නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 13 – I

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ සිව්වන භාගය දොළොස්වන පරිච්ඡේදයෙන් ඇරැඹී පරිච්ඡේද දෙකක් පුරා දිග හැරේ.

අද දින පළ කෙරෙන දහතුන්වැනි පරිච්ඡේදයේ මුල් කොටස තුළ ප්‍රධාන ලේඛනය සමාප්ත වේ. කෙසේ වෙතත්, ඉහළ අදාලත්වයකින් යුත් ලිපි ගනුදෙනු රාශියක් මෙම කෘතියට ඇතුළත් වන අතර, ඒවා අතරින් අතිශයින් ම වැදගත් ලිපි හුවමාරු හතක් මෙම දහතුන් වැනි පරිච්ඡේදයට ද ඇතුළත් වේ. මේ ලිපි ද ඇතුළු සියලු ලිපිවලින් සමන්විත සම්පූර්ණ කෘතිය නිරවශේෂ ලෙස පාඨකයාට ලබා දීමට අපි අපේක්ෂා කරමු.

13.  නිර්ධන පන්ති පෙළගැස්ම – I

පක්ෂයේ බහුතරයට එරෙහිව එල්ල කෙරුනු එක් සාපරාධී චෝදනාවක් වූයේ, ඔටෝ උද්ඝෝෂණයේ සැළසුම් සකස් කෙරුණු සුප්‍රකට “නව අවුරුදු රැස්වීම“යි. ක්ලාක් සහෝදරයා මෙම සිදුවීම පිළිබඳව, ඔටෝ අර්බුදය සම්බන්ධයෙන් ලියන ලද ඔහුගේ ප්‍රශංසනීය ලිපියේ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. මේ පිළිබඳ සුළුතරයේ වාර්තාව මෙසේ කියයි: කැනන් මෙය [මෙම රැස්වීම] හෝ එයින් සංකේතවත් වූ දෙය කිසිදා ප්රතික්ෂේප කොට නැත.” එය නිවැරදි ය. මට තවදුරටත් මෙසේ ද පැවසිය හැකි ය. අප විසින් මුළ පුරනු ලැබ, පසුව බර්න්හැම් හා ෂැට්මන් විසින් “ප්රතික්ෂේප” කරනු ලැබූ මෙම රැස්වීම සත්තකින් ම ඔවුන්ගේ පෙළගැස්ම හා ඔවුන්ගේ විධික්‍රමත්, අපේ පෙළගැස්ම හා අපේ විධික්‍රමත් අතර වෙනස “සංකේතවත්” කරයි. අපි නව වෘත්තීය සමිති සම්බන්ධතා ගොඩ නඟා ගතිමු; ඔටෝ වෘත්තීය සමිතිය තුළ අපේ කටයුතු තීව්‍ර කිරීම සඳහා මෙම සම්බන්ධතා උපයෝගී කර ගත හැකි සැළසුමක කළලය අප සතු විය; නිල ක්‍රියා මාර්ග සඳහා යෝජනා ඒවායේ පරිසමාප්ත රූපාකාරයෙන් දේශපාලන කමිටුව ඉදිරියට ගෙන යාමට පෙරාතුව, එකී සැළසුම පිළිබඳව හා එහි කර්තව්‍යයන් පැවරෙන පුද්ගලයන් සම්බන්ධයෙන්, නිල නොවන සාකච්ඡාවකට වර්තමාන විපක්ෂයේ දේශපාලන නායකයන් දෙදෙනාට අපි ඇරයුම් කළෙමු. ඔවුන්ගේ විවේචන ද ඇතුළත්ව, මේ සමස්ත කටයුත්තේ දී ඔවුන් ඉටු කළ කාර්යභාරය නිශේධනීය එකක් විය.

1937 ෆ්ලින්ට් වාඩිලා ගැනීමේ වර්ජනය – කම්කරුවෝ කම්හල් අසල රැස්වෙති ඡායාරූපය: ෆ්ලින්ට් ජර්නල් ඡායාරූප ගොමුවෙනි

විරුද්ධ පක්ෂයේ නායකයෝ සිය ප්‍රකාශ එම රැස්වීමේ එක් පාර්ශ්වයකට – එහි ක්‍රියා පටිපාටියට – පමණක් සීමා කරති. මගේ අදහසේ හැටියට එය එහි වඩාත් ම අඩු වැදගත් කමින් යුත් පාර්ශ්වයයි. මෙම රැස්වීම, තමා ම තීරණ ගනිමින්, පක්ෂයේ නිල නායකත්ව කායය වෙනුවට තමන් ආදේශ කර ගන්නා රහස් කල්ලියක් පවතින බව පිළිබඳ ඔප්පු කෙරෙන තමන් සතු විශාල “සාක්ෂි”වලින් එකක් ලෙස උපුටා දක්වනු ලැබේ. ඉදින් එය කල්ලි ක්‍රියාකාරකමක් වී නම්, බර්න්හැම් හා ෂැට්මන්ට ඊට සහභාගී වීමට ඇරයුම් කෙරුනේ මන්ද? වඩාත් යුක්තිගරුක අර්ථකථනය විය හැකිව තිබුනේ, ඔවුන් සමඟ මෙම නිල නො වන රැස්වීමේ අරමුණ, (ඔටෝ උද්ඝෝෂණය සඳහා වූ) සැළසුම් අවසාන වශයෙන් හැඩ ගැන්වීමට පූර්වයෙන් ඒ සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමටය යන්නයි. අපේ අභිප්‍රායයන් සම්බන්ධයෙන් නම්, එම අර්ථකථනය මුළුමණින් ම නිවැරැදි වනු ඇත. බර්න්හැම් හා ෂැට්මන් මෙම රැස්වීමට සහභාගී වීමට කිසිදු විරුද්ධත්වයක් දැක්වූයේ නැත; ඔවුන් මෙය වැරැදි වැඩක් බව සොයා ගත්තේ සිදුවීමෙන් බොහෝ කලකට පසුව ය. අතීත දිනවල දී, දේශපාලන මණ්ඩලයේ නිල රැස්වීමට පූර්වයෙන් එවැනි නිල නො වන රැස්වීම් සිය ගණනින් නො වේ නම්, දුසිම් ගණනින්, විසි තිස් ගණන්වලින් පවත්වා ඇත; එය, සැබෑ ලෙස ක්‍රියාත්මක වන “සාමූහික නායකත්වය“ක අන්‍යොන්‍ය සහයෝගීතාවයේ සාමාන්‍ය විධික්‍රමයකි. බර්න්හැම් හා ෂැට්මන්, ක්‍රියා පටිපාටිවල යමක් වැරැදී ඇතැයි සොයා ගෙන, සිල් බිඳී යාමේ ධාර්මික ශෝකය තැවරුණු ස්වරයකින්, දේශපාලන කමිටුව හා ජාතික කමිටුව යන කමිටු දෙකේ බලතල පැහැර ගනිමින් මේ සමූහය තීරක කණ්ඩායම ලෙස වාඩි වන්නේ කවර අධිකාරී බලයකින්දැයි අසන්නේ බොහෝ කාලයක් ඉකුත්ව යාමෙන් පසුව පමණෙකි. නව අවුරුදු රැස්වීම, “අධිකාරී බලයෙන්” හෝ අන් ආකාරයකින් කිසිදු පැහැර ගැනීමක් සිදු කළේ නැත. එම රැස්වීමේ දී සූත්‍රණය කෙරුණු සැළසුම් ජනවාරි 3 දා පැවැති දේශපාලන මණ්ඩලයේ විධිමත් රැස්වීමට සම්පූර්ණයෙන් වාර්තා කරනු ලදුව, එම සමූහනය විසින්, හා එම සමූහනය විසින් පමණක් ම විධිමත් ලෙස තීරණය කෙරින. නො නිල රැස්වීම සැළසුම් සකස් කළේය, දේශපාලන කමිටුවේ නිල රැස්වීම ඒවා ක්‍රියාවට නැංවීමේ තීරණය ගත්තේය. අතීතයේ සිය ගණන් වාරවල දී අප වැදගත් කරුණු සම්බන්ධයෙන් කටයුතු කළේ ඒ ආකාරයෙනි; අනාගතයේ දී ද, සිය ගණන් වාරවල දී අප වැදගත් කරුණු සම්බන්ධයෙන් කටයුතු කරනු ඇත්තේ ඒ ආකාරයෙනි. එකී ක්‍රියා පටිපාටියේ දෝෂසහගත හෝ අක්‍රමවත් කිසිවක් හෝ නැත.

එහෙත් ඕනෑම බැරෑරුම් නායක මණ්ඩලයක සාමාජිකයන් අතර ක්‍රියාකාරිත්වයෙහි ලා භාවිත පොදු විධික්‍රමයක් පිළිබඳ මෙම සරල හා නො වක් පැහැදිළි කිරීම අපේ අද්භූත කථා රචකයන්ට ගැලපෙන්නක් නො වේ. දුෂ්ට වූ යමක් ඇරඹි තිබේ; ඔටෝ ක්ෂේත්‍රයේ අපගේ වෘත්තීය සමිති වැඩ කටයුතුවලට ප්‍රගාමක බලයක් ලබා දීමට ඩොබ්ස් හා ඩන් සැතපුම් 1,300 ක් සංචාරය කර ඇති බව ආදී ඒත්තු ගැන්වීමට නො හැකි ගෙතූ කථාවලින්, තීක්ෂණ බුද්ධියකින් යුත් අපේ හෝක්ෂෝවරුන්* (*හෝක්ෂෝ යනු 19 වන සියවසේ ප්‍රචලිත – ශර්ලොක් හෝම්ස් වැනි – කල්පිත රහස් පරීක්ෂක චරිතයකි) මුළා කිරීමට කිසිවෙකුට නො හැකිය. සිය “කල්ලියේ” උත්සුකයන් පිළිබඳව අමතක වන සුළු කැනන් “යුරෝපය කරා පිටත්වීමට සූදානම්ව සිටි” බව ඔවුහු සිය පාඨකයන්ට සිහිපත් කර දෙති. මෙහි දී ඔවුහු මේ අභිරහසේ හදවත ම උගුළුවා දක්වති: මෙම රැස්වීම සැළසුම් කෙරුනේ, ඔහු නො මැති කාලයේ දේශපාලන කමිටුවේ වැඩ කටයුතු නිසරු කිරීමේ අරමුණෙනි.” එය ඇත්ත වශයෙන් ම “ඝෝර” සැළසුමකි. එහෙත් මේ රැස්වීම ඔටෝ ක්‍ෂේත්‍රයේ තතුවලට සීමා කෙරුනේ කුමක් නිසා ද? මෙම ක්‍ෂේත්‍රය තුළ දේශපාලන කමිටුව මෙන් ම සමස්තයක් ලෙස පක්‍ෂයත්, ඒ වන විටත් බෙහෙවින් “නිසරු“ව පැවැතුනි; සැලැස්ම වූයේ එහි කටයුතු පෝෂණය කර, ප්‍රසාරණය වීමටත්, වර්ධනය වීමටත් අවශ්‍ය උපාය සම්පාදනය කිරීමයි. රැස්වීමේ දී සාකච්ඡා වූ අනෙක් එක ම කරුණ වූයේ සෝෂලිස්ට් ඇපීල් ප්‍රකාශනයේ පූර්ණකාලීන කර්තෘ පදවියට ෂැට්මන් පත් කිරීමයි. හරි හැටි ම කිවහොත්, ඔහුගේ මුරණ්ඩු ප්‍රතිරෝධය සාක්ෂ්‍ය දරන පරිදි, මෙය ඔහුගේ කර මත පැටැවුනු යම් තරමක බරක් විය. එහෙත් එමඟින්, කැනන් “යුරෝපය කරා පිටත්වීමට සූදානම්ව සිටි” දිනවලට පෙර නිසරු නො වූ “අධිකාරී බලය“කින් යුතුව සියලු ක්‍ෂේත්‍රවල කටයුතු කරමින් තුබූ දේශපාලන කමිටුවේ බලතල හා පරමාධිකාරය කඩ වූයේ නැත. රැස්වීමේ කරනු ලැබ, දේශපාලන කමිටුව පසු අනුමැතිය ලබා දුන් තීරණ, ප්‍රතිපත්තිමය කරුණු සමඟ නො ව, ඔටෝ ක්ෂේත්‍රයේ අපේ වෘත්තීය සමිති කටයුතු සංවිධානය කිරීමේ සැළසුම් හා ක්‍ෂේත්‍ර කාර්ය මණ්ඩලය සමන්විත වන පුද්ගලයන් සමඟ බැඳුනු ඒවා විය. තව ද, ජාතික කමිටුවේ සාමාජිකයන් සිව් දෙනෙකු ක්‍ෂේත්‍රයේ කටයුතු කිරීමට නියමිතව සිටි තතු යටතේ, උද්ඝෝෂණ සංවිධානය කිරීමේ මෙහෙයවීම් කටයුතු නිතැතින් ඔවුන් අතට පැවරින. මෙය, දේශපාලන කමිටුවේ අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන අසාමාන්‍ය ක්‍රියා පිළිවෙතක් ද? කිසිසේත් නැත. වෘත්තීය සමිති උද්ඝෝෂණ, ඉදින් ඒවා අපගේ ප්‍රකාශනවල පිටුවලින් උඩට ඔසොවා තත්‍ය ජීවිතය තුළ සාක්ෂාත් කිරීමට නම්, ඒවා වෘත්තීය සමිති කටයුතුවල විශේෂ සාමර්ථය ලද හා සිය අවධානයත්, ශක්තියත් ඒ මත සංකේන්ද්‍රණය කළ මිනිසුන් අතට පත් කළ යුතු ය. 

ඉදින් අපේ විවේචකයෝ මෙම පැහැදිළි කිරීමෙන් සෑහීමකට පත් නොවන්නහු නම්, අප ඒ හෝ මේ මැකියාවෙලියානු ආකාරයකින් ඔවුන් රවටා ඇතැයි ද, “කල්ලිය” එහි එක් සාමාජිකයෙකු ප්‍රංශයට පිටත් කර යවා අන්‍යයන් ඔටෝ ක්ෂේත්‍රයට පිටත් කර යැවූ කල දේශපාලන කමිටුව වන්ධ්‍යාකරණයට ලක් වෙතැයි ද තවමත් ඔවුහු සිතන්නහු නම්, – ඔවුන්ට තවමත් ඒ ගැන හැඟෙන්නේ ඒ ආකාරයට නම් – තමන්ගේ වාඩුව ගැනීමට අවස්ථාවක් දීම සඳහා, මම ඔවුන්ට සරළ යෝජනාවක් ගෙන එනු කැමැත්තෙමි. ඔවුන් කිසියම් ශිල්පයක හෝ කර්මාන්තයක නියුක්ත කම්කරුවන් හෝ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සමඟ සම්බන්ධකම් ඇති කර ගත යුතුය; එකී ක්ෂේත්‍රය තුළ අපේ වෘත්තීය සමිති කටයුතු විස්තාරනය කිරීමට හා වර්ධනය කිරීමට එකී සම්බන්ධතා භාවිතා කිරීම සඳහා සැළසුමක් කෙටුම්පත් කළ යුතුය; දැන් ඔවුන්, අප සමඟ පූර්ව සාකච්ඡා කොට හෝ එසේ නො කොට, දේශපාලන කමිටුවට පැමිණ, එම සැළසුම අනුමත කරන ලෙසත්, එම උද්ඝෝෂණයේ මෙහෙයවීම් තමන් අත තබන ලෙසත් යෝජනා කළාවේ. ඔවුන්ගේ සැළසුම ක්‍රියාත්මක කිරීම සඳහාත්, එකී සම්පූර්ණ උද්ඝෝෂණයේ මෙහෙයවීම ඔවුන් යටතේ සිදු කිරීම සඳහාත් මගේ අත් දෙකම ඔසොවා ඡන්දය දෙන බව මම කල් තබා ම පොරොන්දු වෙමි. ඔවුන්ගේ සැළසුම යොමු කෙරෙන්නේ වානේ කම්කරුවන්, නැවියන්, ඉදිකිරීම් කටයුතුවල බඩු අදින අත් උදව්කරුවන්, නැතහොත් සිටි කොලීජියේ හෝ නිව්යෝර්ක් සරසවියේ පිරිසිදු කරන්නන් යන කවරෙකු හෝ වෙත වේවා, මගේ මේ ප්‍රතිඥාවෙන් මා බැඳී සිටින බව ඔවුන්ට සලකා ගත හැකිය.           

මෙම සාධාරණ යෝජනාව භාර ගැනෙතැයි සිතිය නොහේ. වෘත්තීය සමිති කටයුතු කෙරේ ඔවුන්ගේ දිශානුයෝජනය ශාස්ත්‍රීය එකකි; අපේ පෙළගැස්ම වඩාත් තථ්‍ය එකකි. බොහෝ සේ සාකච්ඡා වී ඇති “නව අවුරුදු රැස්වීමේ” අර්ථය එයයි. නව අවුරුදු රැස්වීම අප දුටුවේ ද, තවමත් දකින්නේ ද අපේ වෘත්තීය සමිති කටයුතු ප්‍රසාරණය කිරීමේ අභිලාෂවත් සැලැස්මක් වර්ධනය කිරීමේ එක් අදියරක් ලෙස ය. සිදුවීම දෙස ආපසු හැරී බලන ඔවුන් දකින්නේ, එය තමන්ට එරෙහි “උපායයක්” ලෙස පමණෙකි. අපේ උපායය සුවිශේෂී ලෙස එල්ල කෙරුනේ ඔටෝ කර්මාන්ත හිමිකරුවන්ට හා ඔවුන්ගේ ශ්‍රම ඒජන්තයන්ට එරෙහිව ය යන්න පවා අවබෝධ කර ගැනීමට ඔවුහු අසමත් වෙති.     

පක්‍ෂයේ නිර්ධන පන්ති හා සුළු ධනේශ්වර ප්‍රවණතා අතර ගැටුම බොහෝ කාලයක් මුළුල්ලේ ප්‍රමුඛ වශයෙන් ප්‍රකාශයට පත් වූයේ මෙම පෙළගැස්මේ වෙනස තුළ ය. වර්තමාන සාකච්ඡාව තුළ එය ක්‍රියා මාර්ගික ආකෘතියක් ගෙන ඇත. සංයුතියෙන් නිර්ධන පන්තික වූ සහ කම්කරුවන්ගේ බහුජන ව්‍යාපාරය තුළ මුල් බැස ගත් නිර්ධන පන්ති පක්‍ෂයක් සඳහා අපේ අරගලය, නිර්ධන පන්ති ක්‍රියා මාර්ගයක් සඳහා කෙරෙන අශමනීය අරගලයක් මඟින් වැර ගැන්වීමට අපට බල කෙරී ඇත. පසුගිය සම්මේලනයේ දී පෙනී ගිය පරිදි, නිහඬ අරගලය විවෘතව වඩාත් පුළුල් පෙරමුණක පුපුරා යාමට හේතු වූයේ, ඊට හේතුභූත වූ ක්‍රියා මාර්ගික වෙනස්කම් සම්බන්ධයෙන් මෙසේ හෙළිදරව් වීමයි. පසුගිය සම්මේලනයේ දී දෙපාර්ශවයට ම නිසැකව ම එළඹෙන කුණාටුව දැනී තිබිණ. එහෙත් අපේ පැත්තෙන් ගත් කල, අපේ ක්‍රියා මාර්ගය හා දෘෂ්ටිවාදය පිළිබඳ මූලික ඒවා ලෙස අප සැමවිට ම සැලකූ මේ ගැටළු, ඒ සා බලගතු සහ අශමනීය ආකාරයෙන්, ඒ සා ඉක්මණින් පුපුරා යතැයි අප කිසිසේත් අපේක්ෂා කළේ නැත. මෙම දෘෂ්ටි කෝණයෙන් ගත් කල, නිර්ධන පාන්තික දිශානතිය වෙනුවෙන් පසුගිය පක්ෂ සම්මේලනයට ඉහත සෝෂලිස්ට් ඇපීල් ප්‍රකාශනයට මා ලියූ ලිපි [10] පරිපූරණය කිරීම සහ ක්‍රියා මාර්ගය පාර්ශවයට අවධාරණය දීම අවශ්‍ය කෙරේ.

විපක්ෂයේ ලේඛනය මෙම ලිපි පිළිබඳව සඳහන් කරන්නේ ඒවා “සංවිධානයපිළිබඳ ලිපි” ලෙස ය. එය ඒවායේ අන්තර්ගතය පිළිබඳ නොගැඹුරු හා සාවද්‍ය ඇගයුමකි. ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ, පෞද්ගලික සම්ප්රදානයක් ලෙස මුද්රණය කරන ලද නමුදු, එකී අදහස් වලින් බොහොමයක් …. සාමූහිකව නිෂ්පාදිත” බවයි. මෙය ද නිවැරදි නො වේ. මෙම ලිපි තුළ මා විභාග කළ අදහස් සැබැවින් ම පොදු අදහස් වී නම්, අනෙකුත් බොහෝ අවස්ථාවන්හි පරිදි ම, ඒ දිනවල මගේ කටයුතු මුළුමනින් ම පාහේ අත්පත් කර ගෙන තුබූ පරිපාලන හා සෙසු කටයුතු වලින් තම අත් නිදහස්ව හුන් අන්‍යයන්ට ඒවා ලිවීමට පැවරීමෙන් මා තෘප්ත වනු ඇත. මෙම ලිපි “ලියා ඇත්තේ, අත්යවශ්යයෙන් , සම්මේලන දෙක අතර පක්ෂ නායකත්වය පිළිබඳ අවශ් චෝදනා වළක්වා ගැනීමේ අරමුණින යන තර්කය මුළුමනින් ම පදනමකින් තොර ය. විවේචනවලින් වැඩි කොටස සමඟ මා එකඟ වූ අතර, මෙම ලිපි, තත්ත්වය වැඩි දියුණු කර ගැනීමේ මඟ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අදහස් නියෝජනය කළේය. 

මෙම ලිපි අපේ පක්ෂයේ අනාගත මංපෙත් පෙන්වා දෙන බව අදට ද මම සිතමි. පහත දැක්වෙන ලෙස ප්‍රකාශිත අපේ මූලික ප්‍රශ්නය තවමත් පවතී; එකී ප්‍රශ්නය වන්නේ, නිවැරදි දිශාවට මුහුණ ලා ගැනීමයි. එනම්, සියල්ලට පළමු, අසුබවාදීන් හා විපත් හඟවන උඩු බුරලන්නන්ට , ජීව ගුණයෙන් හීනව ගිලන් වූ බුද්ධිමතුන්ට , කන්කෙඳිරි ගාමින්යම්තාක් දුරකට අපේ ශ්රේණි අතර උපද්රවකාරී ලෙස රැස් කෑමක් තරමට පවා පත් වෙමින්ව්යාපාරයේ වාටිය වටා අලස ලෙස රස්තියාදු වන සහ  විඩාපත් රැඩිකලුන්ටත් පිටුපා සිටීමයි.” මා තවමත් සිතන පරිදි, “ සියල්ලන්ගෙන් වඩාත් වැදගැන්මකට නැත්තවුන් වන්නේ, මාක්ස්වාදය සමඟ තමන්ට පවතිතැයි අලුතින් සොයා ගන්නා ලදදෘෂ්ටිවාදාත්මකනො එකඟතාවයන් දමා ගසමින් තම පලා යාම හා පසුබැසීම ආවරණය කර ගැනීමට යත්න දරන්නන් . සමස්ත වශයෙන් ගත කල ඔවුහු අරුචිකර හා නීරස සමූහනයක් වෙති. එහි ස්වභාවයෙන් සියලු ආකාරයේ අශුභවාදයන්ට හා පරාජිතවාදී ප්රවණතාවයන්ට එරෙහි ව්යාපාරයක් වන කම්කරු මුක්තියේ ව්යාපාරය ඔවුන්ගෙන් කවරාකාරයෙන් හෝ පිළිබිඹු වෙතැයි සැලකීම අමු විකාරයකට අඩු යමක් නො වේ. යුද්ධයට පෙර පරාජය නිවේදනය කරන මේ අණබෙරකරුවන් හා පලායන්නන් සමඟ කාලය නාස්ති කර ගැනීම හෝ මේ ප්රශ්නය ගැන වාද විවාද කිරීම පවා අපරාධකාරී අඥානකමකි.”      

පසුගිය පක්ෂ සම්මේලනයට පෙර මම මෙසේ ලිවීමි: “අපේ සම්මේලනය, මළගියවුන් වල දැමීම මළවුන්ට ම භාර කොට, බලයේ, ආවේශයේ හා හොඳින් භූමියේ පය ගසා ගත් ශුභවාදයේ සැබෑ ප්‍රභවය වන කම්කරුවන් දෙසට හැරිය යුතුය. අපි මෙය ඉහත දී කියා ඇත්තෙමු. එක් වරකට වඩා අපි එය අභියෝජනාවල ඇතුලත් කර ඇත්තෙමු. එහෙත් අපි ඍජු විලාසයකින් මෙම හැරීම ගෙන නැත්තෙමු. අප, පසුපසින් ගාටන්නේ මේ නිසා ය. අප නිශ්චිත එක තැන පල්වීමකින් පෙලීමේ ප්‍රධාන හේතුව මෙයයි. ගතානුගතික නිෂ්ක්‍රිය භාවයේ, අන්තරාවලෝකනයේ හා නිස්සාරත්වයේ රේඛාවන් ඔස්සේ පක්ෂයේ පරිහානියක අනතුර සමඟ පවා අප තොත්ත වෙමින් සිටින්නේ මේ නිසා ය.”

මම මෙසේ ලිවීමි: “එක්සත් ජනපදයේ නිර්ධන පන්තිය අසීමිත බලයේ ප්රභවයකි, එයට සමස්ත ග්රහ ලෝකය එහි උර මත දරා එසැවිය හැකියඅපේ සියලු ගණන් බැලීම්වල හා අපේ සියලු කටයුතුවල නො සැලිය හැකි පූර්වාවයවය වන්නේ එයයි. .. රට තුළ ධනේශ්වර ක්රමයේ ව්යුහය පෙරළා දැමීමටත්, තමන් නැඟෙන විට සමස්ත ලෝකය තමන් සමඟ ඔසොවා ගැනීමටත් ප්රමාණවත් බලයක් ඇමරිකානු කම්කරුවන් සතුව ඇත!”   

1934 ඔටෝ කම්කරු වර්ජනය ඡායාරූපය: SocialistWorker.org වෙතිනි

එම වචන – මගේ සියලු පූර්ව-සමුළු ලිපිවල අන්තර්ගත මේ තේමාව – අදට ද හොඳින් ම වලංගු ය. අතීතය දෙස හැරී බැලීමේ දී පෙනී යන්නේ ඒවා ඒ කාලයේ මා දැන සිටියාට වඩා අනාගත වක්තෘත්වයකින් යුත් බවය. නිව්යෝර්ක්හි පක්ෂ ශාඛාවේ අයෝග්‍ය සංයුතිය හා කම්කරුවන්ගේ බහුජන ව්‍යාපාරය සමඟ එහි ප්‍රමාණවත් සම්බන්ධයක් නොමැතිකම විසින් ගම්‍යමාන කෙරුණු “පරිහානියේ අන්තරායය කෙතරම් ගැඹුරුදැයි, කෙතරම් සුවිසල්දැයි එවකට මම දැන නො සිටියෙමි.

එම ලිපියේ මම මෙසේ කීවෙමි: “අපේ වැඩ පිළිවෙල න්යායේ සහ අත්දැකීම්වල සියලු පරීක්ෂාවන්ට ඔරොත්තු දී ඇති අතර, එය පරාජය කළ නොහැක්කක් ලෙස පවතී.” මෙම වචන මා ලියූවේ, අප සියලු දෙනා එකඟ වන සත්‍යයක් මා ප්‍රකාශ කරන බවටත්, අප අතර වෙනස්කම් හුදෙක් දිශානතිය, අවධාරණය හා භාවිතය සම්බන්ධ කරුණු වලට සීමා වී තුබූ බවටත් වූ උපකල්පනය මත බව මා පිළිගත යුතුය.  

මගේ යෝජනාව මත සම්මේලනය විසින් සම්මත කරන ලද පක්ෂය ප්‍රසාරණය කිරීමේ අභිලාෂවත් සැලැස්ම, මාස කිහිපයක් ඇතුළත, පක්ෂය තුළ කණ්ඩායම්වාදී සිවිල් යුද්ධයක් මඟින් කඩාකප්පල් කරනු ලැබ, න්‍යාය පත්‍රයෙන් ඉවතට තල්ලු කෙරෙනු ඇතැයි මට දැනගත නො හැකි විය.

සෙසු සහෝදරවරුන් සමඟ මම ද, අපේ නායකත්වයේ බුද්ධිමතුන්ගේ පාර්ශ්වයෙන් ඇති කෙරෙන අනාගත අවහිරකම් අපේක්ෂා කළෙමු. එහෙත් ඔවුන් අපේ මූලික වැඩ පිළිවෙලට, අපේ දෘෂ්ටිවාදයට, අපේ සම්ප්‍රදායට හා අපේ සංවිධානාත්මක විධික්‍රමවලට එරෙහිව කැරැල්ලකට නායකත්වය දීමට භාර ගනු ඇතැයි අප පෙර දුටුවේ නැත. එකී කැරැල්ලේ මෙම නිරූපණය විසින් අපට බල කෙරුනේ, අරගලයක් මඟින් පක්ෂය තුළ මාක්ස්වාදයේ ආධිපත්‍යය යළි ස්ථාපනය කරන තුරු, බාහිර කටයුතු සඳහා වූ අපේ අභිලාෂවත් සැලැස්ම ක්‍රියාවට ලීම පසෙක තැබීමට – එය කල් තැබීමට – යි. එම අරගලය දැන් අවසානය කරා එළඹෙමින් තිබේ. මාක්ස්වාදයේ, හා එමඟින් නිර්ධන පන්ති ප්‍රවණතාවයේ, විජයග්‍රහණය දැනටමත් සහතික වී ඇත. එකී පදනම මත, පසුගිය ජූලි සම්මේලනයේ දී සම්මත කෙරුණු පියවරවල අන්තර්ගතයට නො වෙනස් පියවර මඟින් නිර්ධන පාන්තික පෙළගැස්ම ක්‍රියාවට ලීමට මෙම සමුළුවට නැවතත් තීරණය කළ හැක. එය එසේ කරනු ඇත.

සමුළුව මුළු දෙමින්, එහි කටයුතු නිර්ධන පංති දිශානතිය යටතේ පවත්වනු ඇත. එළඹෙන යුද්ධයට මුහුණ දීමේ මාවත එයයි. අප සම්බන්ධයෙන් ගත් කල, යුද්ධය සඳහා සූදානම් වීම යන්නෙන් කිසියම් ගුප්ත විශේෂ කර්තව්‍යයක් අදහස් නො කෙරේ. එහි අර්ථය වන්නේ පක්ෂය කම්කරුවන් වෙත හැරීම සහ වෘත්තීය සමිති තුළට ගැඹුරින් කා වැදීමයි. ඉන් අදහස් වන්නේ පක්ෂ සාමාජිකත්වයේ සංයුතිය නිර්ධන පංතිකරණය කිරීම් වස් ප්‍රබල පියවර ගැනීමයි. තව ද, කණ්ඩායම් අරගලයේ අත්දැකීම්වල ආලෝකයෙන් පෙනී යන පරිදි, නිර්ධන පාන්තික දිශානුයෝජනය යනු අන් සියල්ලටමත් වඩා, සියලු පෙරමුණුවල දී, නිර්ධන පංති විප්ලවයේ දෘෂ්ටිවාදය හා වැඩ පිළිවෙලට – මාක්ස්වාදයට, එනම්, ට්‍රොට්ස්කිවාදයට – එරෙහි ඕනෑම හා සියලු විරෝධයන්ට විරුද්ධ අශමනීය යුද්ධය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ දෘඩ තීන්දුවකි. සියල්ල කළ හැකි වනුයේ එවිට ය.

නිව්යෝර්ක්, 1940 අප්‍රේල් 01

ජේම්ස් පී. කැනන්

[10]: මෙම ලිපි, සෝෂලිස්ට් ඇපීල්හි 1939 ජූනි 13, 16, 20, 23, 27 හා 30 දින දරන අනුපිළිවෙලින් ප්‍රකාශිත කලාප තුළ පළ විය.

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්123456-I6-II78-I8-II8-III8-IV8-V9-I9-21011-I11-II11-III, 12-I, 12-II

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top