සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම – 3

(සසප වම කන්ඩායමෙන් පලා ගිය ත්‍රිත්වයක් කම්කරු පන්තියේ පක්ෂයක නායකත්වය පිලිබඳ ව මාක්ස්වාදයට සතුරු ආස්ථානයක් යෝජනා කිරීම නිමිති කර ගනිමින්, ඔවුන්ගේ ආස්ථාන මාක්ස්වාදයේ දෘෂ්ටි කෝනයෙන් විභාග කිරීමේ විශ්ලේෂනයක් ලෙස මෙම ලිපි මාලාව පල වේ. එකී ආස්ථානවලට එරෙහිව මාක්ස්වාදී විධික්‍රමය හා මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා කැප වූ මෙම ලිපි මාලාව, සමකාලීන අත්දැකීම් තුල අප හමුවේ ඇති විප්ලවවාදී අභියෝග වටහා ගැනීමට හා ඒවාට මුහුන දිය යුතු ආකාරය නිස්සාරනය කර ගැනීමට අවශ්‍ය එලියක් විහිදුවනු ඇතැයි යන්න අපේ වැටහීමයි.
මෙහි පලවන්නේ එම ලිපි මාලාවේ තුන්වැන්නයි. පසුගිය ඔක්තෝබර් 7 වන දින එහි පලමු කොටස පල වූ අතර, දෙවැන්න ඔක්තෝබර් 13 වන දින පල විය.)

(සැ.යු. ඔවුන්ගේ ලිපියේ උපුටනවල අංක ලෙස මෙම ලිපිය තුල දැක්වෙන්නේ, සිය ලේඛනය තුල ඔවුන් විසින් යොදන ලද අංක බව කරුනාවෙන් සලකන්න.)

නන්දන නන්නෙත්ති

3 කොටස
ජාත්‍යන්තරවාදය ගැන බොරු තර්ක

දැනට ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාවේ සාමාජිකත්වය අහිමි කරනු ලැබ ඇති නිසාත්, තමන් යෝජනා කර ඇති පිලිවෙත වන සසප නායකත්වය අත්පත් කර ගැනීමේ සටන සාර්ථක කර ගනිමින් සසපට බැඳී ගැනීමට සටන් නො කරන නිසාත් සසප වමට ජාත්‍යන්තරවාදීන් ලෙස පෙනී සිටීමට කිසිදු අයිතියක් නැති බව සනාථ කිරීමට පිටු ගනනාවක් ත්‍රිත්වය විසින් වැය කරනු ලැබ ඇත. මෙය සසප වම පිලිබද කරුනකට වඩා ජාත්‍යන්තරවාදයේ හදවටතම එල්ල කරන ප්‍රහාරයකි. එම නිසා පිටු 65න් උපුටනයක් කිහිපයක් ඉස්මතු කිරීමට අපට ඉඩ දෙන්න.

03 (v) “1953 හජාජාක පිහිටවනු ලැබූ අවස්ථාවේ, ලෙස්ලි ගුනවර්ධන ප්‍රමුඛ ලසසප නායකත්වය විසින් හජාජාක සාමාජිකත්වය ලබා ගැනීමෙන් වැලකුනි. ඉන් පසු, හජාජාක විසින් ඔවුහු, ජාත්‍යන්තරවාදීන් ලෙස සැලකුවේ නැත. මන්ද හජාජාක සාමාජිකත්වයෙන් තොරව ජාත්‍යන්තරවාදයක් නො මැති බැවිනි.“
03(vi) “විකොස කේඩරය ජාත්‍යන්තරවාදීන් බවට පත් වනුයේ ජාත්‍යන්තර කමිටුවෙහි නිල සාමාජිකත්වය ලබා ගැනීමට සටන් වැද එය ලබා ගැනීම සමගිනි.“
03(vii) “ජාත්‍යන්තර කමිටුව නායකත්වය දීමට බැඳී සිටියේ ද බැඳී සිටින්නේ ද අනාගතයේ දී බැඳී සිටිනුයේ ද එහි නිල සාමාජිකත්වය ලබා ගන්නා හෝ ඒ සඳහා (නිල සාමාජකත්වය සඳහා) අරගල කරන පිරිසකට පමනක්” ය.
04 (ix) හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකයෙකු වූ ජෙරී හීලි බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය හතරවන ජාත්‍යන්තරයේ සාමාජිකත්වය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ සාමාජිකත්වය ඒත්තු ගන්වා ගැනීමට ගත් උත්සාහයේ දී 1943 අගෝස්තු 10 දා ලියන ලද ලිපියකින් උපුටා දැක්වීම: “..මෙම ලේඛනයේ ප්‍රධාන අරමුන දැනටමත් ඇරඹී තිබෙන අරගලය තුල ට්‍රොට්ස්කිවාදයේ සම්ප්‍රදායික සංවිධානය ශක්ති සම්පන්න කිරීමට පවතින අනිවාර්ය අවශයතාව හමුවෙහි, හතරවන ජාත්‍යන්තරයේ නිල කන්ඩායම වීමෙහි වැදගත්කම සාමාජිකයන්ට වටහා දීම ය.“

අපි මෙයට තවත් එකක් එක් කිරීමට කැමැත්තෙමු. ඒ හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියොන් ට්‍රොට්ස්කි විසින් ලියන ලද එහි ක්‍රියා මාර්ගයෙනි: හතරවන ජාත්‍යන්තරයේ “අනුගාමීකත්වය තවමත් ප්‍රධාන වශයෙන් කේඩරයන් ය. මෙම කේඩරයන්ගෙන් පිටත මෙම ග්‍රහලෝකය මත විප්ලවවාදී යන නමට සැබැවින්ම උචිත වන එකද විප්ලවවාදී දහරාවක් හෝ නැත.“

ලියොන් ට්‍රොට්ස්කි

ත්‍රිත්වය, අභියෝග කල නො හැකි මෙම වියුක්ත සත්‍යයන් ඒවායේ සන්දර්භයෙන් හා අන්තර්ගතයෙන් වෙන් කර ගෙන, ඒවා සිය තත්කාර්යවාදී අවශ්‍යතාවන් සඳහා යොදා ගැනීමට ප්‍රයත්න දරයි. මෙතැන දී, පලමුකොට ම ජාත්‍යන්තරවාදය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන බොහෝ දෙනා දන්නා දෙය යලි මතක් කර ගැනීම උචිත ය. මාක්ස්වාදීන් ජාත්‍යන්තරවාදය යන්නෙන් අදහස් කරන්නේ, සමාජවාදය සඳහා අරගලය සහ ධනවාදය පෙරලා දැමීම, ජාතික සීමාවන් ඉක්මවා යා යුතුය යන මූල ධර්මයයි. ධනවාදයේ අර්බුදය වනාහී, නිෂ්පාදන බලවේගවල වර්ධනය හේතුවෙන් ජාතිකවාදය හා පුද්ගලික දේපල ක්‍රමය, ලෝක ආර්ථිකය හා සමාජ නිෂ්පාදනය සමග ගැටීමේ ප්‍රතිඵලයකි. කම්කරු පන්තිය යනු සිය පැවැත්මෙන් ම, සූරාකෑම මෙන් ම දේශ සීමා ද ඉවසිය නො හැකි පන්තියයි. ධනපති ක්‍රමය යනු ලොව පුරා කම්කරුවන් සූරා කන ගෝලීය පද්ධතියක් බැවින් ද, අද දවසේ නිෂ්පාදනය යනු ලෝක ගෝලීය ක්‍රියාදාමයක් හෙයින් ද, පන්ති විරහිත සමාජයක් සඳහා අරගලය එක් රටකට පමනක් සීමා කල නො හැකි ය. මෙම ඉදිරි දර්ශනය, ජාතීන් පුරා කම්කරුවන් අතර සහයෝගීතාව හා සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටින අතර, සමාජවාදී සමාජයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධීකරනය වූ ගෝලීය උත්සාහයක අවශ්‍යතාව අවධාරනය කරයි.

මෙම මූලධර්ම මත පිහිටා, අවස්ථාවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා අවංකව ම පෙනී සිටින සංවිධානයක් හෝ පුද්ගලයෙකු ජාත්‍යන්තරවාදී නො වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය මෙතැන දී අදාල ය. අප කන්ඩායම සම්බන්ධයෙන් ගත් විට, ජාත්‍යන්තර කමිටුව හෝ එහි ලංකා ශාඛාව වන සසපය හෝ මෙම ඉදිරි දර්ශනය අත් හැර දැමූ ප්‍රතිජාත්‍යන්තරවාදීන් යයි අප මෙතෙක් කිසිවිටෙකත් කියා නැත.

ත්‍රිත්වයේ තර්කවලට අනුව ජාත්‍යන්තරවාදියෙකු යනු කෙනෙකුට ජාත්‍යන්තර කමිටුවෙන් පත් වීමක් ලබා දීමට සමාන දෙයකි. සත්‍යය නම්, යම් ව්‍යාපාරයක් නියෝජනය කරන්නේ කුමන දේශපාලන අවශ්‍යතාවක් ද යන කරුනේ දී මාක්ස්වාදය සලකා බලන්නේ එය අනුයන ඉදිරි දර්ශනය, ක්‍රියා මාර්ගය, එහි භාවිතය හා ඉතිහාසය යන කරුනු ය. දැන් ප්‍රශ්නයක් පැන නගී.

ජාත්‍යන්තරවාදීන් ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකයන් විය යුතු වන නමුත් ජාත්‍යන්තරවාදය මත දෘඩතරව සිට ගත්, එහෙත් ජාක ලංකා ශාඛාව විසින් පලවා හරිනු ලැබ ඇති කන්ඩායමක් යනු කුමක් ද? ත්‍රිත්වයට එවන් පරස්පර විරෝධයන් පෙනෙන්නේ නැත. ඉතිහාසය පුරා ජාත්‍යන්තර කමිටුවෙන් පිටමං වූ කන්ඩායම් හෝ එහි ඉදිරි දර්ශනය ප්‍රතික්ෂේප කිරීම නිසා පිටමං කරන ලද කන්ඩායම් පෙල ගැසුනේ කම්කරු පන්තියට එරෙහිව ය. සසප වමට එවන් චෝදනාවක් කල හැකි ද? එය කිසියම් හෝ දිනක ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය ප්‍රතික්ෂේප කොට ඇත්තේ ද?

මෙහි දී වැදගත් කාරනා වන්නේ, අව්‍යාජ ජාත්‍යන්තරවාදියෙකු නම් ජාකවේ විනය යටතේ ක්‍රියාත්මක වන සාමාජිකයෙකු වීම ඔහුගේ වර්ධනය සම්බන්ධයෙන් මෙන් ම ජාකවේ වර්ධනය සම්බන්ධයෙන් ද අවශ්‍යය වන බව, සහ ජාත්‍යන්තර කමිටුවට බැඳීම ප්‍රතික්ෂේප කරන්නෙකු ජාත්‍යන්තරවාදියෙකු වන්නේ නැති බවත් ය.

ලෙස්ලි ගුනවර්ධන ඇතුලු සමසමාජ පක්ෂය ජත්‍යන්තර කමිටුවේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කල නිසා එම පක්ෂය එහි ශාඛාවක් ලෙස පිලි නො ගත් බවටත්, විකොස ජාත්‍යන්තරවාදී බවට පත් වන්නේ එය ජාකවේ සාමාජිකත්වය ලබා ගෑනීම සමගින් බවටත් තර්ක කිරීම යනු ආත්මීය විඥානවාදියෙකු විසින් සම්භාව්‍ය විතන්ඩවාදයට පවා පරිභව කරනු ලැබීමකි. සත්‍යය නම් සමසමාජය ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී ගියේ එහි ජාතිකවාදී පල්ලම් බැසීම නිසා ය. ජාත්‍යන්තර කමිටුව කවර වියදමක් හෝ දරා කෙසේ හෝ එය රඳවා ගැනීමට උත්සාහ නො කලේ ය. ඒ වෙනුවට එය ලසසපය වැලඳ ගෙන සිටි පැබ්ලෝවාදී ජාතිකවාදයට එරෙහි අරගලය ජාත්‍යන්තර පරිමානයෙන් වර්ධනය කලේ ය. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගොඩ නැඟෙන්නේ එම අරගලය විසින් ජාත්‍යන්තරවාදීන් බවට පත් කෙරුනු තරුනයන් විසිනි. නො එසේව රැඩිකල් තරුන කන්ඩායමක් හතර වන ජාත්‍යන්තරයට බැඳී පසුව ජාත්‍යන්තරවාදීන් වූයේ නැත.

මෙය තව දුරටත් මෙසේ විස්තර කල හැකි ය. විප්ලවවාදී පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීමේ දී පිලිපැදිය යුතු පිලිවෙතක් ඇත. පුද්ගලයකු පක්ෂයට සවන්දීමට කැමති වූ පසු ඔහු බඳවා ගන්නේ, පක්ෂයේ ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය අධ්‍යයනය කිරීමට එම පුද්ගලයා යොමු කරවා ගෙන, අපගේ ඉතිහාසය හා මූලධර්ම පිලිබඳ අවබෝධයක් ලබා දී, ජාත්‍යන්තරවාදයේ අවශ්‍යතාව ඔහු විසින් ඒත්තු ගනු ලැබීමෙන් පසුව පමනි. සසප අද මුහන දී ඇති ගැටලුවලට එක් හේතුවක් නම් මෙම පිලිවෙත නො තැකීම ය.
සසප වම ලෙස අපි, ජාක ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය ද, එහි සංවිධාන පදනම වන ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය ද සඳහා පක්ෂය තුල දීත්, එයින් පලවා හැරීමෙන් පසු ඉන් පිටතදීත් සටන් වැද ඇත. එය ජාකට අන්තර්ග්‍රහනය කර ගන්නවා ද නැද්ද යන්න තීන්දු කල හැකි වන්නේ එහි ලංකා ශාඛාව වන සසපට පමනි.

ජාතිකවාදී ප්‍රවිශ්ටය

26 පිටේ 07(VI) ලෙස සඳහන් ඡෙදයේ මෙසේ ලියා ඇත. “මා, මෙම ලිපිය මගින් ඉදිරිපත් කරනුයේ, සසප ප්‍රතිගාමී නායකත්වයට, එරෙහි සසප (වම) විසින් දියත් කරනු ලබන අරගලය පිලිබඳවය. එහෙයින් මම, ‘මේ අවස්ථාවාදී නායකත්වයට එරෙහි විකල්පයක් හට ගත යුත්තේ කම්කරු පනිතියේ ඓතිහාසික අඛන්ඩතාවය ආරක්ෂා කල ව්‍යාපාරය හා ඒකාබද්ධතාවය ඇති හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිලි ගත් (නිල) ශාඛාව වන සසප තුලින් පමනි’යි ප්‍රකාශ කලෙමි.” ඊට අටුවාවක් ලියමින්, තමන් ඉන් අදහස් කලේ පක්ෂයට පිටින් සිටිනා කන්ඩාමක් තුලින් එය මතු විය නො හැකි බව ය යි ලිපිය කිය යි. නමුත් එය ජාත්‍යන්තර කමිටුව තුලින් නොව තනිකරම ශාඛාව තුලින් පමනි යි අවධාරනය කරන්නේ ඇයි. සසප වම වෙනුවෙන් උදයප්‍රේම ඊට දුන් පිලිතුර අදාල ලිපියේ 07 ඡේදයේ හා නැවතත් 07(V) ඡේදයේත් උපුටා දක්වයි.

ඒ අනුව මිගාර සහෝදරයා ජාතික ශාඛාව දැක ගන්නේ ලෝක පක්ෂයේ කොටසක් ලෙස නො ව නිල ශාඛාවක් හැටියට ය. (ජාකට නොනිල ශාඛා නැත) ඒ නිසා ‘අවස්ථාවාදී නායකත්වයට එරෙහි විකල්පය නිල ශාඛාවෙන් ම’ හට ගත යුතු ය යි සිතයි. ඔහුට අනුව ජාක තුල එය පැන නො නැගේ. කවිප අර්බුදය තුල විකල්පය හට ගත්තේ එම පක්ෂය තුල නො ව ජාත්‍යන්තර පිලිවෙතට සටන් වැදි කොටස් තුල ය. …ලසසප අවස්ථාවාදයට එරෙහි අරගලය පැන නැග්ගේ ජාත්‍යන්තර කමිටුව තුලින් බව අපි කවුරුත් දනිමු. … එය වටහා නො ගත් මිගාර සහෝදරයා සසප ගැටලු ගැන ‘ජාක කිසිදු ආස්ථානයක් ගෙන නො මැති ය‘ යි ද ‘ජාක එවන් වර්ධනයක් පිලිබද තවමත් දැනුවත් වී නැතැයි‘ ද මැසිවිලි නගයි“

මිගාර නැවතත් “විකල්පය හට ගත්තේ එම පක්ෂය තුල නො ව“ යන වාක්‍යයට බැට දෙමින් අප එසේ කීයන්නේ “ප්‍රතිගාමී සසප නායකත්වයේ වලිගයක් ..බවට පත්ව ඇති තත්වයක් තුල ය”යි සසප වමට චෝදනා කරයි.

1985 භේදයට තුඩු දුන් බ්‍රිතාන්‍ය ශාඛාවේ අවස්ථාවාදී පරිහානියට එරෙහි විකල්පය මතු වූයේ එම ප්‍රවනතාව හඳුනා ගෙන 1982 සිට එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය ගෙන ගිය අප්‍රතිහත අරගලය තුලින් බව අප මෙහි දී මතක් කල යුතු ය. මේ ලිපියේ සීමාව තුල ඒ සදහා ඉඩ කඩ ලබා ගැනීමට අපහසු අතර “අප රක්නා උරුමය“ හා “කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවා දුන්න් කෙසේ ද“ යන ජාත්‍යන්තර කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති කෘති කියවා බලන මෙන් අපි පාඨකයාගෙන් ඉල්ලමු.
මේ කරුනත් සඳහන් කල යුතු ය. ඉහත සදහන් කල කෘතිවලින් පෙන්වා දී ඇති පරිදි ම කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යනු ලොව විවිධ තැන්වල පවතින සමාජවාදය පිලිගත් ශාඛාවල එකතුවක් නො වේ. ශාඛා යනු ජාකවේ ක්‍රියා මාර්ගය හා විනයට යටත්, ඒ තුල පවතින ඒවා ය.

ජාත්‍යන්තර කමිටුව නායකත්වය දෙන්නේ එහි සාමාජිකත්වය දරන හෝ සාමාජිකත්වය සඳහා අරගල කරන පිරිසකට පමනක් ය යන්න තවත් අභූතයකි. එය සත්‍යය නම් එයට කිසි කලෙක විප්ලවයක් සිදු කල නො හැකි ය. ඊට පටහැනිව එය න්‍යාය භාවිතය යන දෙඅංශයෙන් ම කෝටි සංඛ්‍යාත කම්කරු පීඩිත ජනයාට නායකත්වය දීම සඳහා කැප වී සිටී. කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ අරගලවලට උදවු කිරීමට හා සෑම අතින් ම ඒවාට නායකත්වය දීමට එය සැදී පැහැදී සිටී. එය, ඒවායේ වඩා ඉදිරියෙන් සිටින සටන්කාමීන් විප්ලවයකට නායකත්වය දීම සඳහා සුදුසු කේඩරයන් ලෙස පුහුනු කර ගැනීමට වෙහෙස නො තකා වැඩ කරයි; වැඩ කර ඇත.

පක්ෂය පිලිබද ආස්ථානය

විල්සන් කන්ඩායම හා අප අතර මතභේදයේ ආසන්න හේතුව පැවතුනේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ නායකත්වය පිලිබඳ ආස්ථානය කුමක් ද යන්න තුල ය. 2023 දෙසැමිබර් 25 කන්ඩායම වෙත යොමු කල ලිපියකින් සංජය විල්සන්, “පක්ෂයේ බහුතර සාමාජිකත්වය දිනා ගැනීමට අප සමත් වුවහොත් වත්මන් නායකත්වයේ කල්ලිය ද කොන්ග්‍රස් සභාවක දී පරාජය කල හැකි ය“යි ලිවී ය. ඔහුට අනුව, “පක්ෂය තුල නව නායකත්වයක් ගොඩ නැගීමේ ඉලක්කය සහිතව, අපගේ පූර්න ශක්තියෙන් යුතුව, මේ සඳහා පක්ෂ නායකත්වය හා සමස්ථයක් වශයෙන් පක්ෂයේ පරිහානිය පිලිබඳ දේශපාලන පැහැදිලිකම සඳහා සටන් කිරීම අවශ්‍යය වේ.“

2024 මාර්තු 12 කන්ඩායම් රැස්වීමේ දී සංජය විල්සන් නැවතත්, “පක්ෂයේ නායකත්වය අතට ගැනීම සඳහා අප සටන් කරන“ බව සඳහන් කලේ ය. තව දුරටත් ඔහු මෙසේ ද ලිවී ය: “සසප වාම කන්ඩායමට එහි පැවැත්මේ දේශපාලන හා ඓතිහාසික සුජාතභාවයක් ඇත්තේ, එය ලෝක පක්ෂය වන හජාජාකවේ, ශ්‍රී ලංකාවේ හා මෙම කලාපයේ පිලිගත් කොටස වන සසපයෙහි නායකත්වය සඳහා සටන් කරන තාක් පමනි…. අපගේ සියලු වැඩ කටයුතු මෙහෙයවිය යුත්තේ එම අරමුනට වන අතර, අපගේ බහුජන වැඩ කටයුතු සුජාතභාවය අත් කර ගන්නේ එවන් දිශානතියකින් පමනි.“

අප මෙම නායකත්වය ගැනීම යන්නෙන් තමන් එය උදුරා ගැනීමක් අදහස් නො කල බව විල්සන් වරින් වර ප්‍රකාශ කලේ ය. මෙම වංචාව දෙපලු කරමින් ත්‍රිත්වයේ පිටු 65 ලිපියේ 37 පිට, අංක 07 යටතේ මෙසේ කිය යි: “සසප හා ඒ හා බැඳී ඇති හජාජාක සාමාජිකත්වය දිනා ගැනීමකින් තොරව සසප නායකත්වයේ ද්‍රෝහීත්වයට එරෙහිව සටන් වැදීමේ අන් මගක් නො මැත. මන්ද, සසපට පිටින් සිටිමින් එහි ද්‍රෝහී නායකත්වය පලවා හැර විප්ලවවාදී ප්‍රවනතාවය එහි නායකත්වයෙහි පිහිටු වීම කල නො හැකි බැවිනි.“ මෙයින් ම තහවුරු වන පරිදි, ඔවුනට සසපට හා ජාත්‍යන්තර කමිටුවට බැඳීමට අවශ්‍ය වන්නේ, සසප නායකත්වය පලවා හැරීමට හා ඊනියා විප්ලවවාදී ප්‍රවනතාවට නායකත්වය දිනා ගැනීම සඳහා ය.

ත්‍රිත්වයේ පිටු 65 ලිපිය (04_ V11 ලෙස සටහන් කල ඡේදයේ) මෙසේ කියා සිටී: “ට්‍රොට්ස්කිවාදයට සිදු කරන සියලුම ද්‍රෝහීකම් මධ්‍යයේ වුව ද සසප නායකත්වය, තමන් තවමත් ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී භාවිතයෙන් විතැන් වී නො මැති බවත්, හජාජාක ඉදිරි දර්ශනය හා වැඩපිලිවෙල පිලිගන්නා බවත් ව්‍යාජව කියා සිටිමින්… සිය අවස්ථාවාදී දේශපාලන පිලිවෙත වසා ගැනීමේ කඩතුරාවක් ලෙස එය යොදා ගනී.“ ත්‍රිත්වය තමන් විසින් කෙරුනු “මෙම අර්ථ දැක්වීම මාක්ස්වාදී විරෝධී අර්ථ දැක්වීමක්“ බව පෙන්වා දුන්නේ ය යි සසප වාම පාර්ශවයට කඩා පැන ඇත.

ඔවුන් පවසන්නේ සත්‍යයක් නම්, ඉන් කියැවෙන්නේ ජාත්‍යන්තර කමිටුවත්, සසප සාමාජිකත්වයත් යන දෙ පාර්ශ්වය ම සසප නායකත්වයට රැවටී ඇති බව නොවේ ද? සසප නායකත්වය ප්‍රතිවිප්ලවවාදී බවත් සාමාජිකත්වය එහෙයියන් බවත් ත්‍රිත්වය පැහැදිලිව පවසා ඇත. මේ සියල්ලම සමග ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය එසේ පහසුවෙන් රැවටෙන සුලු ලාමක නායකත්වයක් නම්, විල්සන්ලා එකී ජාත්‍යන්තර කමිටුව දකුනු ආසියාව තුල ගොඩ නැඟීම භාර ගන්නේ කුමකට ද? ඉන් කවර පලක් ද? අනෙක් අතින් ප්‍රති විප්ලවාදී නායකත්වයකට අත එසවීමට සැදී පැහැදී සිටින සාමාජිකත්වයක් සහිත පක්ෂයක විප්ලවවාදී ප්‍රවනතාව නායකත්වයේ පිහිටු වීම යනු කුමක් ද? කේදාන්තයේ සිට පාදාන්තය දක්වාම ගලා යන්නේ වංචාවේ ඕජස් නො වේ ද?

අප කන්ඩායම සසපයෙන් දොට්ට දැමීමට ජාත්‍යන්තර කමිටුව සම්බන්ධ වූයේය යන සැකය, ජාත්‍යන්තර කමිටුව ගැන ඝෝෂා කරන මෙම කල්ලිය විසින් වරින්වර මතු කරන ලදී. එවන් ප්‍රචාරයක් ඇතැම් සසප නායකයන් විසින් ද ගෙන යනු ලබමින් තිබේ. සිය සංවිධාන ව්‍යුහය ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය මත දෘඩතර ලෙස පදනම් කර ඇති ජාකව සිය ශාඛාවල අභ්‍යන්තර කටයුතුවලට අත නො දමන බවත්, දේශපාලන පැහැදිලිකම සඳහා සටන් වදින එය ඉල්ලා සිටින්නේ, කිසියම් ශාඛාවක නායකත්වය සමඟ තමන්ට ඇති වන බැරෑරුම් මතභේදයක දී සාමාජිකත්වය ඇමතීමේ අවස්ථාව බවත් අපි ඔවුන්ට පැහැදිලි කලෙමු. එය, න්‍යායික දේශපාලනික නිරවද්‍යභාවය සඳහා අත්‍යවශ්‍ය පියවර බව වටහා ගැනීම අපහසු නොවේ. නායකත්වය හා සාමාජිකත්වය අතර ගැටලු එම පැහැදිලිකමේ ආලෝකයෙන් විසඳා ගත යුතුය. මෙය නො තකා හරින විල්සන් කල්ලිය ජාත්‍යන්තර කමිටුව යනු රැවටෙන සුලු – එනම්, විප්ලවයකට නායකත්වය දීමට තබා කිසිදු බැරෑරුම් කටයුත්තකට නුසුදුසු – එකක් ලෙස දක්වා සිටීම ජාකට එරෙහිව නැඟී සිටීමේ එක් පියවරක් පමනක් බව සටහන් කර තැබීම වටී.

ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධ නොවී ආරක්ෂාවක් නැතැයි යන විල්සන් කල්ලියේ පසුගාමීත්වය, එම ජාත්‍යන්තර කමිටුව අධිරාජ්‍යවාදී ධනවාදය පෙරලා දැමීමට ලෝක කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා ගෙන යන අරගලය නො තකා හරී. ඔවුන් කතා කරන්නේ තම තමන්ගේ ආරක්ෂාව ගැන වන අතර ඒ වෙනුවට අව්‍යාජ විප්ලවවාදියා දිවි දෙවන කොට සටන් වදින්නේ කම්කරු පන්තියේ ලෝක පක්ෂය ආරක්ෂා කිරීමට ය.

ත්‍රිත්වය කුමක් කීවත්, ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සසප ඉදිරි දර්ශනයේ හා ක්‍රියාමාර්ගයේ පදනම කම්කරු පන්තික ජාත්‍යන්තරවාදය යි. ඊට ලිඛිත ඉතිහාසයක් ඇත. එය එසේ නො වේ යැ යි තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් මොවුන් අත නො මැත. එසේ තිබිය දී විල්සන් කන්ඩායම පවසන්නේ, “විප්ලවවාදී පක්ෂවල කන්ඩායම් ඇතිවන්නේ සමහන් කල නො හැකි හේතු නිසා” බවයි. සමහන් කල නො හැකිය යන්න මතු කරන්නේ නායකත්වය දිනා ගැනීමේ ඊනියා අරගලය යුක්ති යුක්ත කිරීම උදෙසා ය. සසප හා වාම කන්ඩායම අතර ඇති සමහන් කල නොහැකි භේද මොනවා ද? විල්සන් කල්ලිය මෙන් ම පක්ෂ නායකත්වය ද මෙතෙක් මේ ප්‍රශ්නයට පිලිතුරු සොයා ගෙන නැත.

හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියොන් ට්‍රොට්ස්කි කන්ඩායම් අරගල සම්බන්ධ විප්ලවවාදී මූලධර්ම පැහැදිලි කරන්නේ මෙසේ ය: “බොල්ෂෙවික් පක්ෂයේ අභ්‍යන්තර පාලන තන්ත්‍රය සංලක්ෂිත වූයේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය නමැති විධික්‍රමය මගිනි. ප්‍රජාතන්ත්‍රවාදය හා මධ්‍යගතවාදය යන මේ සංකල්ප දෙකෙහි සංයෝජනය කොහෙත් ම ප්‍රතිරෝධී නො වේ. පක්ෂය, එහි සීමාවන් නිතර ම දැඩි ලෙස නිර්වචනය කල යුතු ය යන්න සම්බන්ධයෙන් පමනක් නො ව, මෙම සීමාවන්ට ඇතුල් වන සියලු පුද්ගලයන් පක්ෂයේ ප්‍රතිපත්තිය ගමන් කල යුතු දිශාව නිර්වචනය කිරීමේ සැබෑ අයිතිය භුක්ති විඳිය යුතු ය යන්න සම්බන්ධයෙන් ද සුපරික්ෂාකාරී සැලකිල්ලක් දැක්වී ය. විවේචනය හා බුද්ධිමය අරගලයේ නිදහස පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ නිශේධ කල නො හැකි අන්තර්ගතය විය. බෝල්ෂෙවික්වාදය පක්ෂ අභ්‍යන්තර කන්ඩායම් නො ඉවසයි යන වර්තමාන සිද්ධාන්තය යුග පරිහානිමය මිත්‍යාවකි. ඇත්ත වශයෙන්ම බෝල්ෂෙවික්වාදයේ ඉතිහාසය වූ කලී කන්ඩායම් අරගලයේ ඉතිහාසයකි. සැබැවින් ම නිර්ව්‍යාජ විප්ලවවාදී සංවිධානයකට බුද්ධිමය අරගලයන්ගෙන්, කාන්ඩ ගැසීම්වලින් හා තාවකාලික කන්ඩායම් නිර්මානය කිරීමෙන් තොරව ලෝකය උඩු යටිකුරු කිරීමේත්, ඉතාම නිර්භීතව පිලිගත් මතිමතාන්තරවලට පහර දෙන්නන්, සටන්කරුවන් හා රාජ්‍ය විරෝධී කැරලිකරුවන් එහි ධජය යටතේ එක්සත් කිරිමේත්, සංවිධානය පවත්වා ගෙන යාම හා වර්ධනය කිරීමේත් කර්තව්‍යය සූදානම් කල හැක්කේ කෙසේ ද? බොල්ෂෙවික් නායකත්වයේ දූරදර්ශීභාවය බොහෝ විට ආරාවුල් ලිහිල් කිරීමට හා කන්ඩායම් අරගල පවත්නා කාල සීමාව කෙටි කිරීමට හැකි තත්වයක් නිර්මානය කලේ ය…“ (ලියොන් ට්‍රොට්ස්කි, පාවා දුන් විප්ලවය, පිට 171, සේපාල විජේසේකර පරිවර්තනය.)

ඒ වෙනුවට විප්ලවවාදී පක්ෂයක නායකත්වය දිනා ගැනීමේ සටනක් ඉතිහාසයේ කවර කලෙකවත් කිසිදු විප්ලවවාදියකු විසින් හෝ විප්ලවවාදී කන්ඩායමක් විසින් සිදු කරනු ලැබ නැත. සුලු ධනේශ්වරයේ පීඩනයට යටත් වී නායකත්වය පෙරලා දැමීමට හෝ දිනා ගැනීමට පොර වැදීමට උත්සාහ කල සියලුම කන්ඩායම් නතර වූයේ ධනේශ්වරයේ ඔඩොක්කුවේ ය.

“විප්ලවවාදී පක්ෂයක මුදුනේ ප්‍රතිගාමී නායකත්වය පලවා හැරීම“ න්‍යායික හා දේශපාලන අරගලයේ කර්තව්‍යය නො වේ. ඒ වෙනුවට කම්කරු පන්තිය මත ක්‍රියාත්මක වන ධනේශ්වර විඥානයට හා එය පවත්වාගෙන යාම ස්වකීය පැවැත්මේ කොන්දේසියක් ලෙස සලකන සුලු ධනේශ්වර අවස්ථාවාදී පක්ෂ හා ව්‍යාපාරවලට එරෙහිව එම අරගලය යොමු වේ.

ට්‍රොට්ස්කි “1923 වාම විපාර්ශවය ගොඩ නගන ලද කල්හි එහි අරමුන වූයේ විප්ලවවාදී ජාත්‍යන්තර ක්‍රියා මාර්ග මත පදනම් ව කොමියුනිස්ට් පක්ෂය ප්‍රතිසංස්කරනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්ම මත පක්ෂය තුල විවෘත විවාදය යලි ස්ථාපනය කිරීම ය. ජාත්‍යන්තර වාම විපාර්ශවය පිහිටුවීමත් එයට ලෝකය පුරා ම වේගවත් ව අනුගාමිකයන් දිනා ගනු ලැබීමත් සමග ට්‍රොට්ස්කි කොමියුනිස්ට් ජාත්‍යන්තරය ප්‍රතිසංස්කරනය කිරීම ඉටු කර ගැනීමට උත්සාහය ඇරඹී ය. ස්ටැලින්ගේ ව්‍යසනකාරී පිලිවෙත් සෝවියට් කොමියුනිස්ට් පක්ෂය හා තුන් වන ජාත්‍යන්තරය තුල වර්ධනය වන විරුද්ධත්වය මගින් පෙරලා දැමිය හැකි යයි සිතූ තාක් ට්‍රොට්ස්කි නව ජාත්‍යන්තරයක් සදහා කැඳවීමක් කලේ නැත.“ ( ඩේවිඩ් නෝර්ත්, රුසියානු විප්ලවය සහ නො නිමි විසිවන සිය වස, පිට 350) මෙහි සඳහන් පරිදි ට්‍රොට්ස්කි සටන් වැදුනේ ස්ටැලින්වාදී පිලිවෙත් පෙරලා දැමීමට ය.

“1929 දී තුර්කියට පැමිනීමෙන් පසුව ද ලියොන් ට්‍රොට්ස්කි, සෝවියට් සංගමය තුල සැලසුම් සහගත හා සහේතුක කාර්මීකරන ක්‍රියා මාර්ගය වෙනුවෙන් සටන නො නවත්වා ම කර ගෙන ගියේ ය. ජාත්‍යන්තර වාම පාර්ශවයේ අරමුන වූයේ සෝවියට් සංගමයේ පාලන තන්ත්‍රය දේශපාලනිකව ප්‍රතිසංස්කරනය කිරීම ද කොමියුනිස්ට් ජාත්‍යන්තරය මාක්ස්වාදී මූල ධර්ම මත පදනම් වූ නිවැරදි දේශපාලන පිලිවෙතක් කරා ආපසු හැරවීම ද විය.“ (එක්සත් ජනපද, සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්, පිට,51) මෙය සෑම අතින් ම න්‍යායික දේශපාලනික අරගලයක් විය.

මෙම අරගලයේ ප්‍රතිඵලය වූයේ 4වන ජාත්‍යන්තරය යි. එය, න්‍යාය සහ දේශපාලන අරගලය මුල් තැනෙහි ලා සැලකීමේ ප්‍රතිඵලය යි. මෙම මූලධර්මාත්මක අරගලය වෙනුවට ස්ටැලින් පලවා හැර නායකත්වය දිනා ගැනීමේ සටනක ඔහු නිමග්නව සිටියේ නම් ට්‍රෙට්ස්කිවාදය කියා එකක්, එනම් අව්‍යාජ මාක්ස්වාදී ව්‍යාපාරයක් ඉතිරි වනු ඇති ද යන්න සැක සහිත ය.

සංශෝධනවාදී හා ප්‍රතිසංස්කරනවාදී පක්ෂවලින් කම්කරු පන්තියේ නායකත්වය උදුරා ගැනීමට විප්ලවවාදීන් වෙහෙස නො බලා සටන් වැද ඇත. කලකට පෙර විප්ලවවාදීහු වෘත්තීය සමිතිවල මුදුන් නායකත්වය දිනා ගැනීම සඳහා සටන් කලහ. අද මුලුමනින් ම අධිරාජ්‍යවාදී ධනේශ්වරයට ගැට ගැසී ඇති වෘත්තීය සමිතිවලට එරෙහිව ක්‍රියාකාරී කමිටු තුල කම්කරුවන් සංවිධානය කිරීමට අපි සටන් වදිමු. කම්කරු පන්තික විප්ලවවාදී ව්‍යාපාරය තුල කන්ඩායම් අරගලවල ඉලක්කය විය යුත්තේ නායකත්වය හෝ සාමාජිකත්වය පලවා හැරීම නො ව තමන් හමුවේ ඇති විප්ලවවාදී කර්තව්‍යන් පිලිබඳ පැහැදිලි කර ගැනීම මගින් පක්ෂය ඉහලට ඔසවා තැබීම ය. එවන් අරගලයක් පක්ෂයට නව සාමාජිකයන් දුසිමක් දිනා දිය යුතුය යන ට්‍රොට්ස්කිගේ උපදේශයේ අර්ථය එයයි.

විල්සන් කල්ලිය ප්‍රතික්ෂෙප කරන්නේ මෙම මූලධර්මාත්මක ප්‍රවිශ්ටය යි. ඔවුනට අනුව සසප නායකත්වය ප්‍රතිවිප්ලවවාදී ප්‍රවනතාවක් වන්නේ එහි නොයෙක් වැරදිවල ඓක්‍යය හැටියට ය. නමුත් අප වටහා ගත යුතු කරුනක් නම්, වැරදි නො කරන පක්ෂ මිහිපිට නැති අතර ඒවායේ එකතුවක් විප්ලවවාදී ක්‍රියා මාර්ගය අත් හැරීමට සාක්ෂි වන්නේ නම් එකදු විප්ලවවාදී පක්ෂයක්වත් මිහිපිට පැවතිය නො හැකි බව ය. ජීවමාන පක්ෂයකට සෙසු පන්ති සංවිධානවල පීඩනයෙන් සම්පූර්නයෙන් නිදහස්ව සිටිය නො හැකි වන අතර පක්ෂයක් වර්ධනය වන්නේත් එම පීඩනයන්ගේ ප්‍රකාශනයන්ට එරෙහි අභ්‍යන්තර හා බාහිර අරගලය තුල දී ය. විප්ලවවාදී කන්ඩායම්වල කාර්යය වන්නේ එම අරගලයට විප්ලවවාදී මූලධර්ම මත පිහිටා සහභාගි වීම ය. ඒ වෙනුවට මාක්ස්වාදී ව්‍යාපාරයට ආගන්තුක යෝජනාවක් වන පක්ෂය තුල “නායකත්වය සදහා අරගලයක්“ යන ප්‍රකාශයමත් කම්කරු පන්තියේ පන්ති විඥානයට හතුරු ය. නායකත්වය දිනාගැනීමේ සටන මෙන් ම පක්ෂයේ එකමුතුවේ නාමයෙන් මෙම අරගලය මග හැරීම, එම පීඩනයන් හමුවේ දුර්වල වී, තමන්ගේත්, පක්ෂයේත් පරිහානියට මාවත පාදන්නේ ය යන්න හුදෙක් විල්සන් කල්ලිය පමනක් නො ව වත්මන් සසප සම්බන්ධයෙන් ද සැලකිල්ලට ගත යුතු කරුනකි.

ජේම්ස් පී. කැනන්

එක්සත් ජනපද සමාජවාදී කම්කරු පක්ෂය තුල 1939-40 භේදයේ දී පක්ෂයේ නායක කැනන් පවසන පරිදි “මාක්ස්වාදීහු සෑම විටම ක්‍රියා මාර්ගික වැඩ පිලිවෙලකින් පටන් ගනිති. ඔවුහු වැඩ පිලිවෙල වටා ආධාරකරුවන් රැස් කර ගනිමින්, අරලයේ ක්‍රියාදාමය තුල එහි (වැඩ පිලිවෙලෙහි) අර්ථය පිලිබඳ ව ඔවුනට අධ්‍යාපනය ලබා දෙති. මාක්ස්වාදීන්ගේ දේශපාලන ජයග්‍රහන යනු සෑම විට ම, ප්‍රථම කොට ම ඔවුනගේ වැඩ පිලිවෙලේ ජයග්‍රහනයන් ය. සෑම අවස්ථාවක දී ම ජයග්‍රහනයේ සංවිධානාත්මක අදියර – පක්ෂ කන්ඩායමික සටනක නිශ්චිත අපේක්ෂකයින් තෝරා ගැනීමේ සිට සන්නද්ධ අරගලයකින් බලය අල්ලා ගැනීම දක්වා හා ඒවා ද ඇතුලු ව – සෑම විටම එකම වැදගත්කමක් අත්පත් කර ගනී: එය වැදගත් වන්නේ දේශපාලන වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේ මාධ්‍ය හා උපකරන සැපයීම සඳහා ය.“
(ජේම්ස් පී. කැනන්, The evil of combination, the struggle for a proletarian party, Marxists.org)

Scroll to Top