරුවන්ගේ පෙරටු බලඇණිය දක්වන මූලධර්මාත්මක ආකල්පයේ කිසිවක් ඉන් වෙනස් නො වනු ඇත. මෙම අත්දැකීමෙන් උපදෙස් දී ඇති පරිදි, ඊළඟට එන තැනැත්තාට වඩාත් දැඩි කොන්දේසිවලට මුහුණ පෑමට සිදු විමේ ඉඩකඩක් පවතී. අනාගතයේ දී කිසිවෙකුට, ඉදින් ඔහු තම පරිබාහිර පන්ති පසුබිමින් මුළුමනින් බිඳී ගනිමින් කම්කරු ව්‍යාපාරයේ ජීවත් වීමට නො පැමිණෙන්නේ නම්, ඔහුට නායකත්වය පිළිබඳ ව්‍යාජ මවාපෑම් කිරීමට ඉඩ ලැබෙතැයි සිතීම අසීරු ය. හුදෙක් එහි ගොඩ වැදී යාමට පැමිණීම දිරිමත් නො කෙරේ.     

ඇමරිකානු ව්‍යාපාරය බුද්ධිමතුන් සම්බන්ධයෙන් ඉතා නරක අත්දැකීම් ලබා ඇත. මේ දක්වා, එහි නිම් වළල්ල තුල පෙනී සිටි අය බෙහෙවින් කසිකබල් සමූහයකි. අතිධාවනකාරීන්, වෘත්තීයමය අභිවර්ධනය සොයා යන්නන්, ස්වාභිවෘද්ධිය ම පතන්නන්, මතුපිට අතපත ගාන්නන්, අසීරු තත්ත්වයන්හි දී පලා යන්නන් – ඇමරිකානු කම්කරු ව්‍යාපාරය හරහා ගමන් කළ බුද්ධිමතුන්ගේ පෙරෙට්ටුව පිළිබඳ ඔවුන් විසින් ම චිත්‍රණය කරන ලද කසිකබල් චිත්‍රය එයයි. ඩැනියෙල් ඩි ලියොන් එහි ලා දැවැන්ත ව්‍යතිරේකයක් ලෙස නැඟී සිටී. ඔහු හුදෙක් බුද්ධිමතෙකු පමණක් නො වීය. මිනිසෙකු හා සටන්කරුවෙකු වූ ඔහු, සිය අවනතභාවයේ කිසිදු බෙදීමකට අසමත් පක්ෂපාතියෙක් විය. ඔහු නිර්ධන පන්තිය කරා එළැඹීමට තීරණය කළ කල්හි, ධනේශ්වර ශාස්ත්‍රාලීය ලෝකයේ පිළුණු වාතාවරණය දරා සිටීමට ඔහුට නො හැකි විය. විශ්ව විද්‍යාලයෙන් එළියට බසිමින් දොර වැරෙන් වසා දැමූ ඔහු, යළි කිසි විටෙකත් ආපසු හැරී නො බැලීය. එවක් පටන් සිය ජීවිතාවසානය දක්වා ම ඔහු සමාජවාදී ව්‍යාපාරය සහ කම්කරුවන්ගේ අරගලය සමඟ තමා මුළුමනින් ම අනන්‍ය කර ගත්තේය. වත්මන් පරපුරේ විප්ලවවාදී කම්කරුවෝ, ඒ වෙනුවෙන් කෘතඥතාවයෙන් යුතුව – එකී කෘතඥතාවය නිසා ඔහුගේ දේශපාලන දෝෂ නො තකා හැරීමක් නො කොට ම – ඔහු සිහිපත් කරති. වෙනත්, හා අප අපේක්ෂා කරන පරිදි වඩාත් විශිෂ්ඨ, ඩි ලියොන්වරුන් අනාගතයේ දී අප කරා එනු ඇත. ඔවුන්ට නිර්ධන පන්ති පෙරටු බලඇණි පක්ෂයේ හෘදයංගම පිළිගැනීම හිමි වනු ඇත. ඉදින් අප ඔවුන්ගේ අක්තපත්‍ර සියුම් ලෙස පරීක්ෂා කර කිසියම් ආධුනිකත්ව පුහුණුවකට ඔවුන් යටත් කළ කල්හි ඔවුන් ඒ සම්බන්ධයෙන් නො කිපෙනු ඇත. ඔවුන්ගේ කර්තව්‍යය වන්නේ මාක්ස්වාදයේ නිර්ධන පන්ති විද්‍යාව අර්ථකථනය කිරීම හා භාවිතය විනා, ඒ වෙනුවට ධනේශ්වර ආදේශකයක් ඇඟේ ගැසීම නො වන බව නිශ්චිත ලෙස අවබෝධ කර ගත යුතුයැයි අප අවධාරණය කළ කල්හි ඔවුන් ඉන් අමනාප නො වනු ඇත. මෙම ප්‍රාථමික පරීක්ෂණය හුදෙක් ව්‍යාජ (මාක්ස්වාදී) බුද්ධිජීවීන් ව්‍යාපාරය තුලට කාන්දුවීමට එරෙහි පූර්වාරක්ෂිත ක්‍රියා මාර්ගයක් පමණක් බවත්, නිර්ධන පන්තියේ අභිප්‍රාය වෙනුවෙන් සේවය කිරීමට සැබැවින් ම පැමිණි බුද්ධිමතුන්ට එරෙහි අගතියක් ඉන් කවර ආකාරයකින් හෝ නො හැඟවෙන බවත් නව ඩි ලියොන්වරුන් පහසුවෙන් ම වටහා ගනු ඇත.

ඩැනියෙල් ඩී ලියොන් – ඡායාරූපය: WIKIPEDIA වෙතිනි

සමාජවාදය යනු, 1940 දී – එනම් කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් වසර 92 ක ඇවෑමෙන් – බර්න්හැම් අපට උපදෙස් දීමට ප්‍රයත්න දැරූ පරිදි “සදාචාරාත්මක පරමාදර්ශයක්” නො වන බවත්, ඒ වෙනුවට එය නිර්ධන පන්තිය විසින් ධනේශ්වර පන්තියට එරෙහි ව ගෙන යනු ලබන ශමනය කළ නො හැකි පන්ති අරගලයක අත්‍යවශ්‍ය ප්‍රතිඵලය බවත් යන අපේ දෘෂ්ටියේ මූලික දිශානතීන් අප කරා එළැඹෙන අව්‍යාජ මාක්ස්වාදී බුද්ධිමතුන් වටහා ගනු ඇත. විප්ලවය කළ යුත්තේ කම්කරුවන් වන අතර, නිර්ධන පන්තියේ පෙරටු බලඇණි පක්ෂය සෑදිය යුත්තේ කම්කරුවන් ය. මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ කාර්යය වනුයේ කම්කරුවන්ගේ අරගලය තුල ඔවුන්ට ආධාර කිරීමයි. ඔහුට එය අර්ථකාරී ලෙස සිදු කළ හැක්කේ, ධනේශ්වර ලෝකයට පසුපස හරවා නිර්ධන පන්ති විප්ලවයේ කඳවුරට එකතු වීමෙන්, එනම් –  සුළු ධනපතියෙකුව සිටීම නිමා කර ගැනීමෙන්, පමණෙකි. එම පදනම මත කම්කරු බෝල්ෂෙවිකයන් සහ මාක්ස්වාදී බුද්ධිමතුන් ඉතා හොඳින් එක්ව කටයුතු කරනු ඇත.

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4

මීළඟට: නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – දෙවැනි භාගය පල කෙරේ.

1 thought on “නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 5”

  1. Socialist Editor

    මේ ලිපිය ආශ්‍රයෙන් සහෝදරයෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නන්දන නන්නෙත්ති සහෝදරයා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තබන ලද පහත සටහන මෙහි උපුටා දැක්වේ:

    socialist.lk පලකල නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – ප්‍රථම භාගය – පස්වැනි කොටසට අදාලව සහෝදරයෙකු නගා ඇති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මේ සටහන තබමි. මධ්‍යම පන්තික බුද්ධිමතුන් සම්බන්ධයෙන් මාක්ස්වාදීන්ගේ ආකල්පය කුමක් ‍දැයි තව දුරටත් පැහැදිලි කරන මෙන් ඔහු ඉල්ලා ඇත. අන් සෑම දෙයක් සම්බන්ධයෙන් මෙන් ම බුද්ධිමතුන් පිලිබද කාරනය ද පරස්පර විරෝධයන්ගෙන් විනිර්මුක්තව සලකා බැලිය නො හැකි ය.

    උක්ත ලිපිය දැනටමත් මෙම ප්‍රශ්නයට පිලිතුරු දී ඇත. ‘දි ඒජ්’ පුවත්පත තමන් වෙත එල්ල කල චෝදනාවට කැනන් දී ඇති පිලිතුර පරිදි, “උගත් ජනයාට එරෙහිව වපුරනු ලබන අශිෂ්ට අගතීන් සමඟ පොදු කිසිවක් හෝ අපට නැත…. එවැනි හැඟීම් අපට ආරෝපණය කිරීම වූ කලී පක්ෂයේ මාක්ස්වාදී පාර්ශ්වය මත වගුරන අපවාදයකි. අනෙක් අතට, අපි හුදු ‘අධ්‍යාපනය’ නිසා අනවශ්‍ය ලෙස ප්‍රසාදයට පත් නො වන්නෙමු; ඒ පිළිබඳ හුදු කියාපෑම් කෙරේ අපේ සැලැකිල්ල ඊට ද වඩා අඩුය. සියලු ප්‍රශ්නවලට සේ ම මෙම ප්‍රශ්නයට ද අපේ ප්‍රවිෂ්ඨය විචාරාත්මක එකකි.“

    අදාල ලිපිය තව දුරටත් මෙසේ ද කියයි: “විප්ලවවාදී කම්කරු ව්‍යාපාරය කරා පැමිණෙන සෑම බුද්ධිමතුන් 100 දෙනෙකුගෙන් ම අවම වශයෙන් 99 දෙනෙක් ආන්තික “ගතානුගතිකත්වයකින්” කතා කරන්නහු නම්, ඔවුහු වත්කමකට වඩා ගැටළුවක් බවට පත් වන්නාහු නම්, ඒ කිසිසේත් ඔවුන්ට එරෙහි අපේ අගතීන් නිසා සිදු වන්නක් හෝ, අප ඔවුන් කෙරේ නිසි සේ නො සැලකීම නිසා සිදුවන්නක් නොව, ඔවුන්ට අපේ අරගලයට ප්‍රයෝජනවත් විය හැකි එක ම ක්‍රමය ලෙස සපුරා ලිය යුතු අවශ්‍යතාවලට ඔවුන් අනුකූල නො වීම නිසා සිදු වන්නකි.

    ධනේශ්වර පන්තියේ බිඳවැටීම සුලු ධනේශ්වර පන්තියේ කොටස් නිර්ධන පන්තියට ඇද දමන බවත්, එවන් පිරිසෙන් කොටස් ජරපත් වෙමින් පවතින ධනේශ්වර පන්තියේ පෙකණි වැල කපා ඉන් මිදී නිර්ධන පන්තියට බුද්ධියේ හා ප්‍රගතියේ නැවුම් මූලාංග සම්පාදනය කරන බවටත් මාක්ස්වාදී ව්‍යාපාරය 1848 එහි ක්‍රියා මාර්ගය ලියූ මූලාරම්භයේ සිට ම ගත් ආස්ථානයක් විය. එහෙත් එම ස්ථරයෙන් එන කොටස් තවමත් ධනවාදයේ පෙකෙනි වැල සාර්ථක ලෙස කපා ගැනීමට අසමත් වීමට ඉඩ ඇත. ලියොන් ට්‍රොට්ස්කි පෙන්වා දී ඇති පරිදි, ඒ සඳහා ඔවුන් කම්කරු පන්තිය නමැති පාසලේ වසර ගනනාවක් පුහුනු විය යුතු ය. පක්ෂය තුල වැදගත් තැනකට ඔවුන් සුදුසු වන්නේ එම පරීක්ෂනයෙන් සමත් වන්නේ නම් පමනි.

    මෙහිම තවත් අංශයක් ගැන සාකච්ඡා කිරීම වැදගත් ය. කැනන්ගේ කෘතිය තුල ඉදිරියට සාකච්ඡා වනු ඇති පරිදි, ව්‍යාපාරයට අලුතින් බැදෙන තරුනයෝ සමාජ දේශපාලන අගතීන් හා විවිධාකාර සංවිධානාත්මක හැඩ ගැසීම් ද, ඒවා සාර්ථක කර ගැනීමේ පුරුදු ද පිටතින් ගෙන එති. කාර්යය ලහිලහියේ කර ගැනීමට ඔවුනට අවශ්‍ය ය. කම්කරු පන්ති පක්ෂය ගාටන්නේ යයි ඇතැම් විට ඔවුහු සිතති. එය ජය ගැනීමේ විධික්‍රම තමන් සතු යයි ඔවුහු සිතති. ඔවුන් කඩිසර ය. හැකි තාක් වැඩ කිරීමෙන් කටයුත්ත සාර්ථක කර ගැනීමට නැඹුරු ය. නායකත්වයේ වගකීම වන්නේ මේ කොටස් නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයෙන් හා කම්කරු පන්තික විනයෙන් සන්නද්ධ කිරීම සඳහා ඉතිහාසයෙන් හා න්‍යායයෙන් ඔවුන් සන්නද්ධ කිරීම ය. එසේ නැතිව මේ තරුනයන්ගේ උනන්දුසහගත වැඩවල තාවකාලික සාර්ථකත්වයන්ගේ මායාවට හසු වූවහොත් එම පක්ෂය ම කම්කරු විරෝධී පන්ති බලවේගයක් බවට පත්වීම නො වැලැක්විය හැකි ය. එහෙත් විප්ලවයේ ගිනි සිලුව වන තරුනයන්ට කම්කරු පන්ති ආස්ථානය මත පදනම් වූ කල අතිමහත් ක්‍රියා කලාපයක් ඉටු කල හැකි ය.

    අදාල ලිපියේ සඳහන් වන පරිදි, කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂ නිර්මානය කරනු ලැබ ඇත්තේ සිය පන්ති ආස්ථානය අත් හැර කම්කරු පන්ති විප්ලවවාදී පිලිවෙත වැලඳ ගත් මධ්‍යම පන්තියේ අවංක බුද්ධිමතුන් විසිනි. මාක්ස් හා ලෙනින් සම්බන්ධයෙන් ද සත්‍යය වන්නේ මෙය යි. පක්ෂයේ සාමාජිකයෙකු අවශ්‍ය වූ විට සියල්ලම දීමට සූදානම් විය යුතුය යනු මෙම නායකත්වය පිලිගත් අදහස ය. පක්ෂයේ කිසියම් කමිටුවක මෙහෙයවීම යටතේ වැඩ කරන හා ඊට නන් අයුරින් සහයෝගය දෙන, නමුත් පක්ෂයට බැදී එහි විනයට යටත් ව වැඩ කිරීමට නුසූදානම් බුද්ධිමතුන්ට පක්ෂ සාමාජිකයෙකු ලෙස පෙනී සිටීමට අවසර නැති බව ලෙනින් සඳහන් කලේ මේ අර්ථයෙනි.

    “..ධනවාදී සමාජයේ විශේෂ තට්ටුවක් වන බුද්ධිමතුන්, පොදු ලෙසත්, පූර්න ලෙසත්, පෞද්ගලිකවාදයෙන් සහ විනයට සහ සංවිධානයට අසමත් බවෙන් විශේෂයෙන් ම කැපී පෙනෙන බව ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකු ඉදිරිපත් නො වනු ඇත. මේ සමාජ ස්ථරය නිර්ධන පන්තියට වඩාත් අවාසිදායක ලෙස පෙන්වන එක් කරුනක් නම් මෙය වේ. නිර්ධන පන්තියට නිතර පාහේ දැනෙන බුද්ධිමතුන්ගේ සෙවල ගතියට සහ අස්ථිර භාවයට එක් හේතුවකි මෙය. බුද්ධිමතුන්ගේ මේ ගුනය, ඔවුනගේ ගතානුගතික ජීවන ක්‍රමය සමඟ අඛන්ඩ ලෙස වෙලී පවතී. ඔවුන්ගේ ජීවනෝපායී ක්‍රමය සුලු ධනපතීන්ගේ පැවැත්මේ ක්‍රමයට බොහෝ විධි අනුව සමීපව ඇත්තේ ය…“ (වී. අයි ලෙනින් ,තෝරා ගත් කෘති වෙලුම 2, පිට 74, 1979) මෙවන් පැවැත්මක් නිර්ධන පන්ති සංවිධානයට හතුරු වන බව පැහැදිලි ය.

    කෙසේ වෙතත් මතු කර ඇති ප්‍රශ්නය හුදෙක් බුද්ධිමතුන් පිලිබද කාරනාවක් නොව, කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය පිලිබඳ ජීවිතය හා මරනය අතර ප්‍රශ්නයක් බව කිව හැකි ය. පක්ෂය ධනපති රාජ්‍යට එරෙහි නිර්ධන පන්තියේ උපකරනයයි. එය ධනවාදයේ දෘෂ්ඨිවාදාත්මක සහ සංවිධානාත්මක පීඩනයන්ට මුහුන දෙයි. කම්කරු පන්තිය තුල පවතින ධනේශ්වර දෘෂ්ටිය පක්ෂයට පීඩනය ගෙන එන අතර, එය කපා හැරීම පිනිස පක්ෂය න්‍යාය හා සංවිධානය සම්බන්ධයෙන් දෘඩතර විය යුතු ය. පක්ෂය අතිශයින් ම පක්ෂපාතී ය. කම්කරු පන්ති විප්ලවවාදී පිලිවෙතට එරෙහිව පැන නගින සියලු න්‍යායන් එය විසින් විරේක කරන්නේ එබැවිනි.

    එමෙන් ම දැනටමත් පක්ෂය නීත්‍යානුකූල වන්නේ අර්ධ වශයෙන් වන අතර පාලක පන්තිය අරගලයේ කිසි යම් මොහතක දී එය නීති විරෝධී යයි ප්‍රකාශ කිරීමට නියමිත ය. සාමාජිකයන් ඝාතනය කිරීම ඇතුලු සෑම වර්ගයකම මර්දනය ඊට එරෙහිව ක්‍රියාවට දමනු ඇත. මේ නිසා වැනෙන සුලු පුද්ගලයන් පක්ෂයට අනතුරකි. පක්ෂයේ ඉදිරි දර්ශනයෙන් දැඩිව බැඳුනු එම ඉදිරි දර්ශනය වැඩි දියුනු කර ගැනීමට හා එය සාක්ෂාත් කර ගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවලින් තීන්දු ගන්නා, එම තීන්දු ඕනෑම තත්වයක් යටතේ ක්‍රියාත්මක කිරීමේ සාමූහික වගකීම දැරීමට සූදානම් කේඩරයක් විප්ලවවාදී පක්ෂය සතු විය යුතු වන්නේ මේ නිසා ය.

    1903 රුසියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුල ලෙනින් නායකත්වය දුන් බොල්ෂෙවික්වරුන් මෙහෙය වූනේ මෙම වෛෂයික තත්වය පිලිබඳ අවබෝධයෙනි. විශේෂයෙන් බුද්ධිමතුන්ගේ සහාය රදවා ගැනීම සදහා උනන්දු වූ මෙන්ෂෙවිකයන්, පක්ෂයට ආධාර කරන පක්ෂයේ කිසියම් සංවිධානයක මෙහයවීම යටතේ වැඩ කරන පුද්ගලයන් සාමාජිකයන් ලෙස පිලි ගත යුතු බවට කල යෝජනාව, වෙනත් ඉදිරි දර්ශනයක් මත පදනම් වූවක් බව ආරම්භයේ දී ම වටහා ගත්තේ ලෙනින් පමනි. පසුව හෙලිදරව් වූ අවධි දෙකේ විප්ලව න්‍යාය හා මෙන්ෂෙවිකයන්ගේ එම යෝජනාව බැඳී පැවතිනි. ධනපති පන්තිය විසින් ධනපති විප්ලවය සිදු කරනු ලැබීමෙන් පසු සමාජවාදී විප්ලවය සදහා කම්කරු පන්තිය මෙහෙය විය යුතු බව මෙන්ෂෙවික් ආස්ථානය විය. ඒ අනුව පලමු අදියරේ දී කම්කරු පන්තිය හා පක්ෂය කල යුතු වූයේ ධනපති පන්තියට බලය ගැනීම සඳහා සහයෝගය දීම ය. සාර් පාලනය පෙරලා දැමීමෙන් පසු මෙන්ෂෙවිකයෝ ධනපති පාලනය ස්ථාපිත කිරීමට කැප වූහ. එම පාලනය ධනපති විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන් ඉටු කිරීමේ නො හැකියාව තහවුරු කලේ ය. ඊට මාස කිහිපයකට පසු රාජ්‍ය බලය තමන් අතට ගත් කම්කරු පන්තියේ පාලනය වහාම ගොවීන්ගේ ඉඩම් අයිතිය ඇතුලු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරමින් කටයුතු ආරම්භ කලේ ය.

    රුසියානු විප්ලවය ලෝක කම්කරු පන්තියේ නව ප්‍රබෝධයක් දැල්වූයේ වුව ද, එය අපේක්ෂා කල පරිදි ලෝක විප්ලවයේ ඊලඟ පියවර සිදු නො වීමෙන් රුසියානු කම්කරු පන්ති රාජ්‍යය අධිරාජ්‍යවාදී ලෝකය තුල හුදකලා විය. ප්‍රස්තුතයට අනුව අප මෙහි දී යොමු විය යුතු වන්නේ එය එසේ වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට ය.

    එවක දෙවන ජාත්‍යන්තරයේ විශාලතම පක්ෂය වූයේ රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නො වේ. ඒ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යි. එය පලමු ලෝක යුද්ධයත් සමග ම ධනේශ්වරයට යටත් වී, ධනපති ආන්ඩුවේ කොටස්කරුවන් බවට ද පත් විය. කම්කරු පන්තියේ විප්ලවයක අවශ්‍යතාව එම පක්ෂය විසින් ඒ වන විටත් ප්‍රතික්ෂේප කරනු ලැබ පැවතිනි.

    මෙම පක්ෂය තමන් ඒ සා අසීරු කොන්දේසිවලට මුහුන දී ආරක්ෂා කල ඉදිරී දර්ශනයෙන් විතැන් කෙරුනේ කවර බලවේගයකින් ද? එය දෘඩතර බොල්ෂෙවික් සංවිධානයක් නො වීම තුල ය. පක්ෂයට අති විශාල වෘත්තීය සමිති ව්‍යාපාරයක් පැවතිනි. පක්ෂ සාමාජිකත්වයේ සිටි වෘත්තීය සමිති නායකයෝ, වෘත්තීය සමිතිවල පදනම වන ධනේශ්වර ප්‍රතිසංස්කරනවාදයේ අවශ්‍යතා පක්ෂය තුල වඩවඩාත් නියෝජනය කලෝ ය. මෙය පක්ෂ කේඩරයන් විසින් වෘත්තීය සමිතිවල සාමාජිකයන් නිර්ධන පන්ති විප්ලවවාදී පිලිවෙතට දිනා ගැනීමේ පක්ෂ පිලිවෙතට වෙනස් දෙයකි. බලගතු වෘත්තීය සමිති ව්‍යාපාරය රැක ගැනීමේ අරමුන මත පක්ෂ නායකත්වය මෙම ප්‍රතිසංස්කරනවාදීන්ට එරෙහිව අරගලයෙන් පසු බැස්සේ ය.

    ආර්ථිකවාදීන්ට එරෙහි ක්ෂමා විරහිත සටන අතට ගත් ලෙනින් ජර්මනියේ මතු වූ මෙම තත්වය බැරෑරුම් ව විමර්ශනය කල අතර එය පක්ෂය තුල හිස එසවීමට ඉඩ නො තැබී ය. ජර්මන් ශාඛාවේ මාක්ස්වාදී න්‍යාය පිලිබද විශේෂඥ භාවයක් දැරූ නායිකාවක වන රෝසා ලක්සම්බර්ග්, වෘත්තීය සමිති යනු විප්ලවයට විරුද්ධ ව්‍යාපාරයක් බව මේ වන විටත් සොයාගෙන තිබිනි. එහෙත් ප්‍රතිසංස්කරනවාදීන්ට පක්ෂය තුල දිගු කාලීනව රැඳී සිටීමට දුන් අවසරය විප්ලවවාදී පක්ෂයක් මුලුමනින් ඊට ප්‍රති විරුද්ධව පිහිටුවීමට තුඩු දුන්නේ ය.. රෝසා ලක්සම්බර්ග් සහ ඇගේ විප්ලවවාදී සගයා ඝාතනය කිරීමට සහාය වීම දක්වා පක්ෂය ගමන් කලේ ය. එමෙන් ම ප්‍රංශ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද යටත් වූ අතර, අද දක්වා ධනවාදය පැවතීමට මෙම පාවාදීම් අත්‍යවශ්‍ය සාධකයක් විය. කම්කරු පන්තිය හා සෙසු පීඩිතයන් මේ දක්වා අත් විදින පීඩාවන් පාවා දීමේ මෙම ඉතිහාසයට අසම්බන්ධිතව සලකා බැලිය නො හැකි ය.

    බුද්ධිමතුන් හා විප්ලවය පිලිබද කාරනයට අප පිවිසිය යුතු වන්නේ මෙම අත්දැකීම් මත පිහිටා ගෙන ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top