(පලමු භාගය)
නන්දන නන්නෙත්ති විසිනි

ලොව පවතින පීඩාකාරී සමාජ තතුවලට එරෙහිව, 1960 අවසාන භාගයේ ඉස්මතු වී හැත්තෑව දශකයේ පරිනත වී ඉදිරියට ගලා ගිය, විරෝධාකල්ප කලාමය ව්‍යායාමයේ, ශ්‍රී ලංකාව තුල ප්‍රමුඛ කලාත්මක පෞරුෂය නන්දා මාලනියයි. ඇගේ ම වචනවලින් පවසතොත් ඈ “යුක්තිය හා සමාජ සාධාරණය උදෙසා“ සිය නිර්මාන කාර්යය කැප කල සංගීත ශිල්පිනියකි, ගායිකාවකි.
නන්දා මාලනී (1943 අගෝස්තු 23- 2026 අගෝස්තු 21)
නන්දා මාලනිය, හද්දා පිටිසර ගමකින් අගනුවරට පැමින මුඩුක්කු ජනාවාසයක විසූ, දරුවන් නව දෙනෙකුගෙන් සමන්විත කම්කරු පවුලක සිව්වන දරුවා ය. දෙවන ලෝක යුද්ධයේ ආර්ථික පීඩනය හා භීෂනය මැද ඇය උපන්නී ය. ඈ දෙපා නඟන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහි විමුක්ති සටන් හා ජාතික විමුක්ති සාහිත්‍ය ව්‍යාපාරයක උනුසුම් වාතාශ්‍රය මැදිනි.

ඇයට කුමරි දිවියක් තිබුනේ නැත. එවක කොටහේන හැටේ වත්ත නම් ඔවුන් පදිංචිව සිටි සංකීර්නයේ ගෙවල් 42 ම භාවිතය සඳහා තිබුනේ වතුර පයිප්ප දෙකකි. වත්ත කෙලවර පොදු වැසිකිලි පේලියකි. ඉතා සකසුරුවමින් ජීවත් වූ ඇගේ දෙමාපියෝ දරුවන්ට තුන් වේලට නොවරදවා ම මොනවා හෝ කන්නට දුන්හ. අමතර “කඩචෝරු“ කෑම වර්ග ඉල්ලූ විට තාත්තා “ඒව ගන්න අපට සල්ලි නැතැ“ යි සිය දරුවන් දැනුවත් කලේ ය. දෙමාපියෝ දරුවන්ට අදින්නට හරි වතක් දීම අසීරු වුව ඔවුන්ගේ අධ්‍යාපනය මුල් කොට සැලකූහ.

තම ගායන හැකියාවට මුල් පදනම වැටුනේ, සිය මව බාල සහෝදර සහෝදරියන්ට ගැයු නැලවිලි ගී ආභාෂයෙන් බව ඈ කියන්නී ය. අවුරුදු අටක පමන ශිෂ්‍යාවක සිටිය දී අන්තර් පාසැල් කවි ගායනා තරඟයකින් රන් සම්මානයක් දිනා ගන්නී නන්දා, ඉනික්බිති ගුරුවරියකගේ මෙහෙයවීමෙන් ගුවන් විදුලියේ ලමා ගායිකාවක් වන්නට වාසනාවන්ත වූවා ය. ගුවන් විදුලියට යන ගමනට ඇඳුම සහ සපත්තු ගුරුවරිය සම්පාදනය කලා ය. 1956 දී ගුවන් විදුලියේ පැවති ගායනා තරඟයකින් ප්‍රථම ස්ථානය දිනා, ඉන්දියාවට යාමට ඇයට ලැබුන ගුවන් ටිකට්පත වෙනුවට එහි වටිනාකම මුදලින් ලබාගත් කුඩා නන්දා, පවුලේ කුඩා නිවසට විදුලිය ද, සන්නාලියෙකු වූ පියාට විදුලි ස්ත්‍රීක්කයක් ද, ගෙදරට උනු වතුර බෝතලයක් ද මිල දී ගැනීම සඳහා එය වැය කලා ය.
බෞද්ධ කාන්තාවක් වුවත් කුඩා කල සිටම පන්සල පමනක් නොව, පල්ලිය, කෝවිල වැනි අන්‍යාගමික සිද්ධස්ථානවල ද සැරිසැරූ නන්දා විවිධ ආගම්වලට අයත් දරුවන් ඇසුරු කලා ය. ඇගේ පසු කාලීන ජීවිතය හා කලාව හැඩගැස්වීමේ දී මෙම ඉතිහාසය කාර්යභාරයක් ඉටු කල බව නිසැක ය.
ඈ සිය සෞන්දර්ය ජීවිතය ගොඩ නගා ගත්තේ, ඇගේ හැකියාවන් අගේ කල පන්ඩිත් අමරදේව වැනි විශිෂ්ට කලාකරුවන්ගේ මග පෙන්වීමෙන්, ස්වෝත්සාහයෙනි. බී. වික්ටර් පෙරේරා යටතේ සංගීතය හැදෑරීමට අවස්ථාව ලැබා ගත් නන්දා, පසුව හේවුඩ්හි- වත්මන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ වසරක අධ්‍යාපනය ලබා ගත්තා ය. 1963 දී ලක්නව්හි, භාත්ඛන්ඩයට ඇතුලු වූ ඇය, සංගීත විශාරද පලමු පෙල විශිෂ්ට සාමාර්ථයක් ලැබුවා ය.
නන්දා මාලනිය සිය ප්‍රථම චිත්‍රපට ගීය රන්මුතුදූව චිත්‍රපටයට ගානය කලේ වයස 17 දී ය.එය අදටත් අමරනීය, ජනකාන්ත ගීයකි. එතෙක් මෙතෙක් ඇය තමන් ලද පද රචනයන්, හා සංගීත නිර්මානවල අරුත් ස්වකීය රන් ස්වරයෙන්, දැනුවත්ව, උද්දීපය කලා ය. ගායනයේ දී ඉස්මතු කලයුතු, මුඛ්‍යාර්ථ, උපාර්ථ, ව්‍යංගාර්ථ, ධ්වනි යනාදී අංගෝපාංග සෑම වචනයකින් ම ඉස්මතු කර දැක් වූ අන් යම් ගායිකාවක් ශ්‍රී ලංකාවේ බිහි නො වූ තරම් ය. සහජ හැකියාව, අධ්‍යනය, සතතාභ්‍යාසය පමනක් නො ව ඇගේ ජීවීතයමත් ඒවාට අනුප්‍රානය දීමේ හැකියාව ලබා දුන්නේය.
නන්දා මාලනී මෙරට ප්‍රබුද්ධ සහෘදයන් රැසක් බිහි කිරීමට දායක වූ ගායිකාවකි. 1972 ලංකාවේ ජනප්‍රිය ගායිකාවට හිමි සම්මානයට ද හිමිකම් කී නන්දා මාලනිය ඒ වන විට 1963 ඇගේ පලමු චිත්‍රපට ගැයුම වන රන්මුතුදූව චිතුපටයට ගැයූ “ගලන ගඟකි ජීවිතේ“ ගීයට හොදම පසු බිම් ගායිකාවට හිම් සම්මානය ලද ඇය, අනතුරුව ගෙවී ගිය වසරවල චිත්‍රපට හතරක ගායනය සඳහා අදාල සම්මානය හිමි කර ගෙන තිබිනි. ආරම්භයේ සිට 2016 වසර දක්වා ඈ චිත්‍රපට දහඅටක ගැයුම් වෙනුවෙන් හොඳ ම පසු බිම් ගායිකාවට හිමි සම්මානය හිමි කර ගත්තා ය.

දේශපාලන කලාව
ප්‍රේමය, විරහව, මාතෘත්වය ප්‍රමුඛ කුටුම්භ ජීවිතයේ සුඛ දුක්ඛ වේදනාවන් යන මේ විෂයයන් අලලා ගත් සෞන්දර්යාත්මක සත්‍යය ගැබ් කර ගත් ගී සරනියක් නන්දා මාලනිය ගායනා කර තිබේ. හැත්තෑව දශකයේ ඈ සිය ගීතාවලියේ ගැයූ පද රචනාවලින් ඉමහත් ප්‍රමානය ලියා දුන් ප්‍රවීන සාහිත්‍යවේදී, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රමුඛ දායකත්වයෙන්, තමන්මත් අත් විදි සමාජ ජීවිතය ප්‍රති නිර්මානය කරමින්, සිය තියුනු ස්වරය සමාජ සාධාරනය ඉල්ලා හැඬවීමට යත්න දැරුවා ය. 1970 හා 1980 දශක තුල බලයේ සිටි යූඇන්පී ආන්ඩු යටතේ කිහිප වරක් ම ඇගේ ගී රාජ්‍ය මාධ්‍යවලට තහනම් වූ අතර, 1980 අග භාගයේ ඇයට එල්ල වූ ඍජු ජීවිත තර්ජන හමුවේ රටින් පලා යාමට පවා සිදු විය.
2022 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පලවා හල මහජන අරගලයට සහාය දුන් ඈ වත්මන් ජාතික ජන බලවේගයේ ආන්ඩුව අරගලයේ දී තමන් අපේක්ෂා කල ලෝකය ගොඩනගනු ඇතැයි විශ්වාස කරන්නට ඇත.

නන්දා මාලනිය සමස්ත පාර්ලිමේන්තු නියෝජිතයන් මෙන් ම දේශපාලන පක්ෂ ද කෙරේ තම අප්‍රසන්නතාව අවසන් මොහොතේ දී ප්‍රකාශයට පත් කලේ, තමන්ගේ අවමංගල්‍ය කටයුතු වලදී විශේෂ පිලිගැනීම්, ගුනකථන සහ උත්සව සිය අන්තිම කැමති පත්‍රයෙන් තහනම් කිරීම මගිනි. රෝගීව සිටිය දී රාජ්‍ය අරමුදලින් ආධාර කිරීමට ආන්ඩුවට පැවති අවශ්‍යතාවට ද ඇය ඉඩ දී නැති අතර ඇගේ පවුලේ අය රාජ්‍ය ගෞරව හෝ රාජ්‍ය අරමුදල් එම අවමගුල වෙනුවෙන් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම ද අහම්බයක් නොවේ. රාජ්‍ය ගරු බුහුමන් පිලිබඳව ඇගේ පැවැති පිලිකුල ඉදිරියේ ජාජබ ආන්ඩුව ද ව්‍යතිරේඛයක් නො වීය.
නන්දා මාලනිය පවතින ජාතික ජන බලවේගය ආන්ඩුවෙන් අපේක්ෂිත දේ වෙනුවට අත් දුටුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැති, ජන ජීවිතය ආර්ථික අගාධයකට ඇද දමන, සිර ගෙවල් තුල අමු අමුවේ මිනී මරන ව්‍යාපාරයකි.
ගීතයෙන්, ලක් මව ලෙස පෙනී සිටිමින් ඇය පාලකයන් ද තමන්ගේ ම දරුවන් ලෙස සලකා මෙසේ ආයචනා කලා ය.
දෙනෝදාහක් දෙනා පුතේ නුඹ පුදනවා…
රට කරන පින්වතුන් මැද සඳසෙ දිලෙනවා…
පැලේ පොල් තෙල් පහන නිවෙනවා..
නංගිලා රෙදි වැරලි මදිනවා..
නංගිලා මල්ලිලා කෝපයෙන් සිටිනවා
අනේ නුඹ නසන බව කියනවා. …(ගීතය, දෙනෝදාහක් දෙනා)
ජාතික ජන බලවේගයේ ආන්ඩුවක් මේ හඬට සවන් දෙනු ඇතැයි ඈ විශ්වාස කලා ය. මෙම සිහිනය ඉක්මනින් ම බිදී විසිරී ගිය අතර අවසාන කාලයේ නන්දා මාලනී තමන්ගේ මෙම ගීය මුමුනමින් සිටන්නට ඇත.
වැදි බන දෙසන සඟ ගන වුව පිටු දකිනු
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනු
නිවැරදි කරනු බැරි රජ පලවා හරිනු (ගීතය,යදමින් බැඳ)
මෙවන් ගී දුසිම් ගනනක් ඇය ගායනා කර ඇත. එසේ වුව ද “යුක්තිය හා සමාජ සාධාරනය උදෙසා“ ඇගේ අව්‍යාජ කැප වීම තිබිය දී ම සැබෑ ලෝකය සහතික ලෙස අපට සනාථ කර තිබෙන්නේ නන්දා මාලනිය තම දේශපාලනික කලාමය ප්‍රකාශනයේ දෘෂ්ඨිවාදාත්මක දුගී බව වටහා නො ගැනීමේ වරද නිවැරදි කර ගෑනීමට සමත් නො වූ බවය.
එබැවින් නන්දා මාලනියගේ සමාජ අරමුන හා දේශපාලන කලා භාවිතය තව දුරටත් සමහන් කල නො හැකි තරම් පරස්පර විරෝධයන්ගෙන් සමන්විත විය. පවන කැසට් පටයේ එන මෙම ගීයේ ප්‍රර්ථනා එහිම අනෙක් ගීත විසින් බොඳ කරනු ලැබ ඇති බව එම ගී සමුච්ඡය පරිශීලනයෙන් දත හැකි ය.
වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නො ඉදෙන පැලක රහසින්
රැඳෙන්නට හැකිනම් ලමා කැල
හඬන දෙතොලග සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙලාගත හැකි වන මලක් වී
ඇගේ දේශපාලන විරෝධාකල්ප ගීවල, දෘෂ්ඨිමය දුගී බව තිබිය දී ම, අව්‍යාජ කම්කරු පන්තික විප්ලවවාදියෙකු වූව ක්ෂනයකට හෝ ආවේශ ගැන්වීමේ ගුනයක්, එම ගීවලට විෂය වූ වස්තු බීජයන්ගේ, ඇතැම් සංකල්ප රූපවල, සංගීතයේ, තනුවේ හා ගායනයේ ඇත. ඒවා ඉතා ජනප්‍රිය වූයේ එබැවිනි.
මෙහි දී අප වටහා ගත යුතු කරුන නම් ඇගේ දේශපාලනික ගීතයේ මනරංජනීය ආකෘතිය එහි ම අන්තර්ගතය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ, කෘතිය ව්‍යාජයක් බවට පිරිහෙලා ඇති බව ය.
මෙම දෘෂ්ඨිවාදාත්මක දුබලකම නිසා ඈ නෙක ජාතිකවාදී රැලිවලට හසුව ගසාගෙන ගියා ය. ඇගේ විරෝධාකල්ප ගී, ධනපති ගැති සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාර, ව්‍යාජ වාම පක්ෂ සහ කල්ලිවලට පමනක් නො ව, ඒවායින් සමහරක් වර්ගවාදීන්ට පවා භාවිත කිරීමට හැකි වීම අභාග්‍යයකි. මහාචාර්ය ගම්ලත් ප්‍රකාශ කර ඇති පරිදි, ඇගේ දේශපාලනය ප්‍රස්තුත කර ගත් ගීතාවලිය ඔනෑම කෙනෙකුට භාවිත කල හැකි වියුක්ත, වන්ධ්‍ය හා ගුප්ත බවින් යුක්ත ය. (සත්‍යෙය් ගීතය හා පහන් කන්ද ගැන සුචරිත ගම්ලත්)
වර්ගවාදීන්ට අවියක් වූ තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් වැනි පෙරදී ඇය ගායනා කල ගීත සම්බන්ධයෙන් තැවුනු නන්දා මාලනිය පසුව එය නිවැරදි කිරීමට උත්සාහ ගනිමින් මෙවන් ගී ගායනා කලා ය.
උතුරේ දරුවන් මියැදී ඉවරයි
දකුණේ දරුවොත් මිය ඇදෙති
මගේම මහ උන් මගේ නම විකුණා
කොටවා මගේ දරුවන් මරතී
එතැනදීත් ඇය අවුරුදු දෙදහස් පන්සියක අතීතකාමය තුල සිරගතව රට ගැන ලත වූවා ය. නො එසේ නම් ප්‍රතිගාමී දේශප්‍රෙමයෙන්, පීඩිත ජාතික ප්‍රශ්නයටත් රාජ්‍ය දේපල පුද්ගලීකරනයටත් විසඳුම් සෙව්වා ය.
යුක්තිය හා සමාජ සාධාරනය උදෙසා කැප වූ ඇගේ ව්‍යායාමය පන්ති සමාජය පිටු දැකීම වෙනුවට සමාජ ශෝධනයට (නව භාවිතයට අනුව සිස්ටම් චේන්ජ් සඳහා) වූ නැඹුරුවිමෙනි, මේ ප්‍රතිවිපාක ගෙන දුන්නේ. ඒවා සුලු ධනේශ්වර මිත්‍යාවන් යහමින් පෝෂනය කලේ ය.
යදමින් බැඳ විලංගු ලා ගීතයෙන් ඇය,
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය නීතිය සහ විනිසුරන්
යනාදී වශයෙන් ප්‍රශ්න කරයි. මේ වනාහී සාමාන්‍ය ජන විඥානයේ මුල් බැස ගත් විරෝධතාවයේ අමු ස්වභාවය ම ය. එමෙන්ම එම ගීතය, පෙරමුන ගත් සිය පුතා සමග එක් වීමට නුසූදානම් සෙසු තරුනයන්ට ශාප කරයි.
කකා බිබී නටන අතර නරුම යහලු යෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල පාසැල්වල අමනයන්
ගිනි ගන්නා රටක කෙලන මී හරකුන් වැනි පුතුන්
මෙය පීඩිතයන් ඒකාබද්ධ කිරීම වෙනුවට ඔවුන් එකිනෙකාට එරෙහිව පිහිටුවීමකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමයේ ලියවුනු ඇස් ගෙඩිවලට හෙන ගැහිලද සිහලුන්නේ වැනි කවි නිර්මාන ව්‍යාජ කලාකෘති වන්නා සේම ඒවායින් උත්තේජනය වී සෞන්දර්යාත්මක නියාමයන් නො තකා, කතෘගේ දේශපාලනමය ඉලක්කය උදෙසා නිර්මානය කල මෙම කලාව ද ව්‍යාජ වන්නේ ය. පවන ගී නිර්මානයේ දී තමන් කරන්නේ “සාහිත්‍යයෙන් තොර වැඩක්“ බව සුනිල් ආරියරත්නමත් ප්‍රකාශ කර ඇත.
කලා කෘතියක් සෞන්දර්යාත්මක නියමයන් නො තකා හැරිය මෙහොතේ සිට එයට යථාර්ථය සම්මුඛ වන්නේ නැත. කලාකරුවා ඥානයේ ඉහල අවධියකට එසවෙන්නේ තමා ප්‍රති නිර්මානය කරන ලෝකය කලාත්මක සුක්ෂ්මතාවයෙන් නිරීක්ෂනය කරන්නේ නම් පමනි. දැනටමත් පවතින පන්තිමය සමාජ විඥානය එලෙසින්ම සංකල්ප රූපගත කිරීම අව්‍යාජ කලාකරුවෙකුගේ කාර්යය නො වේ. එවන් ව්‍යාජ කලා කෘති යොමු වන්නේ සහෘද ඥෙය මඩුල්ල පුලුල් කිරීමට නො වේ; ඒ වෙනුවට
පීඩනයෙන් තැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
හුදෙක් ම පීඩනයට ප්‍රතික්‍රියා කර මිය යන, සුලු ධනේශ්වර ස්වයංනාශක දේශපාලන තකතීරුකම හා අවස්ථාවාදය වර්නවත් කර රස ගල්වා ප්‍රදානය කිරීමට යි.
නන්දා මාලනියගේ දේශපාලන කලාවට එරෙහි අතිශය වෛරී දක්ෂිනාංශික ප්‍රහාරයක් සමාජ මාධ්‍ය තුලින් ඉස්මත්තට ගැනී ඇත. අප ඉතා පැහැදිලිව කිව යුතු වන්නේ කලාත්මක සත්‍යය පිලිබඳ කාරනයේ දී දක්ෂිනාංශික කලා භක්ෂකයන්ට සෑම අතින්ම එරෙහි වන අතර ම, කලාකරුවන්ගේ අව්‍යාජ වුවමනාවන්ට ඇති යථා මාර්ගය අඳුරු කල සමාජ දේශපාලන කොන්දේසි කවරේදැයි අප පරීක්ෂාවට ලක් කල යුතු බව ය. නන්දා මාලනිය මුහුන දුන් පරස්පර විරෝධයන් ජාත්‍යන්තර පරිමානව නැගී ආ විරෝධාකල්ප සංගීත ව්‍යාපාරය මුහුන දුන් තතුවලින්ම පැන නැගි ඒවා වූයේය.
මතු සම්බන්ධයි ..





















