මහා පරිමාන සමාගම්වලට ගොදුරු වන සුළු නිෂ්පාදකයා රැකීමට ජාජබ ආන්ඩුවට වැඩ පිලිවෙලක් නැත

කපුරුගේ විජේසිංහ සහ නන්දන නන්නෙත්ති විසිනි

මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 30, 35 තරමට පහල ගොස් ඇත. බිත්තර මිල තියුනු ලෙස පහල වැටීම පාරිභෝගිකයාට ලැබී ඇති වාසියක්යැයි ආන්ඩුවේ හා එහි මාධ්‍ය හොරනෑවලින් කරමින් සිටින ඝෝෂාවට යටින් ඔවුන් සඟවන කරුනක් වෙයි. ඒ, සුලු පරිමාන බිත්තර නිෂ්පාදකයන්ගේ පැවැත්ම අභියෝගයට ලක් වී ඇති බවයි. එම තතු යටතේ පල්ල ගැලවී ඇත්තේ සුලු හා මධ්‍යම පරිමාන නිෂ්පාදකයන් නගා සිටුවන බවට ජාතික ජන බලවේගය ලබා දුන් බොරු පොරොන්දුවල ය.

බිත්තර මෙන්ම කුකුලු මස් මිල ද මෙසේ පහල යාම නිෂ්පාදනය ඉහල යාම නිසා සිදු වූ බව සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුනසේකර මාධ්‍ය සාකච්ඡාවක දී පවසා ඇත. ඔහු පවසන්නේ, නව රජය පිටරටින් කුකුලු මස් හා බිත්තර ආනයනය නො කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට සහතික කල නිසා සුලු හා මධ්‍යම පරිමාන ගොවීන් ඉතා අවදානම් සහගත අවස්ථාවක නිෂ්පාදනය ඉහල නැංවීමට කටයුතු කල බව ය. පෙර පැවති රජය බිත්තර ආනයනය කර සතොස හරහා රු.35 මුදලකට බෙදා හැරීමේ දී සුලු හා මධ්‍යම පරිමාන බිත්තර නිශ්පාදකයින්ගෙන් බරපතල විරෝධයක් පල විය. නව රජය බලයට ගෙන ඒම සදහා විශේෂයෙන් කුඩා සහ මධ්‍ය පරිමාන කුකුලු ගොවිපල හිමියන් සංවිධානත්මකව සහාය ලබාදෙන ලද්දේ සිය ව්‍යාපාර ආරක්ෂා කිරීම හා ඒවායේ අභිවෘද්ධිය සදහා ජාතික ජන බලවේගයේ ආන්ඩුවක් පියවර ගනු ඇත යන විශ්වාසයෙන් බව ගොවීහු අප සමග පැවසූහ.

සුලු හා මධ්‍යම පරිමාන කුකුලු ගොවිපල හිමියන් ලෙස ගැනෙන්නේ 2500ට අඩු සතුන් ප්‍රමානයකින් යුතු ගොවිපල හිමියන් වන අතර, සතුන් 250ක් පමන ඇති කරන දුප්පත් ගොවීහු විශාල සංඛ්‍යාවක් ඒ අතර සිටිති. මේ වන විට මාසිකව අවශ්‍ය බවට ගනන් බලා ඇති බිත්තර මිලියන 200 නිෂ්පාදනය කිරීමට ඔවුහු ද දායක වෙති. මිල පහල වැටීම මෙම ගොවීන් නිශ්පාදන ක්‍රියාවලියෙන් පලවා හරිනු ලබන තත්වයක් නිර්මානය කරයි. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කිසිද පියවරක් ආන්ඩුව විසින් ගනු ලැබ නැත. ක්‍රමය වෙනස් කරන බවට පොරොන්දු වූ ආන්ඩුව පෙර පැවති ක්‍රමය එලෙසම ඉදිරියට ගෙන යයි. පාලනය සිදු කෙරෙන්නේ මහා පරිමාන ධනපති සමාගම් විසිනි.

සතුන් 25,000ට වැඩි ප්‍රමානයක් ඇති කරන මහා පරිමාන බිත්තර නිෂ්පාදන සමාගම් ප්‍රාග්ධනය, තාක්ෂනය, ප්‍රවාහනය ආදී කර්මාන්තයේ අවශ්‍යතා හිමිකරුවන් ය. එවන් ශක්තියක් සුලු නිෂ්පාදකයන්ට නැති අතර එයින්ම ඔවුන්ගේ නිෂ්පාදන වියදම මහා පරිමාන කර්මාන්තය ඉක්මවා යයි. බිත්තර කල් තබා ගැනීමේ හා ගබඩා කර තබා ගැනීමේ හැකියාවද මෙම සමාගම්වලට ඇත. රටේ සමස්ත බිත්තර වෙලඳපොල ම පාලනය කරන්නේ දුසිම් දෙකක්වත් නැති මෙවන් මහා ව්‍යාපාරික සමාගම් විසිනි. ඒවා අතර කිකිලියන් 50,000ක වැඩි ගනනක් ඇති කරන නෙල් ෆාම්ස්, තවත් විශාල සමාගමක් වන ස්විට්ස් ලංකා වැනි සමාගම් ඇත. රටේ දෛනික පරිභෝජනය ලෙස සැලකෙන බිත්තර මිලියන 7 හෝ 8 සැපයුම සදහා සුලු ගොවීන්ගේ නිෂ්පාදනය ද මහා පරිමාන ව්‍යාපාරිකයන් විසින් මිල දී ගනු ලැබේ. ඒවායේ මිල නියම කරන්නේ සුලු නිෂ්පාදකයාගේ වියදම ගැන සලකා නොවේ.

බිංගිරිය කුඩා පරිමාන කුකුලු ගොවි සංවිධානයක නියෝජිතයෙකු වන චමින්ද මෙසේ පැහැදිලි කලේය. “අපේ සංවිධානයේ සාමාජික යින් 250ක් ඉන්නවා. අපේ ගොවීන් දිනකට නිකුත් කරන්නේ 100,000 විතර ප්‍රමානයක් පමනයි. නමුත් විශාල පරිමාන එක් ව්‍යාපාරිකයෙක් දිනකට ලක්ෂ 1-2ක් විතර බිත්තර වෙලඳපොලට නිකුත් කරනවා,“ යනුවෙන් ඔහු පෙන්වා දුන්නේ මහා පරිමාන කර්මාන්තය සතු මෙම බලය තමන් දරුනු ලෙස පීඩනයට ලක් කරන අයුරු ය.

පසු ගිය ජනවාරි 27දා සිට නෙල් ෆාම්ස් බිත්තර මිල 10% කින් අඩු කලේ ය.ඒ සමගම සියලු ම සමාගම් තොග මුදා හරිමින් මිල තවත් පහලට දැමී ය. සුලු ගොවීන් පවසන පරිදි, මේ තත්වය තුල, තොග එකතු කරන සමාගම් තමන්ගේ බිත්තර මිල දී ගත්තේ රුපියල් 25ටත් අඩුවෙනි. මෙසේ බිත්තර මිල අඩු වීම තුල මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ රේට්ටුව එසේම පවත්වා ගන්නේ සුලු ගොවියා නට්ටම් කරමිනි. බිංගිරිය පලාතේ කුකුලු ගොවීන් සමග අප වෙබ් අඩවිය (socialist.lk) කල සාකච්ඡාවකදී ඔවුන් පෙන්වා දුන්නේ මහා පරිමාන ගොවිපලකින් නිපදවන බිත්තරයක් සහ කුඩා ගොවිපලකින් නිපදවන බිත්තරයක නිශ්පාදන වියදමෙහි වෙනස රු 5-10යත් අතර වන බව ය.

සුලු ගොවීන්ගේ නිෂ්පාදන මිල ඉහල යාමට හේතු පෙන්වා දෙමින් ඔවුන් සඳහන් කලේ බොහෝ විට කුකුලු පැටවුන් ලබාගැනීමේදීත් මහා පරිමාන ගොවියන්ට පැටවුන් ලබා දෙන මිලට වැඩි මිලක් ගෙවීමට තමන්ට සිදුවන බව ය. ධනවාදී ආර්ථික පිලිවෙත තුල කුමන ව්‍යාපාරයකදී වුව, වැඩි තොගයක් මිල දී ගන්නා ට සෙසු අයට වඩා අඩු මිලකට දේවල් ලබා ගත හැකි ය. මේ අතර පැටවුන් ලබා ගැනීම සඳහා කල් තබා මුදල් තැන්පත් කල යුතු ය. එසේ වුවත් ඔවුන්ට පැටවුන් ලැබෙන්නේ මහා පරිමාන ගොවිපල හිමියන්ට අවශ්‍ය පැටවුන් සැපයීමෙන් පසුව ය. පැටවුන් සදහා ගෙවිය යුතු මිල ද අධික ය. රජයේ ගොවිපලේ පවා දිනක පැටවකුට රුපියල් 600ට වැඩි මුදලක් අය කරයි.

මේ අතර කුකුලු කෑමවල හිගය හා ඒවායේ ඉහල මිලට ද ගොවීහු මුහුන දෙති. සමස්ත ලංකා කුකුලු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පෙබරවාරී 10දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දි මේ තත්වය විස්තර කලේ ය. ඔහුට අනුව, පසු ගිය කාලයේ වී මෝල් වසා තිබීම නිසා හුනු සහල් දහයියා රයිස් පොලිෂ් වැනි සතුන්ට අවශ්‍ය ආහාරවල හිඟයකට මුහුන දීමට ගොවීන්ට සිදු වී ඇත. පොල් රුපියල් 200 ඉක්මවා ගිය නිසා තෙල් මෝල් අක්‍රීය වී තිබේ. එයින් සතුන්ට අවශ්‍ය පුන්නක්කුවල හිඟයක් නිර්මානය වී ඇත. මේ තත්වය යටතේ ලබා ගත හැකි එකම කුකුලු ආහාරය වන්නේ බඩ ඉරිඟු පමනි. එම නිසා බඩ ඉරිඟුවලට ඇති පාලන මිල ඉවත් කරන මෙන් ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ය. නමුත් කුකුලු කෑමවලින් 80% පමන වන බඩ ඉරිඟු රුපියල් 160 ගනන් වලින් පහලට ගෙන 140ට ලබා දීමට කටයුතු කරන බවට වත්මන් ආන්ඩුව මෑත දී කුකුලු ගොවීන්ට දුන් පොරොන්දුව දැනටමත් අමතක කර දමා ඇත. 2019 රුපියල් 50ට අඩුවෙන් පැවති කුකුලු කෑම මිල ද, ඉන්ධන, ප්‍රවාහන සහ අන් සියලු භාන්ඩ හා සේවාවල මිල ද හතර ගුනයකින් පමන ඉහල ය.

මුලදී ම කිව යුත්තේ ජවිපෙ/ජාජබ ආන්ඩුව සුලු හා මධ්‍යම පරිමාන නිෂ්පාදකයන් වර්ධනය කිරීම පිලිබඳ දුන් පොරොන්දු හිතාමතා ගෙතූ බේගල් ම පමනක් බවයි. ඔවුන්ට ඒ සඳහා වැඩ පිලිවෙලක් නො තිබුනා පමනක් නො ව, එවැන්නක් ඉදිරිපත් කිරීමට හැකියාවක් හෝ උවමනාවක් ද ඔවුන්ට නො වීය. ඔවුන් සැබැවින් ම බැඳී සිටියේ ප්‍රභූ ධනපති අතලොස්සට හා IMF සංවිධානය ඇතුලු අධිරාජ්‍යවාදයට ලබා දුන් ප්‍රතිඥාවලට පමනෙකැයි යන සත්‍යය දැන් සියලු මාධ්‍ය බේගල් ඉරා දමමින් එලිමහනට පැමිනෙමින් පවතී.

සමස්තයක් ලෙස සහල් කර්මාන්තය ඇතුලු කෘෂි කර්මාන්ත සඳහා සුලු හා මධ්‍යම පරිමාන ගොවි සමූපකාර ක්‍රමයක් යටතේ මහා පරිමාන කර්මාන්තය සමග තරඟකාරී ශක්තියක් ඇති කරමින් කතිපයාධිකාරිය අවසන් කිරීමක් ගැන පූච්චානම් කියමින් ආන්ඩුව සිදු කරන්නේ ප්‍රශ්නය යට ගැසීම ය. හදිසි අවශ්‍යතාව වන්නේ දරාගත හැකි මිලකට අමු ද්‍රව්‍ය සහ සෙසු අවශ්‍යතා සම්පාදනය කිරීම ය. ධනවාදය සාපේක්ෂ සහන සැලසූ කාල පරිච්ඡේදය ඉක්මී ගොස් දශක ගනනකි. සමූපකාර ක්‍රම හරහා ගොවීන්ට හා පාරිභෝගික ජනයාට සහන සැලසූ සුභසාධන රාජ්‍යය මිය ගොසිනි. ධනපති ව්‍යාපාරිකයන්ගේ බල පෑම නො තකා ඒවා පවත්වා ගැනුනේ මහ බැංකුව විසින් නිකුත් කල මූල්‍යාධාර මගිනි. ඒ සියල්ල නතර කර ඇත. කලින් පැවති සමූපාකාර කඩ බංකොලොත් වීම මීට එක් උදාහරනයක් පමනි. ලෝක නිෂ්පාදනයේ ඇති වූ පරිවර්තනයත් සමග ප්‍රකාශිත නව නිදහස් ආර්ථිකය නමින් හැදින්වෙන වත්මන් ධනපති ආර්ථිකය ඉල්ලා සිටින්නේ සියලු සහන කපා දමන ලෙස ය.

ඒ සියල්ල ම මහා පරිමාන සමාගම්වල ප්‍රාග්ධනය ගොඩ ගැසීම සඳහා යොදා නො ගෙන ධනවාදයට පැවතිය නො හැකි ය. සෑම අතින්ම බංකොලොත් ජාජබ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලසුම් අනුව මහා පරිමාන ප්‍රග්ධනය වෙනුවෙන් පෙනී සිටින්නේ එවන් තතු තුල ය. වතුරත්, පොහොරත් මහජනයාගේ බදු මුදලින් දෙන නිසා වී ගොවීන් ආන්ඩුවේ නියමයන්ට අනුව සිය නිෂ්පාදනයේ මිල නියම කල යුතුයයි ද, ආන්ඩුව නියම කරන මිලට වී අලෙවි මන්ඩලයට වී ලබා දිය යුතුයයි ද ගොවීන්ට එරෙහිව ගෙන යන ප්‍රකෝපකාරී ව්‍යාපාර එක් නිදසුනක් පමනි. මෙතෙක් බිහි වූ කිසිදු ආන්ඩුවක් ගොවීන්ට එරෙහි මෙවන් උත්සන්නියක් සඳහා ඉදිරිපත් නො වූ අතර ආන්ඩුවේ සැලසුම ඕනෑම වෙලාවක එම සැපයීම්වලට මිල අය කිරීමේ අනතුර දරයි. මෙම තත්වය තුල සුලු පරීමාන බිත්තර ගොවීන්ට කර්මාන්තයේ රැදී සිටිය හැකි වන්නේ මහා කර්මාන්තයට එය අවශ්‍ය වන තාක් පමනි. අපනයන ආර්ථිකයක් සඳහා ආන්ඩුවේ සැලසුමේ දිශානතිය එයයි.

සුලු හා මධ්‍යම පරිමාන බිත්තර නිෂ්පාදකයන් මුහුන පාන තත්වය වූ කලී හුදෙක් පොදුවේ සියලු සුලු හා මධ්‍යම පරිමාන නිෂ්පාදකයන් මුහුන දී සිටින තතු පිලිබඳ එක් නිදසුනක් පමනෙකි. මිලෙහි උච්චාවචනය හැම විටම සුලු පරිමාන ගොවියා ද සුලු පරිමාන නිෂ්පාදකයා ද පීඩාවට පත් කරයි. මෙය තාවකාලික ය; එහෙත් එය කුඩා පරිමාන ගොවියාට, කුඩා පරිමාන නිෂ්පාදකයාට හා සුලු ව්‍යාපාරිකයාට ඔරොත්තු දිය හැකි තත්ත්වයක් නො වේ. මිලෙහි පහල වැටීම නිසා මහා පරිමාන නිෂ්පාදකයන් අර්බුදයකට මුහුන දුන් බවට සටහනක් නැත. එහෙත් ප්‍රාග් ධනය සඳහා බැංකු නය මත රැඳී සිටින සුලු පරිමාන ව්‍යාපාරිකයාට එය මාරාන්තික ය. කොවිඩ් අර්බුදයෙන් සහ ඊලඟට පැමිනි උග්‍ර ආර්ථික අර්බුදයේ බහුවිධ බලපෑම් වලින් යන්තම් රැකී සිටින මේ ස්ථරයට, ඊලඟ මිල ඉහල යාම දක්වා බැංකු වාරික, පඩිනඩි ආදී පිරිවැය දරමින් ව්‍යාපාරය රැක ගැනීමේ ආර්ථික ශක්තියක් නොමැත.

මේ තතු පාර කපන්නේ දැනට යම් පරිමානයකට සුලු ව්‍යාපාරිකයන් සම්බන්ධ වී සිටින කුකුලු මස් හා බිත්තර කර්මාන්තයෙන් එම සුලු නිෂ්පාදක ස්ථරය ඉවත් කර දමා, මහා පරිමාන නිෂ්පාදකයන්ගේ ඒකාධිකාරයකට පාර කැපීමට ය. එම උගුල ගැස්සී යන්නේ පාරිභෝගිකයාගේ ගෙල සිර කරමිනි. පාරිභෝගිකයාට සුරංගනා කථා කියමින් ජාජබ ආන්ඩුව කරන්නේ එම උගුලේ තොන්ඩුව පාරිභෝගිකයාගේ ගෙල වටා ගැට ගැසීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top