නන්දන නන්නෙත්ති විසිනි

ග්‍රාම නිලධාරීන්ගේ උද්ඝෝෂනයක්

2026 ජුලි 1දා සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගලපා වැටුප සමග ගෙවා ඇත. තමන්ට රුපියල් 60,000 මුදලක් වැටුපට එකතු වී ඇති බව, පසුගිය දා මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ ය. ආන්ඩුව, “එපා ද, එපා නම් නො ගෙන ඉන්න“යි අර්චුනාට කෝචොක් කලේ ය. ඒ අනුව රුපියල් 60,000 දක්වා වන ගනන් ඉන්ධන වියදම් ලෙස, දුර ප්‍රමාන අනුව මන්ත්‍රීවරුන්ගේ පඩියට ලහි ලහියේ එකතු කර තිබේ.

පසු ගිය 10, 11 දෙදින තුල ග්‍රාම නිලධාරීහු ඉන්ධන දීමනාව වැඩි කරන ලෙස බලකරමින් ලෙඩ නිවාඩු දමූහ. 2018 සිට මේ දක්වා, ඔවුන්ට ගෙවූ රුපියල් 600/= ප්‍රවාහන වියදම් දීමනාව ශතයකින්වත් වැඩි වී නැත. එසේම, සියලු දීමනා සහිතව ග්‍රාම නිලධාරීයකුගේ වැටුප, පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඉන්ධන දීමනාවේ මෑත සිදු කල වැඩි කිරීමට පවා අඩු මුදලකි. එය, රුපියල් 55,000ත් 65,000ත් අතර ය.

2024 දී ග්‍රාම නිලධාරීන් සඳහා ඉන්ධන ලීටර් 20ක දීමනාවක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුන ද මේ දක්වා එය ක්‍රියාත්මක කර නැත. මෙවර ඔවුන් රජයෙන් කල ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, පසුගිය අය වැයෙන් ඊට ප්‍රතිපාදන වෙන් කර නැති බවත්, 2027 අය වැයෙන් එය ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා ඇත. එතෙක් සිය සොච්චම් පෞද්ගලික වැටුපෙන් ගමන් වියදම් දැරීමට නො හැකි බව ග්‍රාම නිලධාරීහු කියති.

නමුත් මන්ත්‍රීවරුන්ට 2026 සිට පැවති ඉන්ධන සීමාවට අදාල චක්‍ර ලේඛය ජුලි 1දා සිට බලපැවැත්වෙන පරිදි වහාම අවලංගු කර, නව ගැලපුම් කිරීමට ආන්ඩුවට හැකියාව තිබිනි. ඒ ජාතික ජන බලවේගය ආන්ඩුවේ සමානතාවය ක්‍රියාත්මක වන ආකාරයයි.

පොදුවේ කෘෂි උපදේශක, සමෘද්ධි වැනි සියලු බිම් මට්ටමේ නිලධාරීහු මෙම ප්‍රශ්නයට මුහුන දී සිටිති. කෘෂිකර්ම උපදේශක මුලු වැටුප රුපියල් 60,000 – 75,000 අතර ය. ක්ෂේත්‍ර හා ගමන් වියදම්වලදී ඉන්ධන දීමනාව ගනන් ගන්නේ ධාවන සටහන් පොත (Running Chart) අනුව ය. 2024 වසරේ සිට මේ නිලධාරීන්ට ගෙවන ඉන්ධන දීමනාව රුපියල් 7,500කි. මේ සඳහා, වරු 12ක් සහ කිලෝ මීටර් 400 ඉක්මවා ක්ෂේත්‍රයේ වැඩ කර තිබිය යුතු අතර සංචාරය කල දුර ප්‍රමානය කොතෙක් වුවත් එක වරුවක් හෝ අඩු වුවහොත් ඒ අනුව 1/12 වශයෙන් දීමනාව කපා දමයි.

2024 දී එතෙක් ගෙවූ රුපියල් 5,500 දීමනාව 7,500 දක්වා ගෙන ඒමත් සමග, එතෙක් පුහුනු කටයුතු සඳහා සහභාගී වීමේ දී නවාතැන් ආහාර හා ගමන් වියදම් ලබා දීමට අමතරව ගෙවූ රුපියල් 700- 800 වූ, වාර දෙකකට යටත්ව ගෙවූ සංයුක්ත දීමනාව කපා හැර ඇත. එනම් 2024 වැඩි කර ඇත්තේ යම්තම් රුපියල් 1,000 ඉක්ම වූ ප්‍රමානයක් පමනි. නව ගැලපුම් ගැන කතාවක් නැත.

මෙවන් බොහෝ රාජ්‍ය සේවකයන්ගේ ඉන්ධන දීමනා ලබා ගැනීමට මාස 6කට වඩා කාලයක් – සමහර විට අවුරුද්දක් පවා – බලා සිටිය යුතු ය. මෙහි අර්ථය නම්, ලැබෙන සොච්චම් වැටුපෙන් රාජකාරී අවශ්‍යතා උදෙසා වැය කර පෞද්ගලික අවශ්‍යතා අත් හැරීම, හෝ ඒ සඳහා නය ගොඩට තවත් නය එකතු කර ගැනීම ය.

2024 හා 2025 අය වැය ලේඛන මගින් වැඩි කෙරුනු වර්තමාන වැටුප් මට්ටම රජයේ සේවකයන්ගේ මිල දී ගැනීමේ (ක්‍රය) ශක්තිය දශමයකින් හෝ ඉහල දැමුවේ නැත. සත්‍යය නම්, ඒවා 2019 පැවතියාට වඩා අතිශයින් පහත හෙලා ඇති බව ය.

වැටුප් වැඩි කිරීම ඇස් බැන්දුමකි. 2019 දී සියලු දීමනා සහිතව, රුපියල් 45,000ක වැටුපක් හිමි වූ අයෙක් 2027 වන විට 75,000 පමන වැටුපක් ලබති. එනම් දල වශයෙන් 65% කින් පමන වැටුප් ඉහල ගොස් ඇත. එහෙත් මේ කාලය තුල භාන්ඩ මිල 150%ට වඩා වැඩි වී, එදා රුපියල් 35,000ක් වූ මාසික වෙලඳ පැස රු. 85,000 දක්වා පිම්මේ ඉහල ගොස් ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන්ට අනුකූලව ඉහල දැමූ වක්‍ර බදු ගෙවීමට සිදුවන නිසා සෑම මිල දී ගැනීමකදී ම අමතර වැය කිරීමකට නැති නම් කොල්ලකෑමකට පාරිභෝගිකයා ගොදුරු වේ. ආන්ඩුවේ සොච්චම් වැටුප්වලින් ජීවන වියදම පියවා ගැනීමට කිසි සේත් ම හැකියාවක් නැති බව රහසක් නොවේ.

අමතරව සේවක පුරප්පාඩු නො පියවා රජයේ සේවකයන් මත දැරිය නොහැකි රාජකාරී පීඩනයක් ද පවත්වා ගෙන යයි. විශේෂයෙන් සෞඛ්‍ය වැනි සේවාවල සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල මෙය කැපී පෙනේ. තත්වය කෙතරම් විනාශකාරී ප්‍රතිඵල ඇති කර තිබේ ද යත්, ගුරුවරුන්ගෙන් 30.4%ක් විශාදයෙන් පෙලෙන බවත් තවත් 13.4% ක් මධ්‍යම මට්ටමේ මානසික පීඩනයට ලක්ව සිටින බවත්, මෑතක රජරටව විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් විසින් “ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ගුරුවරුන්ගේ ආර්ථික බර සහ මානසික සෞඛ්‍ය පීඩනය“ (Examining the economic burden and mental health distress among government schoolteachers in Sri Lanka) නමැති වාර්තාවෙහි පැහැදිලිව සටහන් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛය සේවකයන්ගෙන් 42.5% ක් සීමාව ඉක්ම වූ කාන්සාවෙන් Anxiety පෙලෙති. ඉතාමත් කනගාටුදායක ලෙස සෞඛ්‍ය සේවකයන්ගෙන් 4.1% ක් අධි මානසික පීඩනය නිසා දිවි නසා ගැනීමේ සිතුවිලි පවා ඇති කරගෙන ඇත. වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරතයන්ගෙන් 71.4% ක් අනාගතය පිලිබද බලාපොරොත්තු විරහිතභාවයකින් පෙලෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි, ආර්ථික පීඩනය හා රෝහල්වල පුරප්පාඩු නිසා අධිකවැඩ බර හේතුවෙන් පවුල් සබඳතා බිඳ වැටීම විශාදයට බලපාන ප්‍රධාන හේතුවක් වන බව Research Gate වාර්තා කර ඇත.( විස්තර සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ගේ මානසික සෞඛ්‍යය පිලිබඳ පර්යේෂන 2023- 2024 Ceylon medical journal සහ NIH- බලන්න)

දිනපතා ධනපති ව්‍යාපාරිකයන්ගේ ආදායම් ඉහල යමින්, දුප්පතුන් තවත් දුප්පත් වෙමින් රටේ “ඒක පුද්ගල ආදායම“ ඉහල යන අතර, මැති ඇමති හා ඉහල නිලධරයේ වරප්‍රසාද රැකේ.

මෙම අසමානතාව අඳුරේ තබමින් ආන්ඩුව සහ සංස්ථාපිත මාධ්‍ය, රජයේ සේවකයන් රාජකාරිය නිසි ලෙස ඉටු නො කරන දූෂිතයන් ලෙස හුවා දක්වන අවස්ථා බොහෝ ය. මෙය පවතින කොන්දේසිවලට එරෙහි පීඩාවට පත් ජනයා නොමග යැවීමේ දුෂ්ඨ උපායකි. එමගින් සියලු පීඩිත ජනයා එකිනෙකාට විරසකව පිහිටුවා ඔවුන්ගේ සටන් ශක්තිය බිඳ දැමීමට ඔවුහු වැඩ කරති.

වෘත්තීය සමිති ද මහජනයා දැනුවත් වී පන්ති අරගලයක් දක්වා මෙම අරගල වර්ධනය වීම සම්බන්ධයෙන් බියට පත්ව සිටී. ව්‍යාජ වාම සංවිධාන ද එවන් අරගලයක් වැලැක්වීම සඳහා හැකි හැම දෙය ම කරති. රාජ්‍ය සේවකයන් හා පොදුවේ කම්කරු පන්තිය එකිනෙකාගෙන් වෙන් කරමින් ලෙඩ නිවාඩු දැමීම වැනි හුදකලා, බෙලහීන ක්‍රියාවන්ට ඔවුන් යොමු කිරීමට මේ සමිති කටයුතු කරන්නේ එනිසා ය. එම වැඩ පිළිවෙලවල් මඟින් එකදු මූලික ප්‍රශ්නයක්වත් විසඳිය නො හැකි බව අප වටහා ගත යුතු ය. එම වැටහීම අයිතීන් දිනා ගැනීමේ ප්‍රථම කොන්දේසියකි.

කම්කරුවෝ තමන් වටා සෙසු පීඩිත ජනයා ඒකාබද්ධ කර ගත් අරගලයකින් සමාජ අසමානතාව අවසන් කිරීමේ වැඩ පිලිවෙල සඳහා සටන් වැදිය යුත්තාහ. එය මහා වැඩ වර්ජනයක ස්වරූපයෙන් ආරම්භ කිරීම වඩාත් උචිතය. ඒ සඳහා සමස්ත පීඩිත ජනයා දැනුවත් කර සංවිධානය කල යුතු ය. ඊට උචිත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන පාලක පන්තියේ හෝ ඊට සහාය වන පක්ෂ හා සංවිධානවලින් ස්වාධීන වීම අත්‍යවශය ඓතිහාසික අවශයතාවයයි.

නන්දන නන්නෙත්ති විසිනි

ඝාතනය කරන ලද ඉසුරු දිල්ෂාන් පෙරේරාගේ මව සඳරේඛා

අගෝස්තු 1 සිට ගත වූ සතිය තුල ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 4ක ප්‍රචන්ඩත්වයේ කුරිරු, අමානුෂික ස්වභාවය ප්‍රදර්ශනය විය. පලමු සිද්ධිය මහර බන්ධනාගාරයෙන් ඉස්මතු වූයේ ය. 1)රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම, 2) ඇප ලබා ගැනීමේ ක්‍රියාවලිය ලිහිල් කිරීම හා කඩිනම් කිරීම 3) බන්ධනාගාර තදබදය විසින් ඇති කරනු ලබන දුෂ්කරතාවලට පිළියම් කිරීම, 4) රැඳවියන්ට පක්ෂග්‍රාහී ලෙස සැලකීමට එරෙහිව මූලික පහසුකම් සම්පාදනය කිරීම යන ඉල්ලීම් මත පැවැත්වූ රැඳවියන්ගේ උද්ඝෝෂණයක් මැඩීමට පොලිසිය, විශේෂකාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවනු ලැබිනි. එක් රැඳවියෙකු ඝාතනය කරන ලදී. තුවාල ලැබූ රැඳවියන් 9 දෙනෙකු රෝහල් ගත කෙරුනි.

අගෝස්තු 6 දින උදය වරුවේ, මත් ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට සීමා වූ පල්ලන්සේන කඳවුරේ තරුනයන් ද මෙම ඉල්ලීම 4  සඳහා උද්ඝෝෂනය කල අතර පොලිස් විශේෂ සේවා බලකාය ප්‍රමුඛ ආරක්ෂක භටයන් යොදවා, ඔවුන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඉන් 28 ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට යැවිනි.

පෙර දින රාත්‍රී 10 20ට පමන, වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ, රැඳවියන්ට පහර දී 11ක් බන්ධනාගාර රෝහලට ඇතුලු කිරීමෙන් පසු මොහොමඩ් අස්මාන් ෂරීෆ්ඩීන් නම් රැඳවියා මරනයට පත් විය.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ ඥාතීන් කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ඝාතනය කරනු ලැබූ බවට සාක්ෂි තමන් සතුව ඇති බව ය. අසාධ්‍යව සිටි අස්මාන්, රාත්‍රී 12ට සිට මරනයට පත් වූ දින උදෑසන 6 දක්වා මහ රෝහලට ඇතුලත් නො කර තබා ගෙන ඇති බව ඔවුහු කියති. දින තුනකින් ඔහුට ඇප ලැබීමට නියමිතව සිටි අතර ඊට පෙර ඔහු ඝාතනය කිරීමට නිලධාරීන් සැලසුම්ගතව වැඩ කර ඇති බව ඔවුහු කියති..

වෙඩි තබා ඝාතනය කල මාරවිල සඳුන් ලසන්තගේ බිරිඳ හා බිලිඳා

සිරකරුවන් ආරක්ෂා කිරීමේ කමිටුව, මෙය යම් පාතාල කන්ඩායමක කොන්ත්‍රාත්තුවක් බන්ධනාගාර නිලධාරීන් විසින් ඉටු කරනු ලැබීමක් ද යන සැකය මතු කර ඇත.

මෙම ප්‍රහාරය සිදු වන අවස්ථාවේ රැඳවියන් පිරිසක් තමන් බේරා ගන්නා ලෙස ඉල්ලා සිටින දුර කතන පනිවිඩයක හඬ පටයක් දැන් සමාජ මාධ්‍යයයේ සැරිසරයි. “සප්‍රාස් ඉක්මනින් මොකක් හරි කරපන්, අස්මාන් අයියට ගහනවා. චූටලාට ගහල, මහත්තුරු යකඩ පොලුවලින් ගහනවා. කුමාර, කරුනාරත්න, යාපා, උඩ පොයින්ට් එක තියෙන කුස්සියෙ වැඩ කරන මහත්තය, බන්දෙ ඉන්න මහත්තුරු…” බීමතින් මෙම ප්‍රහාරයට සහභාගී වූ බව එහි සඳහන් වේ. 

එදින ම කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ඝාතනය කර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12ක් රත්නපුර රෝහලට ඇතුලත් කෙරින. ආන්ඩුව මෙම මාරාන්තික ප්‍රහාර මාලාව නාමකරනය කර ඇත්තේ, පලා යාමට උත්සාහ කිරීම, මත්ද්‍රව්‍ය සඳහා රැඳවියන් දෙපාර්ශවයක් අතර ගැටුමක් හෝ එවැන්නක් වැලැක්වීමට උත්සාහ කිරීම වශයෙනි.   

කුමන්ත්‍රන න්‍යාය හා මීගමුව ඝාතකයන් නිදහස් කිරීම

නමුත්, දරාගත නො හැකි තත්වයන්, බන්ධනාගාර එහි ධාරිතාව මෙන් සිව් ගුනයකින් පිරී ඉතිරී යෑම, ජලය වැසිකිලි පහසුකම් නො මැති වීම, වෙනස්කොට සැලකීම විශේෂයෙන් මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් පසු ඇති කල භීෂනය, ලුනු දමා පිටට කේබල්වලින් පහර දීම වැනි වධ හිංසා පැමිනවීම විසින් රැඳවියන් තුල නො සන්සුන්තාව පුපුරනසුලු මට්ටමකට සේන්දු කෙරුනු බව රජය හොඳින් ම දනී.

මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණය දැනටමත් රැඳවියන් 62කට මිනී මැරුම් චෝදනා එල්ල කර ඇති අතර, මිය ගිය නිලධාරීන්ගේ පවුල්වලට වන්දි සහ තවත් සහන ලබා දී ඇත. රැඳවියන් ඝාතනය කල නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂන නැත. රජයේ විමර්ශන ක්‍රියාත්මක වන්නේ යුක්තිය ඉටු කිරීමට නොව සිදුවීම් වලලා දැමීමට බව දැනටමත් හෙලි වී ඇත.

මේ වන විට ආන්ඩුව සියලු බන්ධනාගාර තුලට පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා තවත් හමුදා ඛන්ඩ යොමු කරමින් තව දුරටත් රැඳවියන්ගේ හා ඔවුන්ගේ ඥාතී මිත්‍රාදීන් තුල බිය, සැකය සහ අසහනය උත්සන්න කරමීන් සිටී

තතු එසේ තිබිය දී, විරුද්ධ පක්ෂයේ කුමන්ත්‍රනයක්, හෝ මත් ද්‍රව්‍ය පාලනය කල නිසා පාතලය විසින් දැනුවත්ව මෙහෙයවෙන සංවිධානාත්මක ව්‍යාපාරයක් ලෙස, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දිග හැරෙන ප්‍රචන්ඩත්වය හුවා දැක්වීම, ගැඹුරු වන සමාජ අර්බුදයට ප්‍රතිචාර දක්වන ධනේශ්වර රාජ්‍යයයේ හා සංස්ථාපිත මාධ්‍යවල ම්ලේච්ඡත්වය මොනවට පෙන්නුම් කිරීමකි.

මේ විරාජ් ප්‍රසන්න, ඇබ්බැහියෙන් නිදහස් වීම සඳහා මාර්තු 26 දින ගත් බෙහෙත් ය. අප්‍රියල් 1දා පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් ඔහු 6 දා මීගමුවේ බන්ධනාගාරයේ දී ඇලපතට, පපුවට, කලවා ප්‍රදේශයට වෙඩි තබා ඝාතනය කර ඇත.

ජුලි 5 – 6 දිනවල මීගමුව බන්ධනාගාරයේ මිනිස් ජීවිත 32ක් බිලි ගත් බන්ධනාගාර ප්‍රචන්ඩත්වය මත්ද්‍රව්‍ය ජාලයක අවශ්‍යතා මත ඇති වූ ස්වයංසිද්ධ කල්ලි යුද්ධයක් බවට කෙරෙන නිල කතාව, ඊට සමගාමීව සංස්ථාපිත මාධ්‍ය මගින් ප්‍රතිනිෂ්පාදනය කර තිබේ. මීගමුවේ 6 දා සිදු කල ඝාතන, බන්ධනාගාර හදිසි වැටලීම්, හමුදාව සිදු කල උපක්‍රමික ප්‍රකෝපකරනයක ප්‍රතිපලයකි. ඊට අදාලව දැනට නිකුත් වී ඇති මරන පරීක්ෂන වාර්තා 28න් 17ක් ම වෙඩි වැදී මිය යාම් වන අතර, ඔවුන් ගොදුරු වූයේ නිලධාරීන්ගේ වෙඩි පහරවලට මිස සිරකරුවන්ගේ ප්‍රචන්ඩත්වයට නො වන බවට සාක්ෂි ඇත.

මීගමුව බන්ධනාගාරයේ 6 දා සිද්ධීන්වලදී, සංජීව මධුසංඛ තරුනයා පන බේරා ගැනීමට දිව යද්දී, සම්පත් හා වේරගොඩ යන නිලධාරීන් දෙදෙනා රැඳවියන්ට එලව එලවා එල්ල කල වෙඩි  පහරකින් මරනයට පත් වූ බව ඔහුගේ සහෝදරයාට දැන ගැනීමට ලැබී ඇත. ඒ මොහොතේ සංජීවගේ මිතුරු ෂෙනාල් ද සිට ඇත.

මෙහි වැදගත්ම කාරනය පොලියට මුදල් දෙන්නන් අතර තරඟයකදී එක් පුද්ගලයෙකුගේ වුවමනාවට සංජීව ඇතුලු ඔහුගේ මිතුරන් තිදෙනෙකුට සතියක් වැනි කාලයක් තුල, 54 වගන්තිය යටතේ චෝදනා ගොනු වීම ය. එම උගුලට කොටු වූ රෝෂාන් තමන්ට එරෙහිව අටවා ඇති බොරු නඩුවට එරෙහි නීත්‍යානුකූල පියවර ගැනීමෙන් පසු නිදහස් ව සිටි අතර, සංජීවගේ ලිඛිත විත්තිවාචකය, මාරවිල ශ්‍රේෂ්ඨාධිකරනයේ විභාගයට ගැනීමට නියමිත වූයේ සංජීව ඝාතනය කෙරුනු ජුලි 6දා ම ය.

ප්‍රචන්ඩත්වයේ පන්ති ස්වභාවය

“බන්ධනාගාර පවතිනුයේ, දේවල් අහිමි, වඩාත් මංමුලාසහගත, පිඩිත මිනිසුන් ගබඩා කර තැබීමට ය.“

(කියවන්න, මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: ඉරි තලා ගිය පද්ධතිය හා කම්කරු පන්තිය)

පසු ගිය 6 දා මීගමුවේ බන්ධනාගාරයේ දී ඇලපතට, පපුවට, කලවා ප්‍රදේශයට වෙඩි තබා ඝාතනය කෙරුනු, උතුරු මූදුකටුවේ පදිංචිව සිටි ධීවරයෙකු වන, රන්වලගේ විරාජ් ප්‍රසන්න අවුරුදු 35ක දෙදරු පියෙකි. විරාජ් අත් අඩංගුවට ගත් අවස්ථාව වන විට ඔහු මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් වැලකීම සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියේ ය.

මේ අතර කොටුගොඩ, පාසැල් යන වසයේ පසුවන ලමුන් තිදෙනෙකුගේ පියෙකු වන ගයාන් මධුසංඛ සිල්වා 5දා සිදුවීම්වල දී, සිරකරුවන්ගේ ප්‍රහාරයට ගොදුරු වූ අතර බන්ධනාගාරයේ ඔත්තුකරුවෙකු ලෙස ඔහු යොදාගැනීම නිසා ඔහුට මේ ඉරනම නියම විය. ගයාන්ගේ මව සහ පියා කොහු මෝල්වල රැකියා කල පීඩිත කම්කරුවන් වන අතර තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් දීමට හෝ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කිසිවක් කිරීමට ඔවුන්ට හැකියාවක් නො වී ය. “මගේ දරුවට අනික් හිරකාරයෝ වගේ ඉන්න නො දී ඔත්තුකාරයෙකු කරපු ..” බන්ධනාගාර පාලනයට මව චෝදනා කලා ය. ”අන්තිමට ග්‍රාම සේවකයෙක්වත් තමන්ට සිදු වූ දෙය බලන්නට නොපැමිනියේ ය” යි ඇය කීවා ය.

“ඇයි මගේ දරුවට අනිත් හිරකාරයො වගේ ඉන්න නොදී ඔත්තුකාරයෙක් කර ගත්තේ?.” – ගයාන් මධුශංකගේ මව

වෙඩි තබා ඝාතනය කල, සිරිපුර පදිංචිව සිටි ඉසුරු දිලිශාන් පෙරේරාගේ මව ගෘහ සේවිකාවකි. ඇය සිය දරුවා මතින් මුදවා ගනු හැකි වෙතැයි සිතා ඇප නොදී බන්ධනාගාරයේ රැඳී සිටීමට ඉඩ හැරියා ය. ඇයට හිමි වූයේ ඔහුගේ මල මිනියයි.

හිසට වෙඩි තබා ඝාතන කල සමන් සංජීව ප්‍රනාන්දුගේ, මව මුදිතා ප්‍රනාන්දු, දරුවා නිදහස් කර ගැනීමට ත්‍රී වීලය විකුනා දැමීම ප්‍රමානවත් නොවූ නිසා සිය පුත්‍රයාගේ දරුවන් සහ සිය රෝගී සැමියා සමග ජීවත්වීමට ඇති පැල්පත ද උකස් කලා ය.

හිසට වෙඩි තබා ඝාතනය කල සමන් සංජීවගේ මව නඩු කටයුතු සඳහා උකස් කර ඇති නිවසේ දී අප සමග සාකච්ඡා කරමින් …

බන්ධනාගාර තුල වරප්‍රසාද මිලදී ගත හැකි මහා පරිමාන ජාවාරම්කරුවෝ මෙම ප්‍රහාරවලට ගොදුරු නො වෙති; ඒවාට ගොදුරු වන්නේ පරිශීලකයින් සහ සුළු වැරදිකරුවන් ඉලක්ක කර ගත් මත්ද්‍රව්‍ය යුද්ධයක සැඩ පහරට හසු වී ගසාගෙන යන ග්‍රාමීය සහ නාගරික දුප්පතුන් ය. 

බන්ධනාගාර ජනගහනයෙන් සියයට 75 ක් පමන නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින දුප්පත් රිමාන්ඩ් සිරකරුවන් ය. නීතිමය නියෝජනයක් ලබා ගත නො හැකි දුප්පත්තු බොහෝ එහි සිර වී සිටිති. හිටපු මානව හිමිකම් කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් නිවැරදිව හඳුනාගත් පරිදි, මෙය “දරිද්‍රතාවය අපරාධකරනය කිරීමක්” වේ

කම්කරුවන් සහ ග්‍රාමීය හා නාගරික දුප්පතුන්, සිරකරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය සඳහා සිරකරුවන් අපරාධකරුවන් ලෙස යක්ෂ වෙස් ගැන්වීමට රජය ගන්නා උත්සාහයන් ප්‍රතික්ෂේප කල යුතුය.

බන්ධනාගාර ප්‍රචන්ඩත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට සමාන්තරව දිසානායක රජය විසින් එල්ල කරනු ලබන පුළුල් ප්‍රහාරයේ කොටසකි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා ක්‍රියා කරමින්, රජය අනුකම්පා විරහිතව විදේශ නය ආපසු ගෙවීම ක්‍රියාත්මක කරමින් සහ මහා ව්‍යාපාරවල ලාභ ආරක්ෂා කරමින් සිටී. සමාජ අර්බුදය ගැඹුරු වෙමින් විරුද්ධත්වය වර්ධනය වන විට, එය මැඩපැවැත්වීම සඳහා ආන්ඩුව පොලිසිය, හමුදාව සහ මර්දනකාරී රාජ්‍ය උපකරන මත වැඩි වැඩියෙන් විශ්වාසය තබමින් සිටී.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තත්වයන් මිලියන ගනනක් දරිද්‍රතාවයට, අනාරක්ෂිතභාවයට සහ අහිමි වීමට ඇද දමන ධනේශ්වර ක්‍රමයේ ම නිෂ්පාදනයක් බව පැහැදිලි විය යුතු ය. එබැවින්, බන්ධනාගාර ප්‍රචන්ඩත්වයට සහ රාජ්‍ය ඝාතනවලට එරෙහි සටන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනෙන් වෙන් කල නො හැකි ය

රාජ්‍යයේ කෲරත්වය අවසන් කල හැකි වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ/ජා.ජ.බ. සහ එහි ව්‍යාජ වාම ක්ෂමාලාපකයින් ඇතුළු සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව සමාජවාදය සඳහා අරගලය තුල කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් පමනි.

නන්දන නන්නෙත්ති

මීගමුව බන්ධනාගාරය ඉදිරියේ සිය ආදරනීයයන් පිලිබඳ තොරතුරක් ඉල්ලා වැලපෙන කාන්තාවක්

පසුගිය ජුලි 5-6 දෙදින තුල මීගමුව බන්ධනාගාරයේ කැරලිකාරී සිද්ධීන් වලින් නිලධාරීන් හා රැඳවියන් 31කට දිවි අහිමි විය. 100කට අධික පිරිසක් තුවාල ලබා සිටිති. රැඳවියන් තවමත් ප්‍රහාරවලට ගොදුරු වන බව වාර්තා වෙයි. මාධ්‍ය මතු කරන්නේ මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් වල ඛේදවාචකය පමනෙකි.

සිද්ධියෙන් රැඳවියෝ 21 දෙනෙක් මිය ගියෝය. ඔවුන් අතර හිසට, පපුවට හා උදරයට තැබූ වෙඩි පහරවලින් මිය ගිය අය වෙති. දනහිසෙන් පහලට වෙඩි වැදීම් කිසිවක් වාර්තා වී නැත. මීගමුව බන්ධනාගාරයේ සිටි 2,400 කට අධික රැඳවියන් හා ඔවුන්ගේ ඥාතීන් අන්ත පීඩාවට පත් කරමින්, ඔවුන් කොන් කිරීමේ හා වෛරයට බඳුන් කිරීමේ දැනුවත් ව්‍යාපාරයක් රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වී පවතී.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කල පරීක්ෂන වාර්තාව තුල මෙම සිද්ධියට දී ඇති විශේෂ අර්ථකතනයට අනුව, “මේ වනාහී, බන්ධනාගාර පාලනය තමන් අතට ගැනීමට සහ මෙහෙයුම් කඩාකප්පල් කිරීමට රැඳවියන් ගත් උත්සාහයකි.”

ඒ අනුව 5දා, බන්ධනාගාරය තුල සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වීමට පටන් ගත් බව එම වාර්තාව කියයි.

එදා රාත්‍රී මීගමුව පොලිසිය ද, බන්ධනාගාර හදිසි වැටලීම් හා උපක්‍රමික බලකායේ (SPEAT) නිලධාරීන් 89 ක් ද සේවයට කැඳවා ඇත. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වාර්තා කර නැති නමුත්, 6 වෙනිදා සිද්ධීන් දිග හැරෙන්නේ බන්ධනාගාර හදිසි වැටලීම් හා උපක්‍රමික බලකාය (SPEAT) විසින් රැඳවියන්ට එරෙහිව ඇති කරන ලද ප්‍රකෝපකරනය නිසා ය.

සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානය වාර්තා කරන පරිදි, “ජුලි 5 සිද්ධියෙන් පසු බන්ධනාගාරය ලොක් ඩවුන් කලා. මූලික පහසුකම් අත් හිටුවා, බීමට ලබා දෙන ජලය සීමා කලා. වැසිකිලි භාවිතා කිරීමට ඉඩ දුන්නේ නැහැ.. පැය ගනනක් සිරකුටිවලම රඳවා තැබුවා. පවතින දැඩි උණුසුම, තදබදය, නිලධාරීන්ට පහර එල්ල වන්නේ මේ තතු නිසයි.”

සාමාන්‍ය තතු තුල පවා බන්ධනාගාරවල ජලය, නින්ද, බෙහෙත්, සෞඛ්‍ය ආරක්ෂාව වැනි මූලික අවශ්‍යතා දරුනු ලෙස සීමා වී ඇත. දැන් සිදු වී ඇත්තේ ඒවාට තව දුරටත් පහර දෙන විට සිදු විය හැකි දෙයයි.

CID වාර්තාවට අනුව, එදින උදෑසන 10.30-10.50 අතර විනාඩි 20 තුල රැඳවියන් පිරිසක් නිලධාරීන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇත. එයින් නිලධාරින් 10ක් මරුමුවට පත් ව ඇත.
ඉනික්බිතිව කැඳවනු ලැබූ විශේෂ කාර්ය බලකාය ඉව බව නැතිව රැඳවියන්ට වෙඩි තබා ඇති අතර ඉන් රැදවියන් 19ක් මරනයට පත් වී ඇත.

එස්ටීඑෆ් භාවිතා කරන ටී 56 හා බන්ධනාගාර නිලධාරීන් භාවිතා කරන මිලි මීටර 9 පිස්තෝලවලින් නික්මුනු හිස් උන්ඩ 271 ක් හා සිද්ධියට සම්බන්ධ ගිනි අවි 60ක් පිලිබඳ පරීක්ෂන පැවැත්වෙන බව CIDය වාර්තා කර ඇත. නිලධාරීන් සතු ගිනිඅවි පවා පැහැරගෙන තිබූ බවට වාර්තා වූ බැවින්, මහජන ආරක්ෂාව වෙනුවෙන් බලය පාවිච්චි කිරීම හැර වෙනත් මඟක් නොවූ බව රජය නිවේදනය කලේය.

ගේට්ටුවේ විවරයකින් සිය අවිය ඔබා නොපෙනෙන ඉලක්කවලට වෙඩි තබන ‘ආරක්ෂකයෙක්’

රැඳවියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය සහ ඔවුන්ට වද හිංසා පැමින වීම ගැන මානව හිමිකම් කොමිසමේ (HRCSL) නිලධාරීන්ට පැමිනිලි ලැබී ඇත‍. ඒවා ගැන සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂන සඳහා වැලිකඩ බන්ධනාගාරයට ඇතුලු වීමට ඔවුනට ඉඩ දී නැත. සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානයේ නීතිඥ කන්ඩායමට ද සිරකරුවන් මුන ගැසී පුද්ගලිකව හා රහසිගතව සාකච්ඡා කිරීමට බන්ධනාගාර නිලධරය ඉඩ නොදුන් බව නීතිඥ සේනක පෙරේරා පසු ගිය 23දා පැවැති සාක්ෂි විභාගයේ දී, මීගමුව මහේස්ත්‍රාත්වරියට පැමිනිලි කලේ ය.

කිසිම ආකාරයකින් සිරකරුවන්ගේ හඬ පිටත සමාජයට ඇසෙන්නට ඉඩක් ලබා නො දේ. පැහැදිලිව ම සාධාරන පරීක්ෂනයක් සිදු වන්නේ නැත.

රජය බලා සිටියේ මෙම අවස්ථාව ඩැහැ ගැනීමට ය. පාලනය ගිලිහී ගියේ, ධාරිතාව 600 ක් වන මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 2,400 ක රඳවා සිටී නිසා බව රජයේ නිගමනයයි. එය හුදෙක් ප්‍රශ්නය ගසා කා තමන්ට අවශ්‍ය වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමේ ප්‍රවිෂ්ඨයකි.

“ඇප නොදී හැකි තාක් සිරගත කර තැබීම හා එවන් දඩුවම් මගින් අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කල හැකිය” යන දන්ඩනීය මානසිකත්වය (Punitive mindset) පාලක පන්තිය විසින් සමාජගත කරනු ලැබේ.

උතුරු නැගෙනහිර යුද්ධය අවසානයේ එම ප්‍රතිපත්තිය, නඩු නැති ඝාතන හා සුදු වෑන්වලින් දියත් කරන ලදී. ඉන් අනතුරුව එක දිගටම ධනපති ආන්ඩුවලින් විවිධ නම් යටතේ – යහපාලන ආන්ඩුවේ මතින් තොර රටක්, ගෝඨාභය රාජපක්‍ෂගේ මතින් තොර රටක් හා මතින් තොර බන්ධනාගාර, රනිල් වික්‍රමසිංහගේ යුක්තියේ මෙහෙයුම, වර්තමාන ආන්ඩුවේ රටම එක මිටට ආදී වශයෙන් – ක්‍රියාවට නංවන ලද එකී ව්‍යාපෘතිය තබා ඇති වාර්තාව මෙසේ ය:

2000 වසරේ රඳවියන් 14,200
2015- 19,000, ඉන් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවෝ 25%- 35% අතර වෙති.
2019- 25,000- මත්ද්‍රව්‍ය වැරදි – 40%
2021- 19, 400 මෙහිදී කොවිඩ් වසංගතය මධ්‍යයේ රැඳවියන් අඩු වී ඇත.
2023 – දැවැන්ත පිම්ම – ‘යුක්තියේ’ මෙහෙයුම – 33,000 – සමස්ත රැඳිවියන් සංඛ්‍යාවෙන් 50% ක් මත්ද්‍රව්‍ය වැරදි
2026 – 42,000 – ඉන් 70%-80% අතර පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි සඳහා.

ආන්ඩුවේම වාර්තා සඳහන් කරන්නේ බන්ධනාගාර ධාරිතාව මෙන්ම තෙගුණයකටත් සිව් ගුණයකටත් අතර ප්‍රමාණයකින් ඒවා පිරී ඇති බවයි! නිදා ගැනීමේ පහසුකම, මූලික සෞඛ්‍යාරක්ෂක පහසුකම් හා නිසි ආහාර වේලකට ඇති අයිතියට අහිමි කරන ලද ලක්ෂ භාගයක් ජනයා වසංගතවලට නිරාවරනය වී කූඩු වී සිටිති. බන්ධනාගාර තුළ ක්ෂය රෝගීන්ගේ අනුපාතය පිටත සමාජයේ එම අනුපාතය මෙන් සිය ගුණයකින් වැඩිය.

සම්පූර්න රැඳවියන් සංඛ්‍යාවෙන් නීත්‍යානුකූල නඩු විභාගයකින් වැරදිකරුවන් වූ අය සිටින්නේ 30% ක් (10, 509) පමනෙකි. ඉතිරි සියයට 70 ම – 24,256 – රිමාන්ඩ් භාරයේ සිටින්නන් ය. මේ අතර වැඩි දෙනා ඇප තැබීමට, නීතිඥයන්ට විය පැහැදම් කිරීමට හා තමන්ට නියම වුනු දඩය ගෙවීමට මුදල් නොතිබූ හෙයින් සිරගත වූවන් ය.

මේ කූඩු තුල ආතතීන් වැඩි වන විට ඒවා නොවැලක්විය හැකි ලෙස පුපුරා යයි. 2020 දී මහර දී ද, 2012 දී වැලිකඩ දී ද, 2011 දී අනුරාධපුරේ දී දී ද, 2000 දී කළුතර දී දී ද සිදු වූ එය අද මීගමුවේ දී සිදු වී ඇත. මේ සෑම අවස්ථාවකම ධනපති රාජ්‍යය ප්‍රතිචාර දක්වා ඇත්තේ බුලට්වලින් සහ සත්‍යය වසං කිරීමෙනි.

බන්ධනාගාර සැමන් ටින් මෙන් පුරවන ලද්දේ “පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමට“ ය. නමුත් වඩවඩාත් ප්‍රචන්ඩ ස්වභාවයෙන්; දේශපාලනඥයාගේ හා ආරක්ෂක නිලධාරීන්ගේ සිට සදාචාරවාදයේ හා විමුක්තියේ මාර්ගෝපදේශකයා ලෙස පෙනී සිටින ආගමික සංස්ථාව දක්වා ම, ඒ සියල්ල අලලා ගෙන මෙම තත්වය පැතිරී ඇත. ගුවන් නියමුවන් මත් වී ගුවන් යානා පදවා මිනිස් ජීවිත අනතුරේ හෙලීමේ සිද්ධි ගැන ද දැන් වාර්තා වේ. බන්ධනාගාරය තුලට මත් කුඩු, දුරකථන ගෙන යන්නේ නිලධාරීන්ගේ කලු කඩය බව නො දන්නා දෙයක් නො වේ.

මෙය ධනපති ලෝකය අලලාගෙන පැතිර ගිය වසංගතයකි. මෙරට පාලක පන්තියේ පෙර ගමන්කරු වන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ආන්ඩුවේ වාර්තාව ශ්‍රී ලංකාවට දෙවැනි වන්නේ නැත.

Tackling the drugs crisis in our prisons -Sixth Report of Session 2024–26 (UK Parliament)

අපගේ බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය අර්බුදයට මුහුණ දීම – 2024–26 සැසියේ හයවන වාර්තාව (එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව)
“අපගේ බන්ධනාගාරවල නීති විරෝධී මත් ද්‍රව්‍ය වෙලඳාම සහ භාවිතය එහි ස්ථානීය ඉහලම මට්ටම් කරා ලඟා වී තිබේ. මත් ද්‍රව්‍ය භාවිතය ඉවසා සිටින, එය පිලිගන්නා, සංස්කෘතියක් පවතින අතර සිරකරුවන්ට ගැටලුවෙන් ගැලවීමට හෝ බන්ධනාගාරවලට එය සමග කටයුතු කිරීමට නො හැකි තරම් ය. මෙයින් පිලිබිඹු වන්නේ සිරකරුවන්ගෙන් 39% කට මත්ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමට හැකි බව ය. අපගේ වාර්තාවෙන් පෙනී යන්නේ, අපගේ බන්ධනාගාරවල ආවේනික මත්ද්‍රව්‍ය මට්ටම ජීවිත අනතුරේ හෙලන අතර, එම බන්ධනාගාරවල පාලනය සහ ආරක්ෂාව පවත්වා ගැනීමටත්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සිරකරුවන් ඵලදායී ලෙස පුනරුත්ථාපනය කිරීමටත් රාජ්‍ය බන්ධනාගාර සහ පරිවාස සේවයේ (HMPPS) ඇති හැකියාව අඩපන කරන බවයි… පද්ධතිය අසාර්ථක වෙමින් පවතින අතර මිනිස් වියදම පිළිගත නොහැකිය.“

ලොව කොතැනක වුවත් ධනේශ්වර පද්ධතිය විවෘත පන්ති යුද්ධය වෙනුවට සම්මුතිවාදයට ඉඩ දුන් සාපේක්ෂ සමෘධියේ අවසානය කරා පැමින සෑහෙන කාලයක් ගෙවී ඇත.

උතුරු නැගෙනහිර යුද්ධය ඉක්මනින් අවසන් කර සමෘධිමත් රටක් ගොඩ නගන බව , එවකට ජවිපෙ සහාය ලත් රාජපක්ෂ ආන්ඩුව පොරොන්දු වූයේය. ඊට ජන මාධ්‍ය, වෘත්තීය සමිති හා සෙසු ව්‍යාජ වම්මුන්ගේ සහාය ගොනු විය. කම්කරු පන්තිය වාර්ගිකව බෙදීමටත්, සංවිධානාත්මක බලය බිඳ දැමීමටත් මෙම ප්‍රතිගාමී ව්‍යාපාරය වෙහෙස නො බලා වැඩ කලේ ය.

නාමිකව වේවා, යුද්ධය නිමා වී ඇත. එහෙත් එතෙක් කලක් සකලවිධ දෝෂයන්හි ගිනුම යුද්ධයට බැර කරමින් සිටි ධනපති ආන්ඩුවලින් කම්කරු පන්තියේ, පීඩිතයන්ගේ, තරුණයන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබුනේ නැත. දැන් ශ්‍රී ලංකාව ඉහල මැදි ආදායම් ලබන රටකි. ධනපති වත්කම් ඉහල යද්දී දුප්පතුන් තවත් දුප්පත් වී ඇත.

ලංකාවේ ඉහලම ධනවතුන් සියයට 1 අත ජාතික වත්කම්වලින් 31% ක් ඒකරාශී වී පවතී. ජනගහනයේ අඩු වත්කම් සහිත දෙකෙන් පංගුව අත ඇති වත්කම් සමුච්චය සියයට 4 කට වඩා අඩුය. තරුනයන් ඉදිරියේ ඇත්තේ රැකියා නැති, ගෙයක් දොරක් නැති, බලාපොරොත්තුවක් නැති අනාගතයකි.

කුඩු රාජධානිය අඬු විහිදා පැතිරී ඇත. යුද්ධ පුහුනුව ලැබූ පොලිස් හා හමුදා සෙබලු සන්නද්ධ අපරාධකාරයන් බවට පත් ව සිටිති.

ආන්ඩුවේ පිලිවෙත, මේ තත්වයට සරිලන ප්‍රමානයෙන් බන්ධනාගාර වැඩි කිරීම ය.. ගාල්ල මහමෝදර පැරනි රෝහල වැඩි දියුනු කිරීම වෙනුවට එය බන්ධනාගාරයක් කිරීමට රජය තීරනය කර ඇත. එම බන්ධනාගාර තුළ ඇති විය හැකි කැරලි මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ආරක්ෂාව දිවයිනේ සියලුම ප්‍රධාන බන්ධනාගාර වෙත ලබාදීමට රජය පියවර ගෙන ඇත.

පාලක පන්තියට අනුව මේ වනාහී මහජන ආරක්ෂාව තර කිරීමයි.

කුප්‍රකට ඇමරිකනු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන් එය මෙසේ සූත්‍රගත කලේය:

“රජය යනු මහජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ පෞද්ගලික දේපල ආරක්ෂා කරමින් සමාජයේ සාමය පවත්වාගෙන යන මධ්‍යස්ථ බේරුම්කරුවෙකි. එසේම, සිරගෙවල් යනු එම නීතිය සහ සාමය කඩකරන, අනුන්ගේ නිදහස උදුරාගන්නා පුද්ගලයන්ට දඬුවම් කර සමාජය ආරක්ෂා කරන සාධාරණ ආයතනයකි.”
“අපරාධවලින් අහිංසක වින්දිතයන් දුක් විඳින විට, අපරාධකරුවන්ට දඬුවම් කිරීම රටේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ.”

ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නවතම වාර්තාවට අනුව, වසරකට සේවා ස්ථානවල අනතුරු හේතුවෙන් 60-80 අතර ප්‍රමානයක් මරනයට පත් වේ. 2000 ක පිරිසක් තුවාල ලබති. ඒ, ලාභ වැඩි කර ගැනීමේ අභිප්‍රාය වෙනුවෙන් ආරක්ෂක ක්‍රමෝපායයන් මඟ හැරීම නිසා ය. මේ මරණ සම්බන්ධයෙන් එක හාම්පුතෙක් හෝ එල්ලුම් ගසට නියම වූවාද?
ලෝක මට්ටමෙන් ගත් කල කුප්‍රකට බෝයිං මැක්ස් අර්බුදය ප්‍රබල සාක්ෂ්‍යයකි.

2018 ඔක්තෝබර් හා 2019 මාර්තුවල දී, Boeing 737 MAX ගුවන් යානා දෙකක් කඩා වැටී මිනිස් ජීවිත 346ක් අහිමි විය.

සමාගම් අතර තරඟය නිසා අනතුරු අවදානම සඟවා ගුවන් යානය භාවිතයට යෙද වූ බව පසුව හෙලි විය. මෙම සමූහ ඝාතනයට වග කිව යුතු අය එක දවසකට හෝ බන්ධනාගාරයක ගත කලෝ ද?

ප්‍රංශ නවකතාකරු ඇනටෝල් ෆ්‍රාන්ස් පවසන පරිදි, “නීතිය, එහි තේජාන්විත සමානාත්මතාවය තුළ ධනවතුන්ට මෙන්ම දුප්පතුන්ට ද පාලම් යට නිදා ගැනීම, වීදිවල යාචකයන් වීම සහ පාන් සොරකම් කිරීම තහනම් කරයි.”

නීතිය සියලු දෙනාට සමානව සලකන බව, පොත් පිටුවල පමනක් සඳහන් වන මායාවකි. යථාර්ථය වන්නේ, දුප්පතුන්ට පමනක් සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා සිදු කිරීමට බල කෙරෙන ක්‍රියාකාරකම් මේ නීතිය විසින් ඉලක්ක කරනු ලබන බවයි.

ධනපති අතලොස්සකගේ අවශ්‍යතාවන්ට මහජනයාගේ අවශයතා යටත් කිරීම දුප්පත් කමේ හා සමාජ අසමානතාවයේ මූලය වන අතර නීතියේ කාර්යය වන්නේ එම අපරාධය ආරක්ෂා කිරීමයි.

අප මේ ප්‍රශ්නයට ඍජුව මුහුන දිය යුතු ය. මීගමුව බන්ධනාගාර සිද්ධිය හුදෙකලා සිදුවීමක් නොව, යලියලිත් සිදුවීමට නියමිත සමාන සිද්ධි දාමයක එක් පරිච්ඡේදයකි. ඊට පිලිතුර තවතවත් සිරගෙවල් සෑදීම නොවේ. දුප්පත්කම නිසා කිසිවෙකු සිරගත නොකරන, මත්ද්‍රව්‍ය වසංගතයේ මූලයන් වන සමාජ හේතූන් උපුටා දමන, පෞද්ගලික ලාභය වෙනුවට මානව අවශ්‍යතා සපුරා ලන සමාජයක් පමනක් ඊට විසඳුම් සපයනු ඇත. ඒ සඳහා, මේ අපරාධකාරී පද්ධතිය පෙරලා දැමිය යුතු ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වීම, ධනපති පන්ති පාලනයෙන් ඉටු වනු නැත. කම්කරු පන්තිය ප්‍රධාන මහජන අරගලයක් මගින් බොරු නඩු ඇටවීම, ටාගට් ක්‍රමයට මිනිසුන් අත් අඩංගුවට ගැනීම, නීතිඥයන්ට සිරකරුවන් මුන ගැසීමට බාධා පැමිනවීම වැනි වැනි මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාර පරාජය කල යුතුු ය. මෝදර රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් බවට පරිවර්තනය කිරීමට ඉඩ නො දිය යුතුය. තරුනයන්ට සුරක්ෂිත ජීවිතයක් සහතික කල යුතුය.

මේ අරමුනු දිනන තෙක් සටන් කිරීමට සූදානම් සංවිධාන ගොඩ නැඟීමට ඉදිරියට එන මෙන් අපි කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන්, ගොවීන්, ඇතුලු සියලු පීඩිතයන්ගෙන් ඉල්ලා සිටිමු. ධනපති පන්තියේ සියලු පක්ෂ හා සංස්ථාපිත වලට එරෙහිව කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම කල් නො දැමිය හැකි අවශ්‍යතාවකි.

නන්දන නන්නෙත්ති

සංගීත්සන් ගනේෂ්කුමාර්

ජුනි 2 දින කිලිනොච්චියේ, උදයනගර්හි දී, දෙමල රැප් ගායකයෙකු වන – “හිපොප් සංගී“ යන වේදිකා නාමයෙන් ප්‍රචලිත – 24 හැවිරිදි සංගීත්සන් ගනේෂ්කුමාර් සිය නිර්මාන කාර්යයක් හේතුවෙන් දිස්ත්‍රික් අපරාධ වැලැක්වීමේ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඔහු මෑත දිනයක සිය TikTok ගිනුමට උඩුගත කල ගීත 4ක් දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (LTTE) “සහයෝගය දක්වන හෝ උත්කර්ෂයට නංවන” බවට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඔහුට චෝදනා කරයි.

ගායකයා සිය ජංගම දුරකථනය සමඟ අධිකරනයට ඉදිරිපත් කරන ලද අතර 1978 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ (PTA) 03(g) වගන්තිය යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත. අධිකරනය ඔහු ජුනි 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කලේ ය.

මෙම පනත යටතේ, ඇප ලබා ගැනීම දුෂ්කර ය. එහිදී, සාමාන්‍ය සාක්ෂි නීතියට වෙනස් ලෙස, පොලිසිය ලබා ගන්නා පාපොච්චාරන පිලිගැනෙන අතර, වරදකරු කරනු ලැබුවහොත්, වසර විස්සකට (20) නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට යටත් වේ. අධිකරනය විසින් ඔහු සතු සියලුම හෝ යම් දේපලක් රජය සතු කරනු ලැබිය හැකි ය.

අපි මෙම ගායකයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව, වහාම ඔහු කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා පෙරට එන මෙන් සියලු ප්‍රගතිශීලි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. සංස්කෘතික ප්‍රකාශනයකට එරෙහිව ත්‍රස්තවාදී නීති භාවිතා කිරීම, දෙමල ජනතාවගේ පමනක් නොව, සමස්ත කලාකරුවන්, ලේඛකයන් හා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරයකි.

ද ටැමිල් ගාර්ඩියන් වාර්තා කරන පරිදි “මෑත සතිවල දී, යාපනය පුරා යුද්ධයේ මිය ගිය මිනිසුන් වෙනුවෙන් පැවැත් වූ ආගමික කටයුතු, සංගීත ප්‍රසංග සහ සාම්ප්‍රදායික බෙර සංදර්ශනවලදී ඉදිරිපත් කෙරුනු නිජබිම තේමා කරගත් ගීතවල වීඩියෝ අන්තර්ජාලය තුල පුලුල් ලෙස සංසරනය වී ඇත. ඊට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා පොලිසිය එවැනි සිදුවීම්වලට සම්බන්ධ රංගන ශිල්පීන් සහ සංවිධායකයින් පිලිබඳ පරීක්ෂන තීව්‍ර කර ඇති බව වාර්තා වේ.“

“ගිය සතියේ, උරුම්පිරායි හි පැවති සංගීත සංදර්ශනයක දී ගායනා කරන ලද ගීත සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට, අභාවප්‍රාප්ත සහ කීර්තිමත් දෙමල සංගීතඥ එස්. ජී. සාන්තන්ගේ පුත් ගෝකුලන් ඇතුලු පුද්ගලයින් දෙදෙනෙක් කෝපායි පොලිස් ස්ථානයට කැඳවා ප්‍රශ්න කර ඇත.”

27 වසරක උතුරු නැගෙනහිර යුද්ධයේ අවසාන මාසවලදී පමනක් වුව දසදහස් ගනනක් සිවිල් වැසියන් මිය ගිය අතර, තවත් දහස් ගනනක් අතුරුදහන් වූහ. එහි කම්පනය සමස්ත සමාජයටම බරපතල ලෙස බල පෑවේය. යුද්ධය අවසාන වූ බව නිවේදනය කර දශක දෙකකට ආසන්න අද දවසේ වුව, එහි ඉතිහාසය, මතකය සහ අත්දැකීම් හා සම්බන්ධ කෘති නිර්මානය කරන දෙමල ලේඛකයෝ, සංගීතඥයෝ සහ සෙසු කලාකරුවෝ රාජ්‍ය ආරක්ෂක අංශවල නිරීක්ෂන සහ ප්‍රශ්න කිරීම්වලට මුහුන දෙමින් සිටිති. පලාතේ සාමාන්‍ය ජන ජීවිතය සෑම මොහොතක ම හමුදා පොලිස් අවධානය යටතේ පවතී.

ගනේෂ් කුමාර්ගේ ගීත, මෙම පරාධීනත්වයෙන් සහ යුද්ධයේ විනාශකාරී ප්‍රතිඵලවලින් ජ්වලිත වේ. විශේෂයෙන් අවධානයට ලක්ව ඇති ගීතයේ මෙම පද වැල බලන්න.

…රණබිම වැද යුදවන්
කොටි රණසුරුවන්
රජුගේ පිය මග දිගේ පෙරට එන
උණුව කැකෑරෙන දමිළ ලෙය

ගිණි ලූ ගේ දොර, බිඳ ලූ ජීවිත
නිහඬ බසකින් තවම කියන්නේ
දෙමළ ඊළාමය උසුලන බැව්
උරුමය
වියරූ කෝපයෙන්
ඉදිරියට ගිය නායකයාගේ

ලේ ගඳ හමනා මේ බිම මත්තේ
දරුවෙකු වුව රණ සෙබළෙකු වන්නේ
ෂෙල් වෙඩි පුපුරා පිලිරැව් නංවන
මහ රෑ මැදියම
සිහින දියව යයි අප හදවත් තුළ

එහෙත් ඒ සිහින තවම රැදී ඇත
අපගේ ඇස් තුළ
ඉතිහාසය යනු මව් බිම රැකුමට
සිය දිවි පිදුම ය

ගීතය කිසිවෙකු ඝාතනය කිරීම හෝ කිසිවෙකුගේ දෙයක් කොල්ල කෑම වැනි දෙයක් යෝජනා කර නැත. නමුත් මිය ගිය කොටි සටන්කරුවන් සිහි කිරීම හා උත්කර්ෂයට නැංවීම ගනේෂ් කුමාර්ට එල්ල වන ප්‍රධාන චෝදනාවකි.

මලවුන් වෙනුවෙන් ශෝක වීමට ඇති අයිතිය මානව හිමිකම්වල වඩාත්ම මූලික අංගයකි. ජාතික ජන බලවේගයේ ආන්ඩුව දෙමල අනුස්මරන උත්සව තහනම් කිරීම හා පීඩාවට පත් ජනයාගේ ශෝකය සහ විරෝධය ප්‍රකාශ කරන මෙවන් නිර්මාන මත ගායකයෙකු අත්අඩංගුවට ගැනීම මගින් සිදු කර ඇත්තේ, වඩාත් මූලික මානව ගරුත්වයේ ක්ෂේත්‍රයට එරෙහි ම්ලේච්ඡ ක්‍රියාවකි. උතුරු නැගෙනහිර දහස් ගනනක් ජනයා අනුස්මරන තහනම මෙන් ම රජයේ තර්ජන ද නො තකා අනුස්මරන උත්සවවලට සහභාගී වූහ. මන්ද යත්, මියගිය අය වෙනුවෙන් ශෝක වීමේ අවශ්‍යතාවය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට ඇති බියට වඩා ශක්තිමත් බැවිනි.

යුද්ධයේදී මියගිය පුද්ගලයින්ගේ දේහයන් යැයි විශ්වාස කෙරෙන ළදරුවෙකුගේ ඇටසැකිල්ලක් සමග, ඇටසැකිලි 150 ක් පමන ගොඩ ගැනුනු චෙන්මනී සමූහ මිනී වල. ප්‍රස්තතුත වූ ඔහුගේ තවත් රැප් ගීයක පද පේලී කිහිපයක් මෙසේ ය:

කුඩා දරුවන්ගෙ ජීවිත බිලි ගත්තේ කවුරුන් ද?
හමුදාව..
තරඟෙට බෝම්බ හෙලමින් සිටි ඔබ නිසා
කුඩා දරුවෙකු පස් කයි
අහිංසකයන්ට කුමක් කල හැකිද
සියලු අයිතීන්ට අහිමිව
තමන්ගේ ම බිම මිය යනු හැර …

සොහොනේ ඇටකටු කතා කරයි
හැඟීම් ජීවිතය උදුරා ගනියි
මතකයන් දෙවියන්ට වෛර කරයි

මෙම ගීතවල බහුලව පෙනෙන දේ නම් ශෝකය, ජීවිත පූජා කල සටන්කරුවන් උදෙසා උපන් අභිමානය, විරෝධය සහ නිදහස ය.

සුනුවිසුනු වූ ජීවිත, ෂෙල් වෙඩි ප්‍රහාර යටතේ හැදී වැඩුනු දරුවන්, දවා පිලිස්සූ නිවාස, සමූහ මිනී වලවල් යන මේ සංසිද්ධීන්ගෙන් මතුවන කලාවට, කිසිදු රජයේ නියෝගයකට අවලංගු කල නො හැකි සාමාජයීය බරක් සහ මානව නීත්‍යානුකූලභාවයක් ඇත. එවැනි කලාවක් යටපත් කිරීම යනු එය සංකේතවත් කරන දුක් වේදනා මහජන මතකයේ පැවතීමට සුදුසු නොවන බව ප්‍රකාශ කිරීමයි. එය අතීතයේ අපරාධ අමතක කරවීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගේ ස්ථාවරයයි.

ගනේෂ්කුමාර් අත්අඩංගුවට ගැනීමට එරෙහි මහජන උද්ඝෝෂනයක්

යුද සමයේ උතුරේ මෙන් ම දකුනේත් මෙවන් ගීත ගායනා කෙරුනි. “මේ සිංහල අපගෙ රටයි“ වැනි ගීත ගැයුනේ 1960 ගනන් අග දී ය. යුද්ධ කාලයේ “රන බිම මැරුනේ සිංහලයෙකු නම්- වෙඩි සලකුනු නැත පිට පැත්තේ” වැනි වාර්ගිකත්වය මතු කරන ගීත බොහෝ ගනනක් බිහි විය. අදත් මේවා එලෙසින් ම ගැයෙමින් පවතී.

අපි මෙම සිංහල ගීතවල මෙන් ම සංගීත්සන් ගනේෂ්කුමාර්ගේ නිර්මාන තුල මතු කරන දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන නිගමනවලට එකඟ නො වෙමු. ධනපති ඒකීය සිංහල බෞද්ධ රාජ්‍ය‍ය මෙන් ම එල්ටීටීඊ බෙදුම්වාදය ද අධිරාජ්‍ය ගැති ධනේශ්වර සංකල්පයෝ වෙති.

විශිෂ්ඨ කලාකරුවෙකුගේ කාර්යය වන්නේ තාවකාලික දේශපාලන උන්මාදයන්ට උඩගෙඩි දීම නොව, තමන්ගේ පාර්ශවයේ සාධාරන අරගලය හෝ වේදනාව ප්‍රකාශ කරන අතරම, මිනිස් ජීවිතවල වටිනාකම සහ සාමය අගය කරන විශ්වීය මානුෂීය ගුනාංග තම නිර්මානයට අඩංගු කර ගැනීම ය.

ඒ කෙසේ වෙතත්, ගීතයේ සාහිත්‍යමය, සංගීතමය සහ චිත්තවේගී ප්‍රකාශනයේ ගුනය අගය කිරීම හෝ විවේචනය කිරීම කලා කෘතියක් සම්බන්ධයෙන් අනුගමනය කල යුතු පිලිවෙත බව අපි දනිමු. එවන් විවෘත සංවාදයක් සහ විචාරයක් තුලින් සමාජය වඩාත් දියුනු, සහනශීලී සහ එකිනෙකා තේරුම් ගත හැකි තත්වයක් නිර්මානය කල හැකි ය. මතු කර ගත යුතු ප්‍රශ්නය නම්, ඒ වෙනුවට ආන්ඩුව තහනම හා වාරනය පෙරට ගෙන ඇත්තේ මන්ද යන්න ය.

ආන්ඩුව ගායකයා අත්අඩංගුවට ගන්නේ එම කලාත්මක ප්‍රකාශනය චිත්තවේගීය සත්‍යයක් නිසා සහ පීඩිත ජනයා එම චිත්තවේගීය සත්‍යය, හඳුනාගෙන එය බෙදා ගැනීමටට පෙලඹෙන නිසා ය. කලාව ජනතාවගේ දුක් වේදනා දැනීමට සලස්වන්නේ ය. පීඩිත ජනතාවක් නිහඬව තබා ගැනීමට අවශ්‍ය අයට ලෝකයේ භයානක ම දෙය එයයි.

තතු එසේ වුව, මීට වසරකට ඉහත පැවැත්වුනු පලාත් පාලන මැතිවරන සමයේ දී පාලක ජාතික ජන බලවේගයේ මැතිවරන උද්ඝෝෂනය තුල දමිල ගීත විසි අටක් නිර්මානය කර ප්‍රචාරය කෙරුනු අතර, ඒවායේ ගනේෂ්කුමාර්ගේ ගීතවලට ද වඩා එල්ටීටීඊ නායකත්වය උත්කර්ෂයට නැංවුනු පද මාලා පැවැත්තේය යන සත්‍ය කරුන, ජාජබ ආන්ඩුවේ රැවටිලිකාරී දෙබිඩි කුහකවත මනාව ප්‍රදර්ශනය කරයි. ඉන් එක ගීයක, තමන් එල්ටීටීඊ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ පිලිරුවක්‌ වැල්වැටිතුරෙයිහි ඉදිකරන බවක් පවා කියැවුනු බව 2025 මැයි 4 වන දින ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කලේය. එකී ගීතයේ කොටස් කිහිපයක් පහත දැක්වේ:

අභීතකම හා ධෛර්යය පැතු දේශය,
දමිල අභිමානය වැජඹුනු භූමිය
ඉතිහාසය උත්පත්තිය ලද රට
උදාර නායකයා ලැබ දුන් රට

වේලුපිල්ලෙයි පාර්වතී අම්මාල් නාමයෙන්
අලුත් වරායක් මෙහි ඉදිවනු ඇත
අප ඉතිහාසය තව සිය වසරක් එහි නින්නාද දෙනු ඇත

ජාතික ජන බලවේගයේ පිලිවෙත්
දමිල ජාතියේ නායකයාගේ පිලිවෙත්
දෙකම එකමය.
දමිල ජාතික නායකයාගේ පිලිරුව
තඹ පිලිමයක් සේ
ඉදිවනු ඇත ඔහු උපන් භූමියේ ….

(2025 මැයි 4 දින Tamil Guardienහි පල වූ ඉංග්‍රීසි ගීතයෙන් පරිවර්තනය කර ඇත)

ග්‍රීක මිත්‍යා කථාවලට අනුව, රැවටිල්ලට අධිපති දෙවියා වන්නේ ඩොලොස් ය. ජාතික ජන බලවේගයේ රැවටිලිකාරීත්වය පවතින්නේ ඩොලොස් ද ඉක්මවා යන මානයක ය.

ආන්ඩුවක් මර්දන නීති ක්‍රියාත්මක කිරීමට කෙතෙක් ඉක්මන් වේ ද යන්න, ජනතාවකගේ අවශ්‍යතා ඉටු කිරීමට එම ආන්ඩුවේ නොහැකියාවට සමානුපාතී වේ. ජවිපෙ අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් 2024 සැප්තැම්බර් 21 දින සිට මේ දක්වා පුද්ගලයන් 20ක් පමන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ධනපති ආන්ඩු, එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන සම්බන්ධ සම්මුති (ICCPR) පනත් කෙටුම්පත යොදා ගෙන, රම්සි රාසීක්, අහ්නාෆ් ජසීම්, ශක්තික සත්කුමාර, ෆාතිමා සහ නතාෂා එදිරිසුරිය යන කලාකරුවන් දඩයම් කලේ ය. ඔවුන්ට එරෙහි චෝදනා පවා ගොනු කිරීමට පොලිසිය අසමත් විය. අවසානයේ ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට සිදු විය. එහෙත් ඒ වන විට ඔවුහු මාස හා අවුරුදු ගනනක් ඇප අහිමිව සිර ගෙවල අනේකවිධ දුක් වින්දාහ. මර්දන නීති පාලක පන්තියට අවශ්‍ය වන්නේ සමාජය බිය ගන්වා යටත් කො ට සිය පාලනය පවත්වා ගැනීමට ය.
ආන්ඩුව කලාවට කඩා පැනීම සත්‍යය දැන ගැනීම සඳහා මානවයාගේ හැකියාවට හා උවමනාවට එරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමකි. කලාත්මක නිදහස ආරක්ෂා කිරීමේ ලිබරල්වාදී මාවතක් නැත. එය සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමඟ වෙන් කල නොහැකි ලෙස බැඳී පවතී. එකී අයිතිවාසිකම් රැකීමේ එකම මාවත වන්නේ, මර්දනය, යුද්ධය සහ වාර්ගික බෙදීම ජනනය කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය යි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව ශ්‍රී ලංකාවේ සියලුම කම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන IMF කප්පාදු වැඩසටහනට මුහුන නොදී යාපනයේ දෙමල ගායකයා ආරක්ෂා කල නො හැකි ය. දෙමල ජන ජීවිතයේ භූමිභාගය ම නිරීක්ෂන සහ බිය ගැන්වීමේ කලාපයක් බවට පත් කරන උතුරු හා නැගෙනහිර මිලිටරි වාඩිලෑමට එරෙහි වීම කලාවේ නිදහස ආරක්ෂා කිරීමේ ප්‍රධාන කොන්දේසියකි. ජයග්‍රහනය කල හැකි ව්‍යාපාරයක් ගොඩ නැගිය හැකි වන්නේ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුවකින් ය. එය සමාජ අසමානතාවට එරෙහිව, සමාජවාදය සදහා වන කම්කරු පන්ති ක්‍රියා මාර්ගයෙන් සන්නද්ධ විය යුතු ය.

නන්දන නන්නෙත්ති විසිනි

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුව

බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුව අත් අඩංගුවට ගැනීම හෝ ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම ශ්‍රී ලංකා පොලිසිය මාස තුනකට ආසන්න කාලයක් – දින86ක්- මග හැර සිටියේ ය.

2026 මාර්තු 6දා 15 වියැති දැරියක්  “පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින” බවට නිට්ටඹුව පොලිසියට ලැබුනු පැමිනිල්ලක් ඉහල පෙලේ පුද්ගලයන් හරහා සැකකාර භික්ෂුව විසින්  ම සිදු කරනු ලැබ ඇති බව සදහන් වේ.

නිට්ටඹුව පොලිසිය, බාල වයස්කාර දැරිය සිය භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී, දැරිය සියලු කරුනු හෙලිදරව් කලා ය. පොලිසිය ඇය රාගම ලමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබා ගෙන කල් මැරී ය.

පිපීරීම සිදු වන්නේ කුරුනෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන බිමල් රුහුණගේට මෙම තොරතුරු දැන ගැනීමට ලැබීමෙන් ය. ඔහු තමන්ට ලැබුනු විශ්වාසවන්ත තොරතුරක් මත, බාලවයස්කාර දැරියක අටමස්ථානාධිපති හිමියන් සහ තවත් පිරිසක් අතින් අපයෝජනය වන බවටත්, ඇයගේ මව ඊට මුදල් ආධාර ලබාගෙන අනුබල දෙන බවටත් අවස්ථා කිහිපයකදීම දුරකථනයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) හදිසි ඇමතුම් අංශ වෙත (1929 ළමා උපකාරක සේවය හරහා) දැනුම් දී තිබිනි. ඔහු විසින් අප්‍රේල් 23 වනදා නිල වශයෙන් ලිඛිත මෝසමක් මගින් අටමස්ථානාධිපතිවරයා දැරිවිය දූෂනය කල බව දැනුම් දීම හරහා එම කාරනය ජනතාව අතරට ගෙන නො ගියේ නම් සියල්ල වලලා දැමීමට නියමිතව තිබිනි.

බිමල් රුහුණගේ

පොලිසිය, බැරිම තැන, මැයි 8 දා භික්ෂුවට විරුද්ධව නිල වශයෙන් අධිකරනය හමුවේ චෝදනා ගොනු කලේ ය. මේ වන විට භික්ෂුව දැරියට ලබා දී ඇති දුර කථන ඇමතුම් 88ක් ඇතුලු ඇගේ වයස 11 -12 අවධියේ සිට අපයෝජනය කල බවට නොබිඳිය හැකි සාක්ෂි ලැබී ඇත.

ආන්ඩුව, දේශපාලනඥයන්, පොලිසිය හා රාජ්‍ය නිලධරය, වෛද්‍යවරු, නීතිඥයන් සහ මධ්‍යම පන්තික වර්ගවාදී, ආගම්වාදී රොත්තක් දැරියට එරෙහිව නැගී සිට ඇත. ආන්ඩුව තමන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අත නොගැසීමේ නියායෙන් ඇඟ බේරා ගත්තේ ය. හිටපු ඇමති දිලුම් අමුනුගම “හේමරතන හිමි අත් අඩංගුවට ගෙන ඇත්තේ ගනිකාවකගේ ප්‍රකාශයක් නිසා ය“යි ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. මුල සිට ම හේමරතන වෙනුවෙන් නීතිඥයන් 30කට වඩා උසාවියේ ස්වේච්ඡාවෙන් පෙනී සිටි අතර දැරිය වෙනුවෙන් නීතිඥයෙකු නො වීය. ප්‍රතිගාමී නීතිඥයෝ හේමරතනට විරුද්ධ සියලු දෙනා එන්ජීඕ කාරයන් හා බුද්ධාගමේ හතුරන් ලෙස නාමකරනය කලහ. වෛද්‍යවරු ඔහු අසාධ්‍ය රෝගියෙකු ලෙස සහතික කර අත් අඩංගුව ගැනීම වැලැක්වීමට උත්සාහ කලහ.

මින් පෙර මෙවන් අවස්ථාවල මෙම සමාජ තට්ටු හා නිලධරය ක්‍රියාත්මක වූ ආකාරය ද සැලකිල්ලට ගැනීමෙන් පෙනී යන පරිදි පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි චිත්‍රයක් මෙහි ඇත.

2015 කොටදෙනියාවේ දී අවුරුදු 5ක බිලිඳියක් වූ සේයා දූෂනය කර ඝාතනය කිරීම ගැන චූදිත “කොන්ඩයා“ හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නමැත්තාට අමානුෂික පහරදීම් සහ දරාගත නො හැකි වධහිංසා දී පොලිසිය ලියූ ලියකියවිලිවලට ඔහු ලවා අත්සන් කරවා ගෙන, නඩු පැවරිනි. නීතිඥයෝ ඔහු වෙනුවෙන් පෙනී නො සිටියහ. පසුව ප්‍රියශාන්ත එම අපරාධයට වැරදිකරු නොවන බව විද්‍යාත්මකව ඔප්පු වීම සහ සැබෑ අපරාධකරු හමු වීම නිසා ඔහු නිදහස් කරන ලදී.

අටමස්ථානාධිපති අත් අඩංගුවට ගැනීමට හෝ පොලිසියට අවශ්‍ය නො වී ය.

ප්‍රකාශිත තත්වය හුදෙක් තනි පුද්ගලයෙකුගේ සදාචාරාත්මක පරිහානියක් හෝ හුදු ආගමික ප්‍රශ්නයක් ලෙස හකුලා දැක්විය නො හැකි බව දැනටමත් තහවුරු වී ඇත.

එය, ධනේශ්වර සමාජ ව්‍යුහය, එහි අර්බුදය සහ රාජ්‍ය උපකරණයේ ක්‍රියාකාරීත්වය සමඟ බද්ධ වූ ගැඹුරු දේශපාලන-ආර්ථික සාධකවල අන්තර් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි

ආගමික සංස්ථා සහ ධනපති පාලක පන්තිය අතර පන්ති සන්ධානය නොවැලැක් විය හැකි එකකි. ආගම යනු පාලක පන්තිය විසින් මහජනතාව මත තම මතවාදී ආධිපත්‍යය පවත්වා ගැනීමට සහ පන්ති විඥානය මොට කිරීමට භාවිත කරන ප්‍රධාන මෙවලමකි.

ශ්‍රී ලංකාවේ අටමස්ථානය වැනි ප්‍රමුඛ ආගමික ආයතනවල නායකයින් හුදු ආගමික නායකයින් පමනක් නොවේ. ඔවුහු මෙරට ධනේශ්වර රාජ්‍යයේ දේශපාලන තීන්දු තීරන කෙරෙහි ඍජුව ම බලපාන, ධනපති පාලක පන්තියේ (රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින් සහ මහා පරිමාන ව්‍යාපාරිකයින්ගේ) ව්‍යුහයේ අවියෝජනීය කොටස්කරුවෝ වෙති.

නීතියේ සහ රාජ්‍ය උපකරනයේ පන්තිමය ස්වභාවය තීරනාත්මක ය. පොලිසිය සහ අධිකරන පද්ධතිය සැමවිටම ක්‍රියාත්මක වන්නේ පාලක පන්තියේ සහ බලවතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමටය.

වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටීමට ඇයට එරෙහිව යෙදෙන බලයට යන්තමින් හෝ සම කළ හැකි බලයක් හෝ සම්පත් නොමැති වීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ නීතිය ඉදිරියේ සමානත්වයක් ඇතැයි කියන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ මිථ්‍යාව බිඳවැටී ඇති ආකාරයයි. රාජ්‍ය ආයතන (පොලිසිය ආදී) වින්දිතයාට අවාසි වන ලෙස ක්‍රියා කරන බවට නැඟෙන චෝදනා, ධනපති රාජ්‍යය සැමවිටම පාලක පන්තියේ සාමාජිකයන් ආරක්ෂා කිරීමට මැදිහත් වන බව පිළිබඳ සම්භාව්‍ය මාක්ස්වාදී ආස්ථානය යලිත් තහවුරු කරයි.

සමාජ-ආර්ථික පීඩනය සහ ළමා ශ්‍රමය සූරාකෑමත් ළමා අපයෝජනයනුත් අද්‍යතන ධනවාදයේ අනිවාර්ය අංගයෝ ය.

ධනේශ්වර ක්‍රමය තුල සියලු මිනිස් සබඳතා, (ශරීරය සහ දරුවන්ගේ අනාගතය පවා) ලාභය හෝ පැවැත්ම උදෙසා විකිනෙන “වෙලඳ භාන්ඩ” (Commodities) බවට පත් වේ.

දැඩි ආර්ථික පීඩනය සහ දරිද්‍රතාවය හේතුවෙන් පීඩිත පන්තිවල දෙමාපියන් තම දරුවන් මෙවැනි බලගතු පුද්ගලයන්ගේ සෙවනට හෝ ආශ්‍රයට පත් කිරීමට සිදුවන වටපිටාව නිර්මානය කරන්නේ පවතින ධනේශ්වර ආර්ථික අර්බුදය විසිනි. මෙය හුදෙක් පුද්ගලික සදාචාරයේ ප්‍රශ්නයක් නොව, ධනවාදය විසින් පීඩිත පන්තිය ඇද දමා ඇති අන්ත අසරනභාවයේ ඛේදවාචකයකි.

සිවිල් සංවිධාන හා මධ්‍යම පන්තික ලිබරල්වාදීන්ගේ විරෝධතා මඟින් ඉල්ලා සිටිනු ලබන්නේ හුදෙක් “පවතින ක්‍රමය තුල සාධාරණත්වය”යි. එම සීමාව, මෙම අපරාධවලට මුල් වී ඇති ධනේශ්වර දේපල ක්‍රමය සහ පන්ති පාලනය පිලිබඳ කාරනය අඳුරු කරමින් එම අපරාධවල සැබෑ හේතු වසං කරයි. සත්‍යය නම්, පවතින ක්‍රමයට එරෙහි අරගලයකින් තොරව හුදු ධනේශ්වර රාජ්‍යයෙන් යුක්තිය ඉල්ලීම නිශ්ඵල බවය.

අපරාධවලට එරෙහිව පෞද්ගලික මට්ටමින් ඉදිරිපත් වන මාධ්‍යවේදීන්ට විශාල අවදානමක් ගැනීමට සිදුවේ. ධනේශ්වර ක්‍රමයේ ව්‍යුහයම සැකසී ඇත්තේ සාමාන්‍ය මිනිසුන්ගේ හඬවල් යටපත් කරමින්, ඉහල ප්‍රභූන් ආරක්ෂා කිරීමට බැවින්, තනි පුද්ගල සටන්වලට මේ තත්වය  වෙනස් කිරීමට අවස්ථාව නැත. බිමල් රුහුනගේ 2024 වසරේදී කුරුනෑගල ප්‍රදේශයේ දරුවන් දරුකමට විකීනීමේ ජාවාරමක් පිලිබඳව තොරතුරු වාර්තා කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වෙමින් පීඩාවට ලක්වූ මාධ්‍යවේදියෙකි. මෙවැනි සාහසික අපරාධවලින් කාන්තාවන් සහ දරුවන් සැබැවින් ම නිදහස් කරගත හැක්කේ, ආගමික සහ දේශපාලන ප්‍රභූන් ආරක්ෂා කරන ධනපති ක්‍රමය තුරන් කර, කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් සමාජවාදී පරිවර්තනයක් මඟින් සමාජය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. හිංසනයෙන් තොර ජීවිතයක් ලබා ගැනීමට දරුවන්ට හැකි වනු ඇත්තේත්, සැබෑ යුක්තිය හා සමානාත්මතාවය තහවුරු වනු ඇත්තේත් එමඟින් පමණෙකි.

අඩ සියවසක් පුරා සප්‍රතිපත්තික අරගලයක වාර්තාවක් දරන ආර්. අමරතුංග සහෝදරයා අද සිය 83 වන ජන්ම දිනය සමරයි. පන්ති විඥානයෙන් යුතු කම්කරුවෙකු සතු අප්‍රතිහත ධෛර්යය සහ විප්ලවවාදී ජීව ගුණය පිලිබඳ ජීවමාන උදාහරනයක් වන අමරතුංග සහෝදරයාගේ ජීවිතය තරුන විප්ලවවාදීන්ට මනා ආදර්ශයකැයි හැඟී යන හෙයින්, ඔහුගේ 80 වන උපන් දිනය වෙනුවෙන් නන්දන නන්නෙත්ති සහෝදරයා ලියූ සටහන යලි මෙහි උපුටා පළ කරමු. මුල් ලිපිය 2023 අප්‍රේල් 28 වන දින thesocialist.lk වෙබ් අඩවියේ පළ විය.

නන්දන නන්නෙත්ති විසිනි

ආර්. අමරතුංග සහෝදරයා

ප්‍රතිපත්ති හා මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඉන්ද්‍රඛීලයක් වන් කම්කරුවෙක්, මනස්කාන්ත මිනිසෙක්, අව්‍යාජ විප්ලවවාදියෙක්, ආදරවන්තයෙක්, ලෙන්ගතු මිත්‍රයෙක් යන සෑම භූමිකාවකම තමන් දන්නා කියන හැමගේ හද දිනූ අමරතුංග සහෝදරයා නව පරම්පරාවන්ට ජිවිතය කියා දීම සඳහා වටනා මොඩලයකැයි අපට සිතේ.

අමරතුංග සහෝදරයාගේ ජීවිතය හා ආත්මය, සමාජවාදය පිලිබඳ ඔහුගේ අවබෝධය සහ වගකීමේ ස්වභාවය ගැන වැටහීමකින් තොර ව පරිපූර්න ලෙස දැනගනු නො හැකි ය. 1990 අවුරුද්දේ සිට මේ දක්වාත් හෘද රෝගියකුව ප්‍රතිකාර ගන්නා ඔහු තම වෛද්‍යවරයාගේ ප්‍රශ්නයකට දුන් පිලිතුර ඊට එක් නිදසුනකි.

වි‌ශේෂඥ වෛද්‍ය මදුරාවේ වරක් ඔහුගෙන් මෙසේ අසයි. “ඔබ මෙහි පැමිනි කාලයේ ම ප්‍රතිකාර ගැනීමට පැමිනි අය අතරින් කී දෙනෙක් දැන් මේ පෝලිමේ සිටිනවා ද?”

“එක්කෙනෙක්වත් නැහැ” යනු අමරතුංගගේ පිලිතුරයි.

” ඒ ඇයි?” වෛද්‍යවරයා අසන්නේ ය.

“මම සමාජවාදියෙක්. මට ඉදිරි දර්ශනයක් තියෙනවා,”යැයි අමරතුංග පවසන්නේ සෙසු රෝගීන් මෙන් නොව තමන් අනාගතය වෙනුවෙන් දැනුවත්ව ජීවත් වන නිසා, අසීරු තත්වයන් ජය ගැනීමේ අන් රෝගීන්ට නැති හැකියාවක් තමන්ට ඇති බව ය.

සැතපුම් ගනන් දුර ඇවිදිමින් අප සමග හරි හරියට දේශපාලන වැඩවල යෙදුන අමරතුංග පසු බැස්සවීමට තරම් රෝගය සමත් නො වීය. වැඩිම වුනොත් “පොඩ්ඩක් ඉන්න සහෝදරයා” කියා පෙත්ත දිව යට තබාගෙන ටික වෙලාවක් මඳවේගී වීම හැර බාධාවක් ඔහුට නො වී ය.

මෙම ක්‍ෂමා විරහිත පන්ති සටන්කරුවා 1943 අප්‍රේල් 26දා හික්කඩුවේ දී උපත ලැබී ය. තොටගමුව විජයබා විද්‍යාලයේ 6 වන පන්තිය දක්වා පමනක් උගත් ඔහු 17 විය සම්පූර්න වීමටත් පෙර, එනම් 1959 දී බෝගලට ගොස් පතල් කම්කරුවෙකු ලෙස ජීවනෝපාය ද, ජීවිත අධ්‍යයනය ද ආරම්භ කලේ ය. පසුව තමන් සරන පාවා ගත් ඉතා ආදරනීය බිරිඳ දයා සහෝදරිය සමග පුතුන් 4 දෙනෙකු හදා වඩා ගත්තේ ය.

කතෝනිස් බාස් නම් පුද්ගලයෙකු විසින් අත්පත් කර ගන්නා ලද බෝගල මිනිරන් කැනීම 1887 න් පසු කැපී පෙනෙන ධනපති කර්මාන්තයක් ලෙස ඉහලට එසැවෙන්නේ කතෝනිස්ගේ උගත් දරුවන්ගේ මෙහෙයවීම යටතේ ය. මෙම කර්මාන්තය පීඩිත කම්කරුවන්ගේ ජීවිතය කෙතෙක් උරා බී වැඩුනේද යත්, මේ පතල මුහුදු මට්ටමට ද වඩා ගැඹුරට කනින ලදී. එහි සම්පූර්න ගැඹුර මීටර් 275කි. අමරතුංග ජීවිතයේ ගැඹුර ක්‍රමානුකූලව සොයා ගනිමින් සිටියේ ය.

1972 දී එවකට පැවති ලංකා සමසමාජ පක්ෂය (ලසසප), කොමියුනිස්ට් පක්ෂය (කොප) සහභාගී වූ සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුව බෝගල පතල ද ධනපතියන්ට වන්දි ගෙවා ‘ජනසතු’ කලේ ය. ඉහත නම් සදහන් පක්ෂ දෙක ම මේ ‘ජනසතුව’ හැදින් වූයේ ධනපති විරෝධී හා සමාජවාදය කරා ප්‍රගතිශීලි ධනපතියන් ය යි ඔවුන් විසින් හැදින් වූ ධනපතියන් සමග එක්ව පියවර තැබීමක් ලෙස ය.

එවක අමරතුංග ඇතුලු බෝගල පතල් කම්කරුවෝ සමසමාජ පක්ෂයට අයත් වෘත්තීය සමිතියේ සාමාජිකයෝ වූහ. ජනසතුවෙන් දෙවසරක් ගිය තැන 1974 වසරේ පරිපාලනය හා වෘත්තීය සමිති නායකත්වය අමරතුංග සහෝදරයාගේ රැකියාව අහිමි කලහ. සමිති නායකයන් හාම්පුතුන් සමග එක්ව සාද පැවැත්වීම ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබීම ඊට තුඩු දුන් හේතුවයි. එවකට අපගේ සහෝදරයා මුරකරුවෙකු ලෙස රැකියාව කරමින් සිටි අතර කුමන්ත්‍රනකරුවෝ ඔහුගේ ආරක්ෂාව යටතේ තිබූ උපකරනයක් අතුරදහන් කර ඒ අනුව ඔහු රැකියාවෙන් නෙරපූහ. වෘත්තීය සමිති නායකයෝ, තමන් මෙම කුමන්ත්‍රනයේ හවුල්කරුවන් නො වන සේ පෙනී සිටි නමුත්, පැමිනිල්ලක් දැමීමට නියමිත කාලයට එක් දිනක් පසුවන තෙක් බලා සිට කම්කරු උසාවියට පැමිනිලි කිරීම මගින් නීතිමය රැකවරන සදහා උත්සාහ කිරීමට ඇති අවස්ථාවද ඔහුට අහිමි කලහ.

අමරතුංග සිය දරු පවුල සමග පෙරලා හික්කඩුවට පැමින කුලී වැඩ කරමින් ජීවිතයට මුහුන දුනි. 1976 රංගල්ල පාලම අසල කරදිය බාධක වේලි බැදීමට සහභාගී වූ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට මුන ගැසේ. සාකච්ඡා වට කිහිපයකින් පසු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ආරම්භ කල ඔහුගේ අකලංක විප්ලවවාදී දේශපාලන ජීවිතය නො මැකෙන සටහන් තැබූ එකකි.

මෙම කම්කරුවා බඳවා ගැනීමේ සාකච්ඡා කීපයක් සිදු කිරීමට එවක පක්ෂයේ නව යොවුන් සාමාජිකයෙකුව සිටි මෙම ලිපියේ ලේඛකයාට ද අවස්ථාව ලැබුනේ ය යන්න ඉමහත් සන්තුෂ්ඨියකි. එතැන් සිට අමරතුංග, දැන් සමාජවාදී සමානතා පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වන රත්නසිරි මලලගම විසින් කුමන්ත්‍රනකාරී ලෙස පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සැලසුම් කරනු ලබන තෙක් කිසිදු බාධාවකින් නො සෙල්වී පක්ෂයත් එහි ඉදිරි දර්ශනයත් ආරක්ෂා කරමින් සටන් වැදුනේ ය.

අමරතුංග පක්ෂයට බැඳීම, ජාත්‍යතර කම්කරු පන්තිය තලා දැමීම සදහා ක්‍රියාත්මක වූ දක්ෂිනංශික ව්‍යාපාරයට එරෙහිව සිදු වූවකි. 1971 බ්‍රෙටන්වුඩ් සම්මුතිය බිඳ දමමින් ප්‍රකාශයට පත් ලෝක ධනේශ්වර අර්බුදය පන්ති අරගලය උත්සන්න කලේ ය. වෘත්තිය සමිති හා කම්කරු පන්තියේ නමින් පෙනී සිටි පක්ෂවල පාවාදීම මත හිස එසවූ පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහි සම්මුති විරහිත ප්‍රහාරයක් දියත් කලේ ය. බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්ගේ සිට මෙරට ජේ. ආර් ජයවර්ධන දක්වා අන්ත දක්ෂිනාංශික ආන්ඩු, කම්කරු පන්තිය පූර්න ලෙස යටත් කිරීමට වැඩ ආරම්භ කලේ ය. අමරතුංග කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය පිලිගනිමින් ඒ වෙනුවෙන් ජීවිතයම කැප කිරීම තෝරා ගන්නේ මෙවන් පසුබිමක ය.

මෙම කම්කරුවා, සමසමාජකාරයන්ගේ කුමන්ත්‍රනයට ගොදුරු වූවා සේම සමසමාජයේ මහා පාවා දීමට එරෙහිව සටනක් කොට ගොඩ නැගූ සමාජවාදී සමානතා පක්ෂය (එකල විකොස) තුල වැඩී ඇති, මුලධර්ම විරෝධී, අවස්ථාවාදී උමතු කල්ලියේ ගොදුරක් වීම නාටකාකාර දේශපාලන ප්‍රකාශනයකි.

මීට වසර කිහිපයකට පෙර හික්කඩුව කලුපෙ ගම්මානයේ ලදරු පාසැලක පැවැත් වූ උත්සවයක පොල් තෙල් පහන දැල්වීමට අමරතුංගට ආරාධනා කරන ලදී. ගම්වැසියන් ඒ තරමටම මේ කම්කරුවාට ගරු කලේ ය, ආදරය කලේ ය, අවංක නායකයෙකු ලෙස පිලිගත්තේ ය.

එහෙත් අමරතුංග ඉතා ලෙන්ගතුව ආරාධනය ප්‍රතික්ෂේප කලේ ය. එම විවෘත කිරිමට පාලක පක්ෂයේ අතුකෝරාල නමැත්තා ද සහභාගී විම නිසා ය, අමරතුංග දෙවරක් නො සිතා එය ප්‍රතික්ෂේප කලේ. ධනපති නියෝජිතයන් සමග කම්කරු පන්තියට ගනුදෙනුවක් නැති බව ඔහු තම හිතවතුන්ට පෙන්වා දුන්නේ ය.

ප්‍රතිපත්ති සම්බන්ධ මේ දෘඩභාවය විප්ලවවාදියෙක් වුවත් කම්කරු පන්තිකයෙකු ලෙස තමන් හරියට ම ස්ථානගත කරගැනීමට අසමත් මධ්‍යම පන්තිකයෙකුට නැත. විකොස මධ්‍යම කාරක සභිකයෙකුව සිටින අතර ම මහාචාර්ය සුචරිත ගම්ලත්, එවක 60,000ක් ගම්බද තරුනයන් ඝාතනය කල යුඑන්පී ආන්ඩුවේ ඇමතියෙකු සමග 1990 දී වේදිකාරූඪ විම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි ය.

අමරතුංග ආරාධනය ප්‍රතික්ෂේප කල දිනවලම මෙහි සඳහන් රත්නසිරි මලලගම, පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස සිටින අතර ම, සිය බිරිඳගේ ලදරු පාසැලේ විවිධ ප්‍රසංගයේ දී ආරධනා කර ගෙන්වා ගත් අතුකෝරල නමැති, අමරතුංග විසින් ප්‍රතික්ෂේප කරන ලද, පොදු පෙරමුනේ මන්ත්‍රී සමග එකට සිට පහන් දැල්වීම් යනාදිය සිදු කලේ ය. අමරතුංග ඇතුලු සාමාජිකයන් ඊට විරුද්ධ වූ විට රත්නසිරි සොයා බැලුවේ කැමරා ශිල්පියා ‍”එඩිට්” නො කර වීඩියෝව පිට කිරීම ගැන මිස සිය දේශපාලන නිවටකම කුමකින් පැන නැංගේ ද යන්න නො වේ.

විප්ලවවාදී පක්ෂය තුල මධ්‍යම පන්තික ප්‍රවනතා මතු වීම අරුමයක්වත් අසාමාන්‍ය දෙයක්වත් නො වේ. පක්ෂය ගොඩ නගන්නේ ප්‍රවනතා අතර දේශපාලන ගැටුම් තුලිනි. පක්ෂය පවතින මෙබදු ප්‍රවනතා හඳුනා ගැනීමේ දී අමරතුංග සහෝදරයාගේ දේශපාලන ජීවිතයෙන් ගත හැකි පාඩම් බොහෝ ය.

1988-89 විකොස සාමාජිකයින් තිදෙනෙක් ජවිපෙ ඝාතකයන් විසින් බිලි ගනු ලැබුනාහ. මේ අතර කිහිප වතාවක් ම ඝාතකයෝ මෙම ලියුමකරුගේ නිවස ද වට කල හ. පැරනි සාමාජිකයෙකු වූ සෝමරත්න කොඩිකාර සහෝදරයාට ද මරන තර්ජන එල්ල වී තිබිනි. පක්ෂය ජවිපෙ ක්‍රියාව හෙලිදරව් කරමින් කම්කරු පන්ති පිලිවෙත පැහැදිලි කල ලිපියක් මහජනයා අතර බෙදා හැරීම සඳහා අම්බලන්ගොඩ ශාඛාවට එවන ලදී. අම්බලන්ගොඩ ලෝකලයේ සාමාජික රත්නසිරි එදා අතුරුදන් වූ පසු නැවත දේශපාලනයට එන්නේ විජේවීර ඝාතනයෙන් පසුව ය. අමරතුංග මරනීය තර්ජනය මැද සිය පුතුන් පක්ෂයට බඳවා ගැනීමට හා, එසේ නො හැකි නම්, පක්ෂයේ ආධාරකරුවන් බවට පත් කර ගැනීමට තමන් කල කටයුතු ඉස්මත්තට ගත් අතර එක් පුතෙකු පක්ෂයට බඳවා ගත්තේ ය. අනතුරුව තාරක අමරතුංග නම් එම තරුනයා මරනයට කැප ව සිටි මෙම ලිපිකරුගේ ආරක්ෂාව ගැන ද දැනුවත් කර මා සමග දේශපාලන කටයුතුවල නිරත කලේ ය. ධනපති පන්තියට මෙන් ම කම්කරු පන්තියට ද බියපත්ව සැඟවී සිටිය නො හැකි ය.

මධ්‍යම පන්තියෙන් පක්ෂයට බැදෙන පුද්ගලයන් කම්කරු පන්තිය නැමති පාසලේ වසර ගනනාවක් පුහුනු කිරීමෙන් පසු මිස මොන ම වගකිව යුතු කටයුත්තක්වත් නො පවරන ලෙස ට්‍රොට්ස්කි පවසා ඇති දෙය ගැන තව බොහෝ ආදර්ශයන් අමරතුංගගේ ජීවිතයෙන් උකහාගත හැකි ය.

එවක අපගේ කම්කරුවාගේ කුඩා නිවස සෑම ඉරිදාවක ම පක්ෂයේ කටයුතු වෙනුවෙන් ම වෙන් විය. මේ කම්කරුවා ඒ හැම සාකච්ඡා වාරයක දී ම 15කට 20කට ආහාර පාන සැපයී ය. ඔහුගේ ආදරනීය බිරිඳ හා දරුවන් සැලකුවේ එය තමන්ට ලැබුනු අගනා අවස්ථාවක් ලෙස ය.

අපගේ කම්කරුවා පක්ෂයට බැඳෙන්නට පෙර තරමක් හිතුවක්කාරී හා දැඩි තීරන ගෙන තමන් නො රුස්නා දෙයට මුහුන දීමේ තත්වයක පසු වූ බව කියවේ. පක්ෂය තුල අමරතුංග අත්පත් කර ගත් දේ කෙතෙක් ද යත් මොහු සන්සුන් පුද්ගලයෙක් කර දීම ගැන තමන් පක්ෂයට නයගැති ය යි ඔහුගේ බිරිඳ දයා සහෝදරිය නිරන්තරයෙන් හා දැඩි තෘප්තිකරභාවයෙන් ප්‍රකාශ කරන්නී ය.

අමරතුංග සියලු අසීරුතා තිබිය දී සිය පුතුන් සිව් දෙනාට හැකි ඉහලම අධ්‍යාපනය ලබා දීමට අධිශ්ඨානවත් විය.

අමරතුංග තම එක් අතක පවතින දුර්වලතාව නො තකා වොලි බෝල් ක්‍රීඩාවට යොමු ව සිටියේ ය. නාට්‍යය, ගීතය, චිත්‍රය සහ මූර්තිය වෙත ඔහුගේ යොමු වීම දියුනු සංස්කෘතික කම්කරුවා පිලිබද ලකුනකි. 80 වියැති නමුත් තවමත් තරුන සිතැති මේ කම්කරුවා පොල් කටු යොදාගෙන කලාත්මක භාන්ඩ නිර්මානය කිරීමෙන් යම් ආදායමක් ද උපය යි.

මාක්ස්වාදී ව්‍යාපාරය හැම විට ම මෙබඳු පෙරටුගාමී කම්කරුවන් දිනා ගැනීම ඉලක්ක කර ගනී. ඔවුන්ට මිලියන සංඛ්‍යාත ජනයාට නායකත්වය දිය හැකි ය.

අවාසනාවට දැන් සිදුව ඇත්තේ වෙන දෙයකි. 2022 ජුලි 7 දින සිට සමාජවාදී සමානතා පක්ෂයෙන් ඔහු දොට්ට දමනු ලැබ ඇත. මෙම ලිපිකරුට එය හොදටම දැනේ. සංජය ජයසේකර සහ මා පක්ෂයෙන් දොට්ට දැමීමේ මුග්ධ තීරනය අමරතුංග මහත් සේ කම්පාවට පත් කලේ ය. දැන් මේ පක්ෂයේ සිට පලක් නැතැයි කියමින් වුවත් ඔහු උත්සාහ කලේ පක්ෂය තුල රැඳී සිටිමින් එය නිවැරදි කර ගැනීමට ය. අමරතුංග දොට්ට දැම්මේ හරියටම මේ උත්සාහය නිසා ය. මලලගමගේ මෙම කුමන්ත්‍රනය ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ඇතුලු දේශපාලන කමිටුව අනුමත කර ඇත.

එහෙත් අමරතුංග සහෝදරයා 4 ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ ‌‌ඓතිහාසික හා දේශපාලන පදනම් මත පිහිටාගෙන සිය ජීවිත කාලයම සටන් වදින බව ගැන අපට සැක නැත. ඔහු එදා මෙන් ම අදත් සියල්ලට ම පෙර පක්ෂය යන අදහස අත් නො හැර වැලඳ ගෙන සිටී. සහෝදරයා, නුඹට දීර්ඝායු!

පරාක්‍රම කුරුප්පු

දීපචෙල්වන් ප්‍රදීපන්

ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති ඔහුගේ පොත් හතරක පිටපත් 360 ක් නිදහස් නොකොට රේගුවේ තබා ගැනීමත්, ජාජබ ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයාගේ නියෝග මත ඒවා නිදහස් කිරීම ආරක්ෂක අමාත්‍යංශයේ අභිමතයට යටත් කිරීමත්, කලාවට එරෙහි රුදුරු රාජ්‍ය මැදිහත්වීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

ප්‍රදීපන් කවියාට එරෙහිව එසැවී ඇති රාජ්‍ය මර්දනයට එරෙහිව බොහෝ කලාකරුවෝ සිය ෆේස්බුක් ගිනුම් හා ලිපි හරහා සිය පිලිකුල ප්‍රකාශ කොට ඇත්තාහ. සාහිත්‍ය අනු මන්ඩලයේ සාමාජිකාවක වූ කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳිය සිය අප්‍රසාදය පල කරමින් එයින් ඉල්ලා අස් වී ඇත. දීපචෙල්වන්ගේ කෘතීන් රඳවා ගැනීම, ”නිර්මානකරුවාගේ ප්‍රකාශනයේ නිදහසත්, පීඩිතයාගේ අයිතියත් පිලිබඳ අප සියලු කල්හි දරන මතයට” පරස්පර වන්නේයැයි ඇය සිය ෆේස්බුක් ගිනුමේ සටහන් තබා ඇත.

දැනට දින 20 කට ආසන්න වෙමින් පවතින මෙම රඳවා ගැනීම කලාවේ හා භාෂණයේ මූලික අයිතියට එරෙහි ඍජු ප්‍රහාරයක් සේ ම, දමිල විරෝධී වර්ගවාදී ප්‍රහාරයක් ලෙස ද හෙලා දකින Socialist.lk වෙබ් අඩවිය, මෙම පොත් වහා නිදහස් කරන ලෙසත්, කලා ප්‍රකාශනවලට රාජ්‍ය මැදිහත්වීම් නවතා දමන ලෙසත් තරයේ ඉල්ලා සිටී.

දමිල භාෂාවෙන් සාහිත්‍යකරනයේ යෙදෙන දීපචෙල්වන් ප්‍රදීපන් රාජ්‍ය මර්දනයට මේ මුහුන දී සිටින්නේ පලමු වරට නොවේ. 2024 වසරේ මැද භාගයේ දී ද, ඔහු විසින් රචිත නවකතාවක අන්තර්ගතය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රශ්න කර ඇත.

2020 දශකය පුරා ම ලේඛනයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව දිගින් දිගටම රාජ්‍ය මර්දනයේ ප්‍රහාර එල්ල වූයේය. ඉන් කිහිපයක් පමනක් සිහිපත් කරන්නේ නම්, කෙටිකතාවක අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් ලේඛක ශක්තික සත්කුමාර මාස 10 ක පමන කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුනු අතර, ‘නවරසම්’ නම් කවි පොත ලිවීම නිසා අත්අඩංගුවට පත් අහ්නාෆ් ජසීම් කවියා පුරා මාස 19 ක් සිරගත කර තබන ලදී. තව ද, ෆේස්බුක් සටහනක් නිසා අත්අඩංගුවට ගැනුනු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රම්සි රසීක් මාස 5 ක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තබන ලදී. ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ ඉදිරිපත් කිරීමක් නිසා අත්අඩංගුවට ගෙන සති 6 ක් ඇය රඳවා ගත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට මෑතක දී ඒ සම්බන්ධයෙන් ලිඛිතව කනගාටුව පල කිරීමට සිදු විය.

ධනපති එජාප – ශ්‍රීලපොපෙ හවුලේ පිලිවෙත් අකුරටම රකිමින් සිටින ධනපති ජාජබ ආන්ඩුව, කලාවට එරෙහි ප්‍රහාරයේ බැටනය ඔවුන් අතින් සීරුවෙන් භාර ගනිමින් වැඩට බැස සිටී. ධනපති රාජ්‍යයේ සියලු ආයතන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර මාලාව සඳහා එකෙලි කර ගැනීමට ඔවුන් කටයුතු කර ඇති අයුරු ප්‍රදීපන් සිද්ධියේ දී රාජ්‍ය යන්ත්‍රය ක්‍රියාත්මක වී ඇති ආකාරයෙන් මනාව පෙනී යයි. පලමුවෙන් රේගුව මෙම පොත් පිටපත් රඳවා ගන්නේ මොන යම් හෝ රේගු නීති උල්ලංඝනයක පදනම මත නොව, පොත්වල අන්තර්ගතය පිලිබඳ ප්‍රශ්න කරමිනි. රේගුව විසින් රඳවා ගන්නා ලද පොත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශය සඳහා යොමු කෙරුනු අතර, මේ ප්‍රශ්නය ‘විසඳීමට’ මැදිහත් වූ සංස්කෘතික ඇමති ඇතුලු සංස්කෘතික අමාත්‍යාංශය ද ඒ පිලිබඳ තීරන ගැනීම දැන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ම භාර දී ඇත.

මෙම සිද්ධියේ දී ද කලාකරුවන් සිරගත කිරීම හා ඔවුන්ගේ ප්‍රකාශනයේ අයිතියේ ගෙල සිර කිරීම ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ ප්‍රකට කලාකරුවෝ වෙති. ලේඛකයෙකු හා විචාරකයෙකු ලෙස ප්‍රකට වර්තමාන සාහිත්‍ය අනු මන්ඩල සාමාජික ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පවසා ඇත්තේ, “වෙන ආන්ඩුවක් තිබුනා නම් දීපචෙල්වන් මේ වෙනකොට හිරේ දාලා” ලෙස ය. ඔහුට අනුව ලේඛකයාට නොව ඔහුගේ පොත්වලට පමනක් විලංගු ලෑම ජාජබ ආන්ඩුවේ කරුනාව විදහා දක්වන්නකි. ලේඛක ජයතිලක කම්මැල්ලවීර “ප්‍රකාශනයේ අයිතිය නාමයෙන් ඕනෑම දෙයක් ලිවීමට නොහැකි” බව පවසමින් පාලකයාට අදහස් මර්දනය කිරීමට ඇති ‘අයිතිය’ වෙනුවෙන් පෙනී සිටියේය.

සුනිල් විජේසිරිවර්ධන

දීපචෙල්වන් ප්‍රදීපන් යුද සමයේ උතුරේ ජීවත් වූවෙකි. ඔහුගේ කලා කෘතීන්ට විෂය වී ඇත්තේ තමා අත්දුටු යුද්ධයේ කෲරත්වය හා ඒ හා බැඳුනු මානව ඛේදවාචකයයි. මේ ඊනියා විචාරකයන්ගේ අදහසට අනුව ඔහුට ඒවා තමා දුටු ආකාරයෙන් කලාත්මකව ප්‍රතිනිර්මාණය කල නොහැකිය. එනම්, ඔහු ලිවිය යුත්තේ ආන්ඩුවට අවශ්‍ය ආකාරයට ය. කලාව එහි ස්වභාවයෙන් ම මේ වර්ගයේ අණ පැනවීම් නො ඉවසන බවත්, කලාවේ ඖචිතය මැනෙන්නේ පාලකයා විසින් එය මත පටවන නීති මඟින් නො ව කලාවට ම ආවේනික ව ඓතිහාසිකව වර්ධනය වූ නීති මඟින් බවත් මේ කලා භ්‍රෂ්ඨයන් දත යුතුය.

කලාවට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව ආන්ඩුව මුදා හැර ඇති මෙම දඩයම අත්වැල් බැඳ ගන්නේ ලොව පුරා අර්බුද ග්‍රස්ත ධනපති ආන්ඩු නිදහස් අදහස් ප්‍රකාශනයට එරෙහිව උසිගන්වා ඇති දඩයම සමඟ ය. සියොන්වාදී ඊශ්‍රායල තන්ත්‍රය විසින් පලස්තීන ජනයා මත මුදා හරින ලද සමූලඝාතක ව්‍යාපාරයට එරෙහි විරෝධතා නීතිවිරෝධී ලෙස ප්‍රකාශ කිරීමට ද, විරෝධතාකරුවන් සිර අඩස්සියේ ලීමට ද ඊනියා ධනපති ‘ප්‍රජාතන්ත්‍රවාදී’ රාජ්‍ය එකක් පසුපස එකක් වශයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුපස පෙළ ගැසුනෝ ය. ගාසා තීරයේ දී මාධ්‍යවේදීන්ගේ ජීවිත සම්බන්ධයෙන් සාපරාධී නොතැකීමකින් කටයුතු කරන ලද අතර, 2025 අගෝස්තු 11 දින එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ප්‍රකාශ කලේ මාධ්‍යවේදීන් 242 ක් ඒ වනවිට මරනයට පත් වී ඇති බවයි. දෙවැනි ලෝක යුද්ධයේ සය වසර තුල මරනයට පත් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 69 දෙනෙකු පමන වන බව සැලකිල්ලට ගත් කල මාධ්‍යවේදීන්ට එරෙහි මේ අපරාධයේ පරිමානය වඩාත් පැහැදිලි වනු ඇත. ප්‍රවීන ගායක රොජර් වෝටර්ස්ගේ ප්‍රසංගවලට ජර්මනියේ දී එල්ල වූ රාජ්‍ය අවරෝධනය ද, කලාකරුවන්ගේ බොටුව සිර කිරීමට දිගු වූ මර්දන හස්තය පිලිබඳ තවත් උදාහරනයකි.

රොජර් වෝටර්ස්

ජාතික ජන බලවේගය දැන් කර ගසා සිටින්නේ මේ මර්දනයේ තම කොටස ඉටු කිරීමට ය. මේ සඳහා රාජ්‍ය තන්ත්‍රයේ සියලු ආයතනික ව්‍යුහයන් එකෙලි කර මෙහෙයවීමට එය සූදානම් ය. ජාජබය බලයට පැමිනි වහා පේරාදෙනිය සරසවියේ සසජාතශි දේශනය අවලංගු කිරීමට එහි උපකුලපති දුන් නියෝගය විසින් ද පෙන්වා දෙන ලද්දේ මෙම සූදානමයි. ජාතික ජන බලවේගයේ ආන්ඩුව විසින් යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA)හි අරමුන වන්නේ මේ වර්ගයේ රාජ්‍ය බලහත්කාරකම් වලට නෛතික ආවරනය සම්පාදනය කිරීමයි.

ඉහත පනතේ 55 වැනි වගන්තිය මඟින් පුද්ගලයන්ගේ පෞද්ගලික සන්නිවේදනයන්ට සවන් දීමටත්, ඕනෑම සන්නිවේදනයක් විකේතනය කිරීමටත් (Decryption) රජයට පුළුල් බලතල ලබා දෙයි. විශේෂයෙන්ම WhatsApp හෝ Signal වැනි කේතිත (Encrypted) සන්නිවේදන පවා අගුලු හැර තොරතුරු ලබා දෙන ලෙස සේවා සපයන ආයතනවලට හෝ අදාල පුද්ගලයන්ට නියෝග කිරීමට මෙම නීතිය සම්මත වූ පසු රජයට ඉඩකඩ සැලසේ.

ප්‍රකාශනයේ නිදහසට එල්ල වී ඇති මේ තර්ජනයට ක්ෂනිකව මුහුන දීමට කලාකරුවන්ට, ශිෂ්‍යයන්ට හා තරුනයන්ට සිදුවනු ඇත. ධනේශ්වර අර්බුදයෙන් ඍජුව ගලා එන මෙම තර්ජනයට විසඳුම් කිසිදු ධනපති පක්ෂයක් සතුව නැත. ධනේශ්වර පන්තියට මෙම තතු හමුවේ ඇති ඒකායන විසඳුම මර්දනයයි. මෙම තතුවලට එරෙහිව සටන් කිරීමේ මාවත සොයා ගත හැක්කේ, ධනපති මර්දනය සාධාරනීකරනය කරන්නා වූ ද, අදහස් ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීම සඳහා ධනපති රාජ්‍යයට ඇති ‘අයිතිය’ පිලිගන්නා වූ ද, ධනපති පන්තියේ ඒ හෝ මේ කොටසක අනුග්‍රහය අපේක්ෂා කරන්නා වූ ද සියලු සංවිධාන ප්‍රතික්ෂේප කරමින්, කලාවේ ස්වාධීනත්වය හා අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය රැකීම සඳහා ධනපති පන්තියෙන් ස්වාධීන වැඩ පිලිවෙලක් සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දුවලට එලඹෙන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම ලෙස පමනෙකි.

නන්දන නන්නෙත්ති විසිනි

එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, ඉරානය ආක්‍රමනය කිරීමෙන් මැද පෙරදිග අවුලවන ලද යුද්ධය තෙවන සතිය දක්වා ඇදී දිග්ගැසෙමින් පවතී. මෙම යුද්ධය 2003 එක්සත් ජනපදය කල ඉරාක ආක්‍රමනය මෙන් නො ව, එක එල්ලේ ම බල ශක්ති වෙත දැඩිව එල්බ ගෙන, අති නවීන අවි කලාපය පුරා ගැටෙමින්, ගැඹුරු වෙමින් පවතින ලෝක දේශපාලන ආර්ථික අර්බුදය තුලට විහිදෙයි..

මාර්තු 13 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඩලය Trump is planning a ground invasion of Iran යන ලිපියෙන්  ප්‍රකාශය පරිදි “ඉරානය රටවල් අටක ඇමරිකානු කඳවුරු සහ මිත්‍ර පාක්ෂික යටිතල පහසුකම් වලට පහර දී තිබේ. ඉරාන භූමියට ගොඩබෑමක් ඇමරිකානු කඳවුරු වලට බැලස්ටික් මිසයිල ප්‍රහාර තීව්‍ර කරනු ඇත, ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාර පුලුල් කරනු ඇත, රතු මුහුදේ නැව් ගමනාගමනයට හූති ප්‍රහාර එල්ල කරනු ඇත, සහ ගල්ෆ් අරාබි තෙල් යටිතල පහසුකම් වලට සෘජු ප්‍රහාර එල්ල කරනු ඇත, එමඟින් තෙල් මිල බැරලයකට ඩොලර් 150 හෝ 200 දක්වා ඉහළ ගොස් ලෝකය අවපාතයකට ඇද දැමිය හැකි ය. “

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යුද කඳවුරක් අසල නැංගුරම් ලූ ඇමරිකානු නෞකාවක සිට තාවකාලික ජැටිය ඔස්සේ එන එක්සත් ජනපද නාවුක භට කණ්ඩායමක්, 2020 මාර්තු 23 [[AP Photo/ජොන් ගම්බ්‍රෙල්] – උපුටා ගැනීම ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි

මෙම වාතාවරණය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල ජන ජීවිතය දරුණු අගාධයකට ඇද දැමීමට සමත් බහුමානයික අර්බුදයක ආරම්භය සනිටුහන් කර ඇත. තත්වය පාලනය නො වුවහොත්, ආර්ථික අගාධය සහ ජීවන වියදම පිලිබඳ නො විසඳිය හැකි ගැටලුවලට මහ ජනයා මුහුන දෙනු ඇත.

සිය බලශක්ති අවශ්‍යතාවෙන් 80%ක් සදහා පර්සියානු ගල්ෆ් කලාපය මත යැපෙන ඉන්දියාවේ මූල්‍ය ස්ථාවරයට යුද්ධය දැනටමත් දැඩි බල පෑමක් සිදු කර ඇත. ඉන්දියානු රුපියල මේ වනවිටත් ඩොලරයට සාපේක්ෂව  92.33 දක්වා ඉතිහාසයේ අවම මට්ටමට බාල්දු වී ඇත. මැද පෙරදිග කලාපයේ මිලියන 9ක ඉන්දියානුවෝ සේවය කරති. 2003 සමග සැසඳූ කල මෙවර ඉන්දියාව බල ශක්ති ආරක්ෂාව, ජාතික ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති යන ක්ෂේත්‍රවල දී යුද්ධයේ සෘජු බල පෑමට ගොදුරු වී ඇත. ශ්‍රී ලංකාවේ ආනයන වියදමෙන් සියයට 23ක් පමන වැය වන්නේ තෙල් සදහා ය.  දැනටමත් ලෝක වෙලඳපොලේ තෙල් මිල ඉහල යාම නිසා ජාත්‍යන්තර හා දේශීය ප්‍රවාහන හා නිෂ්පාදන වියදම් දැඩි ලෙස ඉහල ගොස් ඇත.    

මාර්තු 9 මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවේ ආන්ඩුව ඩීසල් ලීටරය රුපියල් 22න්, රුපියල් 303 දක්වා ඉහල දැමුනි. පෙට්‍රල් – ඔක්ටේන් 92- රුපියල් 24 කින් ද, භූමි තෙල් රුපියල් 13න් ද ඉහල ගියේ ය. 

ඉහත තත්වයන්ගේ සෘජු ප්‍රතිඵලය වන්නේ උග්‍ර උද්ධමනයයි. මෙය දිගු කාලීනව කම්කරුවන්ට හා පීඩිත මහජනයාට දැරීමට සිදු වේ. කර්මාන්තකරුවෝ හා වෙලෙන්දෝ  උද්ධමනයේ දී ඉහල යන මිල ගනන්, තත්වය සමනය වූ කලෙක වුව පෙර මට්ටමට පහල නො දමති. එනිසා එය දිගු කාලීනව බලපැවැත්වෙන ප්‍රශ්නයකි..

ආදායම් කඩා වැටීමේ අර්බුදය

උද්ධමනය පාලනය කිරීම උදෙසා පොලී අනුපාත වැඩි කිරීම බලාපොරොත්තු විය යුතු වන අතර එය ආයෝජන තව දුරටත් පහත හෙලනු ඇත.

අපනයන ආදායම් ද පහත වැටීමේ අනතුර පවතී. මුළු තේ අපනයනයෙන් 45% ක් පමණ යන්නේ – ඉරාකය, තුර්කිය, ඉරානය ප්‍රධාන – මැද පෙරදිගට ය. විදේශ විනිමය උපයන දෙවන මාර්ගය වන ඇඟලුම් කර්මානතය ඇතුලු සෑම කර්මාන්තයක් ම අලලා ගත් අර්බුදයකට ලංකාව මුහුන දී සිටී.

විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගය විදේශ රැකියා ය. ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන පිරිසෙන් 80%කට වඩා වැඩි පිරිසකගේ ගමනාන්තය වන්නේ මැද පෙරදිග කලාපයයි. මෙරට උපයා ගන්නා සමස්ත ප්‍රේෂණවලින් 60% – 70% ලැබෙන්නේ මැද පෙරදිගිනි. යුද්ධය හේතුවෙන් රැකියා අහිමි වී මෙරටට පැමිණෙන ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහල ගියහොත් එයින් දැනට පවතින විරැකියාව තවදුරටත් උග්‍ර වනු ඇත.

2024-2025 වාර්තා අනුව මිලියන 17 -24 අතර ප්‍රමානයක් මැද පෙරදිග කලාපයේ රැකියාවල නිරත ය. ශ්‍රී ලංකිකයෝ මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඒ අතර සිටිති.

මීට අමතරව, ගුවන් කලාප වැසී යාම හෝ අනතුරුදායක වීම සහ අස්ථාවරත්වය හා ගාස්තු පිම්මේ ඉහල යාම නිසා සංචාරක කර්මාන්තය ද ක්ෂනික පසුබෑමකට ලක්ව ඇත. ලෝක වෙලඳපොලේ, ගුවන් යානා ඉන්ධන බැරලයක මිල ඩොලර් 92.57 සිට ඩොලර් 209 දක්වා වැඩි වීම නිසා ගුවන් යානාවල ඉන්ධන සැපයීමේ මිල දැන් මෙන් දෙගුනයක් කිරීමට සිදු වන බව ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.    

මෙරට සංචාරය සදහා පැමිනෙන්නන්ගෙන් 30% පමන භාවිතා කරන්නේ ගල්ෆ් කලාපීය ගුවන් යානා ය. බොහෝ ගුවන් ගමන් මෙම කලාපය පසු කල යුතු ය. අභියෝගයට ලක්ව ඇත්තේ  ශ්‍රී ලංකාවේ තුන්වැනි තැන ගන්නා ආදායම් මාර්ගයයි.

පිට රටින් ආහාර ආනයනය අපහසු වන අතර, මිල අනිවාරයයෙන් ඉහල නැගීමට නියමිත ය. පොහොර ඇතුලු කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීමට ඇති බාධා හේතුවෙන් දේශීය ආහාර නිෂ්පාදනය අඩාල වීමේ අනතුර පවතී. ශ්‍රී ලංකාව භාවිතා කරන රසායනික පොහොරවලින් සියයට 30 එන්නේ පර්සියානු ගල්ෆ් කලාපය හරහා ය. පොහොර සදහා QR කෝඩ් භාවිතා කිරීමට සැලසුම් කරන බව කෘෂිකර්ම ඇමති ප්‍රකාශ කලේ ය.

තවමත් 22.4% සීමාවේ පවතින දරිද්‍රතාව යුද්ධය ඇදී ගියහොත් තවත් උග්‍ර වනු ඇත. මෙලෙසින් සිදු වන්නේ පවතින අර්බුදය උග්‍ර වීම ය. කිසිදු ධනපති ආන්ඩුවකට මෙම ව්‍යසනයෙන් මහජනයාට ආරක්ෂාව සම්පාදනය කල නො හැකි ය. ඒ වෙනුවට, ආන්ඩුව ධනපති ව්‍යවසායකයන් හා රාජ්‍යයයේ  පැවැත්ම උදෙසා දිවි පරදුවට තබනු ඇත.

සමාජ අසහනය සහ මර්දනකාරී පාලනය

රාජ්‍ය ව්‍යවසායන් වසා දැමීම, පුද්ගලීකරනය, සුභ සාධන කප්පාදුව, මහජනයා මත බදු බර පැටවීම ක්ෂමා විරහිත ව ක්‍රියාවට දැමීම හැර අන් මගක් ආන්ඩුවට නැත. “ජාතික ආරක්ෂාව”, “ආර්ථිකය ගොඩනැගීම”, “එක්ව ජය ගැනීම“ වැනි සටන් පාඨ ඉදිරියට දමමින් කම්කරුවන්ගේ සාමූහික ශක්තිය බිඳ දැමීමටත්, කප්පාදු වැඩ සටහන ඉදිරියට ගෙන යාමටත්, පාලක පන්තිය කටයුතු කරනු ඇත.

ජාතික ආරක්ෂාව, ආර්ථිකය ගොඩ නැගීම යනුවෙන් හඬ නගන විට පාලක පන්තිය එයින් අදහස් කරන්නේ ධනපති පන්තියේ ආරක්ෂාව හා එහි ආර්ථිකය යි. එක්ව ජය ගැනීම යනු ප්‍රෝඩාවකි. කම්කරු පන්තියේ හා ධනපති පන්තියේ අවශයතාවන් එකිනෙකට හතුරු ය. ඔවුන් යෝජනා කරන සම්මුතියේ අර්ථය සියලු පීඩනය කම්කරු පන්තිය හා සෙසු පීඩිතයන් විසින් දරා සිටිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ ආසන්නයේ ම සිටින සගයන් වන්නේ සමාන කොන්දේසිවලට මුහුන දී සිටින කෝටි සංඛ්‍යාත ඉන්දියානු කම්කරු පන්තිය ඇතුලු දකුනු ආසියානු කම්කරු පන්තියයි.

මෙම කම්කරු පන්තියට, විනාශකාරී යුද්ධය අවසන් කිරීමත්, පාලක පන්තිය විසින් එල්ල කෙරෙන ප්‍රහාර මාලාව හා පීඩනය ජය ගැනීමත් යන කරුනු දෙක ම එක ම ක්‍රියා මාර්ගයකින් සාක්ෂාත් කර ගත හැකි වන අතර එය එසේ කර ගත යුතු ය. එම ක්‍රියා මාර්ගය සමන්විත වන්නේ එලඹෙන පන්ති අරගල මාලාව යුද්ධයේ මූලය වන පන්ති පාලනය අවසන් කිරීමේ ඉලක්කයට යොමු කිරීමේ පිලිවෙතිනි.

ඉරානය ආක්‍රමනය කල හමුදා වහා ආපසු කැඳවනුයැයි සටන් වදින ලෙස එක්සත් ජනපදයේ හා ඊශ්‍රායලයේ කම්කරුවන් වෙත අපි සහෝදරාත්මකව ආයාචනා කල යුතු වෙමු. ලොව පුරා අධිරාජ්‍යවාදී හමුදා කඳවුරු ඉවත් කරන තෙක් සියලු රටවල කම්කරුවෝ තම රටවල ආන්ඩුවලට එරෙහිව සටන් වැදිය යුත්තාහ. එමෙන් ම අධිරාජ්‍යාවාදීන් සමග ඇති කර ගන්නා යුදකාමී ඊනියා ආරක්ෂක ගිවිසුම් අහෝසි කිරිම අවශ්‍යය ය. ඒකාබද්ධ  මහා වැඩ වර්ජන, ෆැක්ටරි වාඩිලි ගැනීම වැනි පන්තියේ කාර්මික ශක්තිය බලමුලු ගැනවීමේ ක්‍රියා මාර්ග සූදානම් කිරීම සඳහා කම්කරු පන්තියේ බල සංස්ථාවන් ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම මෙහි අත්‍යවශ්‍ය ක්‍රියාවකි. 

වියට්නාම යුද්ධයට එරෙහිව පැවැති තරුණයන්ගේ පෙළපාලියක්

ධනපති රාජ්‍ය එසේ ම පවතිද්දී සමාජවාදය – ඇතැම් විට කම්කරු පන්ති පාලනය පවා – පිහිටුවීමේ දවල් සිහින තුල මහජනයා නිදි කරවීමට වැඩ කරන එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් වැනි ව්‍යාජ වාම පක්ෂ හා කල්ලි, මුල් පෙලේ ධනපති පාලකයන්ටත් වඩා මෙම වැඩ පිලිවෙලින් තැති ගනු ඇත. සෑම කෙනෙකුම දන්නා පරිදි, වෘත්තීය සමිති දඬුඅඬුව කම්කරු පන්තියේ එකමුතුවට මූලික බාධාවකි.

මෙම ව්‍යාපාරවලට එරෙහි වීමෙන් තොරව මෙම අරගලය ගෙන යාම ගැන සිතන්නටවත් බැරි ය. යුද්ධයෙන් හා පීඩක ධනවාදයෙන් නිදහස් වීමේ අවශ්‍යතාව ඇති සියලු දෙනා ධනවාදයේ ආරක්ෂකයන් වන මෙම අවස්ථාවාදීන් කම්කරු ව්‍යාපාරයෙන් පිටමං කරමින් සටන සියතට ගැනීමට දැන් සිට සූදානම් විය යුතු ය.

යුද්ධය යනු යල් පැන ගිය ධනවාදය පෙරලා දැමීමට ලැබුනු අවස්ථා අප විසින් මග හරිනු ලැබීමට ඉතිහාසය ලබා දුන් දඬුවමයි. එකකට පසු එකක් ලෙස පැන නගින යුද්ධදාමය ඕනෑම මොහොතක ලෝක මහා යුද්ධයක් බවට පරිවර්තනය වීමේ හැකියාව දරයි. කල යුතු වන්නේ දැන් මේ මොහොතේ සිට ක්‍රියාත්මක වීමයි. දැන් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු.

පරාක්‍රම කුරුප්පු විසිනි

නාගසාකි න්‍යෂ්ටික පිපිරීමෙන් ජනිත බිම්මලක හැඩය ගත් වළාකුල – 1945, ඡායාරූපය අන්තර්ජාලයෙනි

2015 පෙබරවාරියේThe Bulletin of the Atomic Scientists ප්‍රකාශනයේ පළ කෙරුණු ලිපියක මාතෘකාව වූයේ; “What would happen if an 800-kiloton nuclear warhead detonated above midtown Manhattan?” (මැන්හැට්න් නගර කේන්ද්‍රයට ඉහළින් කිලෝ ටොන් 800 ක න්‍යෂ්ටික මිසයිල ශීර්ෂයක් පුපුරුවා හලහොත් කුමක් සිදුවනු ඇත්ද?) යන්නයි.

එම ලිපියේ විස්තර කෙරෙන පරිදි එවිට;

  • එහි පිපුරුම් තරංගවල හානිය උපරිම වන පරිදි සැතපුමකට මඳක් වැඩි ඉහළක අහසේ එය පුපුරා හැරියහොත්, තත්පර මිලියන දහයකින් එකක (මිලි තත්පර 0.0001 ක) කාලය තුල උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක මිලියන 200 කට (සෙල්සියස් අංශක මිලියන සියයකට) – එනම්, සූර්යයාභ්‍යන්තර උෂ්ණත්වය මෙන් 4-5 ගුණයක උෂ්ණත්වයකට – නැඟෙනු ඇත.
  • අධිතප්ත වායු ගෝලයක් නිර්මාණය වී, ආරම්භයේ දී එය පැයට සැතපුම් මිලියන ගණනක වේගයෙන් ප්‍රසාරණය වනු ඇත. එය අවට වාතය මත අධි වේගයෙන් ක්‍රියා කරන පිස්ටනයක් මෙන් ක්‍රියාත්මක වෙමින්, එකී ගිණිබෝලයේ කෙළවර දී අවට වාතය සම්පීඩනය කොට දැවැන්ත විශාලත්වයක් හා බලයක් සහිත කම්පන තරංගයක් නිර්මාණය කරනු ඇත. … 
  • ගිණි බෝලය ඊට කෙළින්ම පහළින් ඇති ව්‍යුහයන් වාෂ්ප කර දමමින්, අතිදැවැන්ත පිපුරුම් තරංගයක් හා අධිවේගී සුළං ප්‍රවාහ ඇති කර, සැතපුම් කිහිපයක් ඈතින් ඉතා ශක්තිමත්ව ඉදි කර ඇති කොන්ක්‍රීට් ව්‍යුහයන් පවා පොළොවට ම සමතලා කර දමනු ඇත. … 

පෘථිවි ගෝලය සම්බන්ධයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදය හා ඊශ්‍රායලය, යුරෝපීය අධිරාජ්‍යවාදීන් ඇතුළු එහි අනුචරයන් සතුව පවතින සැළසුම එම පරිමාණයේ විනාශයකි. ඉරාන යුද්ධය ඒ සඳහා තැබෙන ප්‍රමුඛ පියවරක් සනිටුහන් කරයි.

ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ආරම්භ කළ වත්මන් යුද්ධය හැම අතින් ම උච්ඡතම යුද අපරාධයකි. එසේ වන්නේ, එහි මුල් දිනයේ ම – පෙබ. 28 දා ම – පාසල් ළමුන් 170 කට අධික පිරිසක් ඝාතනය කරමින් ඇරඹුණු නිසා පමණක් නො වේ. එය, එක්සත් ජනපදයට තර්ජනයක් නො වූ රටකට එරෙහිව, එජ ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් සිදු කළ නිසා ද නො වේ. යුද්ධයේ දී ප්‍රහාරකයන් ඇති කළ අපමණ සාපරාධී විනාශයන් නිසා ද නොවේ. එහි උච්ඡතම සාපරාධීත්වය නිර්ණය වන්නේ එය ඉහත කී සියලු අපරාධවල උල්පත හා ඒවායේ ඓක්‍යය එකී ආරම්භය තුළ ගැබ් කර ගෙන ඇති හෙයිනි.

නාසි නායකයන්ට එරෙහිව 1945-46 නියුරම්බර්ග් නඩු විභාගයේ දී පැමිණිල්ල මෙය ඉදිරිපත් කළේ මෙසේය: එය, “සාමයට එරෙහි අපරාධයකි. – සාමයට එරෙහි අපරාධයක් යනු පරමතම ජාත්‍යන්තර අපරාධයයි. එය සෙසු යුද අපරාධවලින් වෙනස් වන්නේ සියලු ජාත්‍යන්තර අපරාධවල සමස්ත දුෂ්ඨ භාවයේ ඓක්‍යය එය තමා තුළ ගැබ් කරගන්නා නිසා ය.”  

යුද්ධය ආරම්භ කිරීමට හරියට ම සති දෙකකට පෙර – පෙබරවාරි 14 වන දින – එජ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මියුනිච් ආරක්ෂක සමුළුව ඇමතීය. ඔහුගේ කථාව වෙන් වූයේ කොල්ලකාරිත්වය හා බලහත්කාරී ආධිපත්‍යතාවයට ශිෂ්ටාචාරී මෙහෙයක ඇඳුම් ආයිත්තම් අන්දවා වෙස් ගැන්වීමට ය. කොල්ලකෑම, මර්දනය හා සමූහ ඝාතන මත ගොඩ නඟා තිබූ එකී යටත් විජිත පර්යායයේ – “මහා බටහිර අධිරාජ්‍යයන්ගේ” – පරිහානිය ගැන කම්පා වූ ඔහු, යටත් විජිත තුළ අධිරාජ්‍යවාදී කෲරකම් හා සමූලඝාතනයන් සම්බන්ධයෙන් “වරදකාරී හැඟීම් හා ලජ්ජාව” බැහැර කරන්නැයි යුරෝපයට බල කළේය. එළඹෙන දිනවල තමන්ට අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ ගැන ඔහුට මනා අවබෝධයක් පැවැති සේ ය!

ඉරානයට බෝම්බ දැමීම යනු සමස්ත මහා ජනකායකට හා ශිෂ්ඨාචාරයකට එරෙහි අපරාධයකි. ඔවුන් ටෙහෙරානය, ගෝම් හා ඉස්ෆහන් වැනි නගර ඉලක්ක කරන විට ඔවුන් ඉලක්ක කරන්නේ හුදු උපරිව්‍යුහයන් පමණක් නොවේ; ඔවුන් ඉලක්ක කරන්නේ ඓතිහාසික සමාජයක ඒකරාශී වූ බුද්ධිමය, සංස්කෘතික උරුමයන් හා සමාජ ජීවිතයයි. දශ ලක්ෂ 90 ක් සිටින ජාතියක් හුදු ඛණ්ඩාංක හා “තන්ත්‍ර මාරු කිරීමේ” සටන් පාඨවලට ලඝු කිරීමේ භාෂාව අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ භාෂාවයි.

ලොව පුරා කම්කරු පන්තිය මේ ප්‍රචණ්ඩ ආක්‍රමණයට සක්‍රිය ලෙස විරුද්ධ විය යුතුය. ප්‍රහාර වහා නැවත්වීමට ඉල්ලා සිටිය යුතුය. සමූහ ඝාතන සහ සංස්කෘතීන් මූලෝත්පාඨනය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියේ අංගෝපාංග ලෙස සාමාන්‍යයීකරණය කිරීමේ අධිරාජ්‍යවාදී ව්‍යාපාරය එකහෙළා ප්‍රතික්ෂේප කළ යුතුය. 

ඉරානය එක්සත් ජනපදයට කිසිදු තර්ජනයක් නො වූ බව ධනපති මාධ්‍ය තුළ පවා පුළුල්ව පිළි ගැනී ඇත. 2025 ජූනියේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපදය පහර දුන් දින දොළහේ යුද්ධයෙන් පසු ට්‍රම්ප් මත් නිවේදනය කළේ ඉරානයේ න්‍යෂ්ටික අවි ධාරිතාවය “සහමුලින් වනසා දැමූ” බවයි. පසුගිය පෙබ. 24 දින එජ මන්ත්‍රී මණ්ඩල දෙකේ ඒකාබද්ධ සැසිය අමතා පවත්වන ලද වාර්ෂික දේශනයේ දී ට්‍රම්ප් නැවතත් මෙය පුනරුච්ඡාරණය කළේය. දින හතරකින් ඔහුගේ මේ තක්සේරුව උඩුයටිකුරු විය. ඉරානය එක්සත් ජනපදයට “සමීපස්ථ තර්ජනයකැ”යි යන ඔහුගේ මේ නව තක්සේරුව ආරක්ෂක රහස් තොරතුරු ඒජන්සියේ (DIA) එකී තක්සේරුවට ද මුළුමනින් පටහැනි ය. DIA හි තක්සේරුව වන්නේ අන්තර් මහාද්වීපික මිසයිල ධාරිතාවයෙන් යුත් න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඉරානයට තවත් – දශක ගණනක් නො වේ නම් – අවම වශයෙන් වසර ගණනාවක් ගත වනු ඇති බවයි.

එසේ නම් මේ යුද උමතුවට හේතුව කුමක් ද?

2020 ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජය ලැබීමෙන් පසුව ඇති වූ ආණ්ඩු විරෝධී ෆැසිස්ට් කැරැල්ල සම්බන්ධ නඩුවේ ප්‍රධාන චුදිතයෙකු වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

රාජ්‍ය විරෝධී ෆැසිස්ට් කැරලි නායකයෙකුට ජනාධිපති ධුරයට නැඟ ගැනීමට අරමුදල් හා ආධාර දුන්නේ එක්සත් ජනපද කතිපයාධිකාරයයි. එනම්, ලෝක සම්පත්වලින් ඉතා වැඩි කොටසකට හිමිකම් කියන ප්‍රකෝටිපතීන්ගේ ස්ථරයයි. අංක 1 බිලියනපතියා වන එලන් මස්ක් ඇතුළුව, අවම වශයෙන් බිලියනපතියන් 13 දෙනෙකු ට්‍රම්ප් ආණ්ඩුවේ ප්‍රමුඛ තනතුරු සඳහා යෝජනා වූ අතර, හොවාර්ඩ් ලුට්නික්, ලින්ඩා මැක්මහොන්, ස්කොට් බෙසන්ට්, වොරන් ස්ටෙෆන්ස් හා ටොම් බරක් යන ප්‍රකෝටිපතියෝ ප්‍රධාන තනතුරු දරමින් සිටිති.

අශිෂ්ඨ අසමානතාවයක ප්‍රතිලාභීන් වන මේ කතිපයාධිකාරයේ ඉහළ ම ආදායම්ලාභී සියයට 10 පෘථිවි ගෝලයේ සම්පත්වලින් සියයට 74 ක අයිතිය දරන අතර, ලෝක වාසීන්ගේ පහළ ආදායම්ලාභී සියයට 50 සතුව ඇත්තේ සම්පත්වලින් සියයට 2 ක ප්‍රතිශතයකි. මේ යුද්ධය බැඳී ඇත්තේ, අධි අසමානතාවයකින් යුතුව පෘථිවි ගෝලයේ සම්පත් භුක්ති විඳින මෙම ඉහළ ම ප්‍රකෝටිපතීන් ස්ථරයේ දඩයක්කාරී ආධිපත්‍යයික අරමුණු සමඟ ය.  

උපුටා ගැනීම – World Inequality Report, 2026 Executive Summary

මෙය ඔවුන්ගේ – ප්‍රකෝටිපතින්ගේ – ආණ්ඩුවයි. එම ආධිපත්‍යයික උමතුව ඔවුන්ගේ – ඔවුන්ගේ පන්තියේ – උමතුවයි.

ඉරානයට පමණක් නොව ඉරාකය, සිරියාව, රුසියාව අළලා ගත් යුද්ධ දශක ගණනාවක් පුරා සැලසුම් කර සූදානම් කළ ඒවාය. ඇමරිකානු පරිපාලනයේ ට්‍රම්ප් විරෝධීන් එල්ල කරන එකම චෝදනාව වන්නේ නිසි කල් නො බලා එය එල්ල කළ බව පමණෙකි.

මන්ත්‍රණ සභා රහස් තොරතුරු කමිටුවේ සාමාජික ඩිමොක්‍රටික් මන්ත්‍රී ජිම් හයිම්ස් පැවසූ පරිදි, “මැද පෙරදිග තවත් යුද්ධයක් දියත් කිරීමට නිසි මොහොත මෙයයැයි කියා සිටීමට දිය හැකි එකම හොඳ හේතුවක්වත් අපට අසන්නට ලැබී නැත.”    

පසුගිය පෙබරවාරි 19 වන දින – එනම්, වත්මන් යුද්ධයට දින 9 කට පෙර – හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙසේ ප්‍රකාශ කළේය: “එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අරමුණු – එනම්, ග්‍රහ ලෝකයේ ආධිපත්‍යය – සාමකාමීව සාක්ෂාත් කළ හැක්කක් නො වේ. එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, ඉරානයට එරෙහි යුද්ධය යනු, චීනයට එරෙහිව ඉදිරියේ එළඹෙන ගැටුම සූදානම් කිරීමෙහි ලා අත්‍යවශ්‍ය අදියරකි.”

මේ යුද්ධයේ කේන්ද්‍රීය අභිප්‍රායය වන්නේ තමන්ගෙන් ගිලිහෙමින් පවතින ලෝක ආධිපත්‍යය ප්‍රතිස්ථාපනය කිරීමයි. ඉරාන ආක්‍රමණය එහි ප්‍රධාන පියවරකි. එහි හදිසිතම අරමුණ නම්, ඉරානයේ ඛනිජ තෙල් සම්පත් කොල්ල කෑමයි. ලෝකයේ සනාථ කරන ලද ඛනිජ තෙල් සම්පත් අතර විශාලත්වයෙන් සිව්වැන්න ඉරානය සතු ය. ස්වභාවික වායු සම්පත්වලින් විශාලත්වයෙන් දෙවැන්න හිමි වන්නේ ද ඉරානයට ය. තව ද එය, ලෝකයේ බලශක්ති පද්ධතීන්ගේ ගෙල සිර කළ හැකි, වැඩි ම මූලෝපායික වැදගත්කමකින් යුතු පටු සමුද්‍රතීර අතරෙහි ලා සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ උතුරුදිග වෙරළ තීරය පාලනය කරයි. මෙම සම්පත් පාලනයට ගැනීම සහ, ඊටත් වඩා, විරුද්ධවාදීන්ට ඒවා කරා ප්‍රවිශ්ටය අහිමි කිරීමේ හැකියාව, මැද පෙරදිග කලාපය පිළිබඳව දශක හතකට ද වඩා කාලයක් පුරා පැවැති එක්සත් ජනපද පිළිවෙතේ මූලිකතම අරමුණක් විය. මෙය අවුරුදු හැත්තෑවකට වැඩි කාලයක ඇමරිකානු අධිරාජ්‍යවාදී සැලසුම් ක්‍රියාවට නැංවීමකි. ඉරානය විසින් මෑතක කලැයි කියනු ලබන ඒ හෝ මේ ක්‍රියාවන් මීට කිසිදු සම්බන්ධයක් නැති බව පැහැදිළි ය.   

යුද්ධයේ වඩාත් පුළුල් අරමුණ වටහා ගත හැක්කේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩාත් පුළුල් ගමන් පථය සැලකිල්ලට ගැනීමෙන් පමණෙකි. වෙනිසියුලානු තෙල් අල්ලා ගැනීම හා ඉරානයට පහර දීම පවතින්නේ එකම මූලෝපායක කොටස් ලෙස ය: චීනය සමඟ යුද ගැටුමකට එළඹීම සඳහා සූදානම් වීම් වස් චීනයේ ස්වාධීන කර්මාන්ත පදනමේ ගෙල සිර කිරීම එහි අරමුනයි. චීනයේ ඉහළ තාක්ෂණික නිෂ්පාදන අඩපණ කිරීම සඳහා ඒවාට අවශ්‍ය සැපයුම් අවහිර කිරීමට පසුගිය වසරවල ක්‍රියා කළ එක්සත් ජනපදය චීනයේ ජංගම දුරකථන වෙළඳපොල කඩාකප්පල් කළේය. මේ අවහිර කිරීම් තිබියදී ම චීනයට පසුගිය වසරවල වාර්තාගත වෙළඳ අතිරික්තයක් හිමි වී ඇත. මෙය චීනයේ ආර්ථික පදනමට මාරාන්තික පහරක් එල්ල කිරීම සඳහා එජ අධිරාජ්‍යවාදයේ ප්‍රයත්නය තීව්‍ර කිරීමට හේතුභූත වී ඇත. මෙම ආක්‍රමණය, සිය දෛනික දේශීය පාරිභෝජන අවශ්‍යතාවයෙන් සියයට 70 කට වඩා ආනයනය කරන චීනයේ සැපයුම් කඩාකප්පල් කිරීමට දරන උත්සාහයේ කොටසකි. ඉරානය චීනයේ බලශක්ති ආනයනවලින් සියයට 10 කට වඩා සපයන සැපයුම්කරුවා ය. එම සැපයුම් අහිමි වීම චීනයේ කාර්මික පදනමට වදින මාරක පහරක් වනු ඇත.

එක්සත් ජනපදයේ මෙම වියරුවට ඉලක්ක වී ඇත්තේ ඉරානය, චීනය, රුසියාව, කියුබාව වැනි රාජ්‍ය පමණක් නොවේ. එය සිය අනුචරයන් වන කැනඩාව, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය හා යුරෝපා රටවල් වෙත ද එහි තර්ජනය එල්ල වූයේය.

ජනමත විචාරවලින් පෙනී යන පරිදි, මෙම ප්‍රහාරය එක්සත් ජනපදයේ ජනයා අතර දිනපතා වැඩෙන විරෝධයට ලක් වී ඇත.

මෙම යුද්ධය ලොව පුරා සියලු කම්කරුවන්ට හා පීඩිතයන්ට මාරක ප්‍රතිවිපාක දැනවීමට නියමිතය. තාප න්‍යෂ්ටික යුද්ධයක සමීපස්ථ අන්තරායයට අතිරේක ව වත්මන් යුද්ධයේ ඍජු ප්‍රතිවිපාක ලෙස පැන නැඟීමට නියමිත ඉන්ධන හිඟයට, මිළ උද්ධමනයට, කර්මාන්ත බිඳ වැටීමේ ප්‍රතිඵල ලෙස ඇති කෙරෙන රැකියා හිඟයට, සමස්ත ලෝකයේ ම කම්කරුවන්ට හා දුගීන්ට වහා මුහුණ දීමට සිදු වනු ඇත. යුද්ධයේ බර කම්කරු පීඩිතයන්ගේ කර මත පැටවීම හැර අන් විකල්පයක් මේ ධනපතියන් සතුව නැත. කම්කරු පීඩිතයන්ට මේ යුද්ධයට විරුද්ධ වීමට සියලු හේතු ඇත.

එක්සත් ජනපදයේ තන්ත්‍ර මාරුවකින් මෙම අන්තරායය වැලැක්විය හැකියැයි සිතන්නෝ වෙති. රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ ද, බර්නි සැන්ඩර්ස්, සොහ්රාන් මම්දානි හා ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ කෝර්ටෙස්(z) ඇතුළු DSA (ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්) ද මෙම යුද්ධයේ වැඩ බෙදා ගත් හවුල්කරුවෝ වෙති. කම්කරු පන්තිය මත DSA දේශපාලන බලපෑම ක්‍රියාත්මක වන්නේ යුද විරෝධී මනෝභාවයන් කැබැලිවලට බෙදා ස්ථානීය විරෝධයන් තුළ සිර කිරීම ලෙසයි, මහජන කෝපය පෙත්සම් ව්‍යාපාරවලට, කොන්ග්‍රස් උපාමාරුවලට හා මැතිවරණ ආයාචනාවලට කොටු කර ඒවා අධිරාජ්‍යවාදයේ ද්‍රව්‍යමය පදනමට අනතුරක් නොවන තැනට ඇල් මරා දීමට කටයුතු කරන ඔවුහු, යුද්ධය සැබවින් ම නැවැත්විය හැකි ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පැන නැඟීම, වර්ජන ව්‍යාපාර, වරාය අවරෝධනයන් වැනි සැබෑ කම්කරු පන්ති මැදිහත්වීම්වලින් පාලක පන්තිය බේරා ගැනීම සිය කාර්යභාරය කර ගෙන සිටිති.

ලොව පුරා කම්කරු පන්තිය මේ ධනපති යුද්ධය විසින් ජනනය කෙරෙන බරට කර ගැසීම ප්‍රතික්ෂේප කළ යුතුය. යුද්ධය නිසා ඉහළ යන ප්‍රවාහන හා බලශක්ති පිරිවැය කම්කරුවන්ගේ කර මත තැබීමට ධනපතියන්ට මොන ම අයිතියක් හෝ නැත. ඊට ඉඩ දිය යුතු නැත. යුද්ධය විසින් ජනිත අර්බුද මධ්‍යයේ අධ්‍යාපන සෞඛ්‍ය සේවාවලට අත තැබීමට ධනපති ආණ්ඩුවලට ඉඩ දිය යුතු නැත. යුද්ධය හමුවේ ‘ජාතික’ දුෂ්කරතාවලට කර ගැසීමට කම්කරුවන්ට කියා සිටීමේ කිසිදු අයිතියක් ධනපති ආණ්ඩුවට නැත. මෙම යුද්ධයේ කවර හෝ ‘ජාතික’ ප්‍රතිලාභයක් වේවා, අලාභයක් වේවා, ඒ දෙක ම පාවිච්චි කෙරෙනු ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව ය. මේ සම්බන්ධ ආස්ථානයක් ගැනීම හා ඊට එරෙහිව ස්වාධීන ව සංවිධානය වීම ලෝක කම්කරු පන්තියේ හා පීඩිතයන්ගේ වගකීමක් හා අවශ්‍යතාවයක් වේ. 

වත්මන් යුද්ධයට එරෙහි විරෝධතා

කම්කරුවන් මෙම යුද්ධය වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. යුද්ධය වහා නවත්වන ලෙස ඉල්ලා සිටිමින් කම්හල්, වැඩබිම්, පාසල් හා නිවහන් ප්‍රදේශවල රැස්වීම්, පා ගමන් හා උද්ඝෝෂණ සංවිධානය කළ යුතුය. ගාසා ජනඝාතනය වහා නැවැත්වීමට ඉල්ලා සිටිය යුතුය. දරුවන් හා නිරායුධ මිනිසුන් ඝාතනය කරන, ඔවුන්ට ආහාර හා ජලය අවහිර කර මරා දමන සියලු යුද අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට සටන් වැදිය යුතුය. ඒ සඳහා කම්කරුවන්ගේ ස්වාධීන යුද විරෝධී සංවිධාන ගොඩ නඟා ගත යුතුය. මෙම අරගලයට සෙසු පීඩිතයන්ගේ සහාය ගොනු කර ගත යුතුය.

මෙය, යුද්ධය වැළක්වීමේ සැබෑ ධාරිතාවය සහිත පන්තිය වන කම්කරු පන්තිය කරලියට කැඳවීමේ හා ඔවුන්ගේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් වැදීමේ ප්‍රථම පියවර වනු ඇත. ලෝක තාප න්‍යෂ්ටික යුද්ධයක විනාශයේ තර්ජනයට මුහුණ දිය හැකි එකම ප්‍රායෝගික ක්‍රමය වන්නේ මෙයයි.

ආශ්‍රිත ලිපි:

ඉරානයට එරෙහිව එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ ෆැසිස්ට්වාදී යුද උන්මත්තකයන් කල්ලිය සහ ජනඝාතක ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය හවුලේ එල්ල කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්ගේ උක්ත මැයෙන් පළ වූ ප්‍රකාශය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල පිටුවෙන් උපුටා පහත පළ කරමු.

ලෝකයම තාප න්‍යෂ්ටික යුද්ධයක අන්තරායයේ මුවවිට හමුවන ගෙන එන මෙම සාපරාධී ප්‍රහාරය සම්බන්ධයෙන් නෝර්ත් සහෝදරයා ඉතා සංක්ෂිප්ත ලෙස හා ව්‍යක්ත ලෙස ලියා ඇති මෙම ප්‍රකාශය පිළිබඳ සමීප සාවධානය යොමු කරන මෙන් අපේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ යුද-උම්මත්තක කල්ලියේ නියෝගයෙන් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය දැවැන්ත දේශපාලන අපරාධයකි. එය ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී වන අතර එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කිරීමකි. එක්සත් ජනපදයට පහර දී නොමැති සහ එයට කිසිදු තර්ජනයක් එල්ල නොකරන රටකට එරෙහිව, ජන සංහාරක ඊශ්‍රායල තන්ත්‍රය සමඟ සහයෝගයෙන්, කොංග්‍රසයේ අවසරයක් පවා නොමැතිව, එය දියත් කර ඇත.

මෙම සාපරාධී ප්‍රහාරයේ පලමු පැය කිහිපය තුල, දකුනු ඉරානයේ මිනාබ් හි බාලිකා පාසලකට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් සිසුන් 24 දෙනෙක් මිය ගියහ. ඉදිරි දිනවලදී කී දහසක්, කී දස දහසක් සහ කී ලක්ෂයක් මිය යනු ඇත්ද?

දින හතරකට පෙර, ට්‍රම්ප්, එක්සත් ජනපදයේ තත්වය පිලිබඳ දේශනය පැවැත්වීමට කොංග්‍රසය සහ ඇමරිකානු ජනතාව ඉදිරියේ පෙනී සිටියේය. යුද්ධය දියත් කිරීමට ඔහු පැහැදිලිවම තීරනය කර තිබුනද, ඔහු තම තීරනය සඟවා ගත් අතර ඔහුගේ පැය දෙකක ඝෝෂාව අතරතුර ඉරානය ගැන යන්තම් සඳහන් කලේය.

බේස්බෝල් කැප් තොප්පිය පැලඳ සිටිමින් ට්‍රම්ප්, මධ්‍යම රාත්‍රියේ තම තීරනය ප්‍රකාශ කලේ බොහෝ ඇමරිකානුවන් නිදා සිටියදීය. ඔහු එක්සත් ජනපදය සහ මුලු ලෝකය ම විනාශකාරී මාවතකට යොමු කර ඇත. මෙම යුද්ධය ඇමරිකානු සමාජයේ අභ්‍යන්තර සමාජ අර්බුදය විසඳන්නේ නැත, එක්සත් ජනපද ධනවාදයේ ගෝලීය තත්ත්වයෙහි දිග්ගැස්සුනු පිරිහීම ආපසු හරවන්නේ නැත.

සියලු දේශීය හා ජාත්‍යන්තර ප්‍රතිවිරෝධතා තීව්‍ර වනු ඇත. යුද්ධයමත් අනිවාර්යයෙන්ම උත්සන්න වී මුලු ග්‍රහලෝකයම ගිල ගනු ඇත.

ඉරානයට එරෙහි ප්‍රහාරය, 1945-46 දී නාසි නායකයින්ට එරෙහි නියුරම්බර්ග් නඩු විභාගවලදී “සාමයට එරෙහි අපරාධයක්” ලෙස විස්තර කරන ලද දෙයට හරියට ම සමාන බව කිසිදු මාධ්‍ය ප්‍රචාරනයකට සැඟවිය නොහැක.

අනාගතයේ දී, ඉතිහාසඥයින් 2026 පෙබරවාරි 28 වන දින ට්‍රම්ප් ඉරානයට එල්ල කල ප්‍රහාරය, 1939 සැප්තැම්බර් 1 වන දින හිට්ලර්ගේ පෝලන්තය ආක්‍රමනය කිරීම සමඟ සංසන්දනය කරනු ඇත. ඒවා සමාන පරිමානයේ අපරාධ වේ.

සමාජවාදී සමානතා පක්ෂය ඉරානයට එල්ල කරන ලේ වැකි ප්‍රහාරය වහාම නතර කරන ලෙස බලකර සිටී.

මූල්‍ය-සංගත කතිපයාධිකාරයේ අවශ්‍යතා සඳහා දියත් කර ඇති මෙම යුද්ධයට කම්කරු පන්තිය සහ තරුනයින් සහ සියලු ප්‍රගතිශීලී සහ යහපත් ජනතාව විරුද්ධ විය යුතු ය.

මෙම සාපරාධී යුද්ධය දියත් කොට ඇත්තේ, ඇමරිකානු නගර සහ අසල්වැසි ප්‍රදේශ භීතියට පත් කිරීම සඳහා සංක්‍රමන සහ රේගු බලාධිකාරියේ (ICE) නියෝජිතයන් යොදවා ඇති සහ අයිතිවාසිකම් පනත උල්ලංඝනය කරන පරිපාලනයම ය; එම ආන්ඩුවම ය. 

මෙම යුද්ධය වහාම අවසන් කරන ලෙස ඉල්ලා ඔබේ කම්හල්වල, වැඩපොලවල, පාසල් සහ අසල්වැසි ප්‍රදේශවල රැස්වීම් කැඳවන්න.

ඇමරිකානු ජනතාව මෙම යුද්ධයට විරුද්ධ බවත් එහි කොටස්කරුවන් වීමට අවශ්‍ය නොවන බවත් ලෝකය දැනගත යුතුය.

ස්ථාවරයක් ගන්න. ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලස්වන්න.

Scroll to Top