අව්‍යාජ කම්කරු පාන්තික සටන්කාමියා

අඩ සියවසක් පුරා සප්‍රතිපත්තික අරගලයක වාර්තාවක් දරන ආර්. අමරතුංග සහෝදරයා අද සිය 83 වන ජන්ම දිනය සමරයි. පන්ති විඥානයෙන් යුතු කම්කරුවෙකු සතු අප්‍රතිහත ධෛර්යය සහ විප්ලවවාදී ජීව ගුණය පිලිබඳ ජීවමාන උදාහරනයක් වන අමරතුංග සහෝදරයාගේ ජීවිතය තරුන විප්ලවවාදීන්ට මනා ආදර්ශයකැයි හැඟී යන හෙයින්, ඔහුගේ 80 වන උපන් දිනය වෙනුවෙන් නන්දන නන්නෙත්ති සහෝදරයා ලියූ සටහන යලි මෙහි උපුටා පළ කරමු. මුල් ලිපිය 2023 අප්‍රේල් 28 වන දින thesocialist.lk වෙබ් අඩවියේ පළ විය.

නන්දන නන්නෙත්ති විසිනි

ආර්. අමරතුංග සහෝදරයා

ප්‍රතිපත්ති හා මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඉන්ද්‍රඛීලයක් වන් කම්කරුවෙක්, මනස්කාන්ත මිනිසෙක්, අව්‍යාජ විප්ලවවාදියෙක්, ආදරවන්තයෙක්, ලෙන්ගතු මිත්‍රයෙක් යන සෑම භූමිකාවකම තමන් දන්නා කියන හැමගේ හද දිනූ අමරතුංග සහෝදරයා නව පරම්පරාවන්ට ජිවිතය කියා දීම සඳහා වටනා මොඩලයකැයි අපට සිතේ.

අමරතුංග සහෝදරයාගේ ජීවිතය හා ආත්මය, සමාජවාදය පිලිබඳ ඔහුගේ අවබෝධය සහ වගකීමේ ස්වභාවය ගැන වැටහීමකින් තොර ව පරිපූර්න ලෙස දැනගනු නො හැකි ය. 1990 අවුරුද්දේ සිට මේ දක්වාත් හෘද රෝගියකුව ප්‍රතිකාර ගන්නා ඔහු තම වෛද්‍යවරයාගේ ප්‍රශ්නයකට දුන් පිලිතුර ඊට එක් නිදසුනකි.

වි‌ශේෂඥ වෛද්‍ය මදුරාවේ වරක් ඔහුගෙන් මෙසේ අසයි. “ඔබ මෙහි පැමිනි කාලයේ ම ප්‍රතිකාර ගැනීමට පැමිනි අය අතරින් කී දෙනෙක් දැන් මේ පෝලිමේ සිටිනවා ද?”

“එක්කෙනෙක්වත් නැහැ” යනු අමරතුංගගේ පිලිතුරයි.

” ඒ ඇයි?” වෛද්‍යවරයා අසන්නේ ය.

“මම සමාජවාදියෙක්. මට ඉදිරි දර්ශනයක් තියෙනවා,”යැයි අමරතුංග පවසන්නේ සෙසු රෝගීන් මෙන් නොව තමන් අනාගතය වෙනුවෙන් දැනුවත්ව ජීවත් වන නිසා, අසීරු තත්වයන් ජය ගැනීමේ අන් රෝගීන්ට නැති හැකියාවක් තමන්ට ඇති බව ය.

සැතපුම් ගනන් දුර ඇවිදිමින් අප සමග හරි හරියට දේශපාලන වැඩවල යෙදුන අමරතුංග පසු බැස්සවීමට තරම් රෝගය සමත් නො වීය. වැඩිම වුනොත් “පොඩ්ඩක් ඉන්න සහෝදරයා” කියා පෙත්ත දිව යට තබාගෙන ටික වෙලාවක් මඳවේගී වීම හැර බාධාවක් ඔහුට නො වී ය.

මෙම ක්‍ෂමා විරහිත පන්ති සටන්කරුවා 1943 අප්‍රේල් 26දා හික්කඩුවේ දී උපත ලැබී ය. තොටගමුව විජයබා විද්‍යාලයේ 6 වන පන්තිය දක්වා පමනක් උගත් ඔහු 17 විය සම්පූර්න වීමටත් පෙර, එනම් 1959 දී බෝගලට ගොස් පතල් කම්කරුවෙකු ලෙස ජීවනෝපාය ද, ජීවිත අධ්‍යයනය ද ආරම්භ කලේ ය. පසුව තමන් සරන පාවා ගත් ඉතා ආදරනීය බිරිඳ දයා සහෝදරිය සමග පුතුන් 4 දෙනෙකු හදා වඩා ගත්තේ ය.

කතෝනිස් බාස් නම් පුද්ගලයෙකු විසින් අත්පත් කර ගන්නා ලද බෝගල මිනිරන් කැනීම 1887 න් පසු කැපී පෙනෙන ධනපති කර්මාන්තයක් ලෙස ඉහලට එසැවෙන්නේ කතෝනිස්ගේ උගත් දරුවන්ගේ මෙහෙයවීම යටතේ ය. මෙම කර්මාන්තය පීඩිත කම්කරුවන්ගේ ජීවිතය කෙතෙක් උරා බී වැඩුනේද යත්, මේ පතල මුහුදු මට්ටමට ද වඩා ගැඹුරට කනින ලදී. එහි සම්පූර්න ගැඹුර මීටර් 275කි. අමරතුංග ජීවිතයේ ගැඹුර ක්‍රමානුකූලව සොයා ගනිමින් සිටියේ ය.

1972 දී එවකට පැවති ලංකා සමසමාජ පක්ෂය (ලසසප), කොමියුනිස්ට් පක්ෂය (කොප) සහභාගී වූ සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුව බෝගල පතල ද ධනපතියන්ට වන්දි ගෙවා ‘ජනසතු’ කලේ ය. ඉහත නම් සදහන් පක්ෂ දෙක ම මේ ‘ජනසතුව’ හැදින් වූයේ ධනපති විරෝධී හා සමාජවාදය කරා ප්‍රගතිශීලි ධනපතියන් ය යි ඔවුන් විසින් හැදින් වූ ධනපතියන් සමග එක්ව පියවර තැබීමක් ලෙස ය.

එවක අමරතුංග ඇතුලු බෝගල පතල් කම්කරුවෝ සමසමාජ පක්ෂයට අයත් වෘත්තීය සමිතියේ සාමාජිකයෝ වූහ. ජනසතුවෙන් දෙවසරක් ගිය තැන 1974 වසරේ පරිපාලනය හා වෘත්තීය සමිති නායකත්වය අමරතුංග සහෝදරයාගේ රැකියාව අහිමි කලහ. සමිති නායකයන් හාම්පුතුන් සමග එක්ව සාද පැවැත්වීම ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබීම ඊට තුඩු දුන් හේතුවයි. එවකට අපගේ සහෝදරයා මුරකරුවෙකු ලෙස රැකියාව කරමින් සිටි අතර කුමන්ත්‍රනකරුවෝ ඔහුගේ ආරක්ෂාව යටතේ තිබූ උපකරනයක් අතුරදහන් කර ඒ අනුව ඔහු රැකියාවෙන් නෙරපූහ. වෘත්තීය සමිති නායකයෝ, තමන් මෙම කුමන්ත්‍රනයේ හවුල්කරුවන් නො වන සේ පෙනී සිටි නමුත්, පැමිනිල්ලක් දැමීමට නියමිත කාලයට එක් දිනක් පසුවන තෙක් බලා සිට කම්කරු උසාවියට පැමිනිලි කිරීම මගින් නීතිමය රැකවරන සදහා උත්සාහ කිරීමට ඇති අවස්ථාවද ඔහුට අහිමි කලහ.

අමරතුංග සිය දරු පවුල සමග පෙරලා හික්කඩුවට පැමින කුලී වැඩ කරමින් ජීවිතයට මුහුන දුනි. 1976 රංගල්ල පාලම අසල කරදිය බාධක වේලි බැදීමට සහභාගී වූ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට මුන ගැසේ. සාකච්ඡා වට කිහිපයකින් පසු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ආරම්භ කල ඔහුගේ අකලංක විප්ලවවාදී දේශපාලන ජීවිතය නො මැකෙන සටහන් තැබූ එකකි.

මෙම කම්කරුවා බඳවා ගැනීමේ සාකච්ඡා කීපයක් සිදු කිරීමට එවක පක්ෂයේ නව යොවුන් සාමාජිකයෙකුව සිටි මෙම ලිපියේ ලේඛකයාට ද අවස්ථාව ලැබුනේ ය යන්න ඉමහත් සන්තුෂ්ඨියකි. එතැන් සිට අමරතුංග, දැන් සමාජවාදී සමානතා පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වන රත්නසිරි මලලගම විසින් කුමන්ත්‍රනකාරී ලෙස පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සැලසුම් කරනු ලබන තෙක් කිසිදු බාධාවකින් නො සෙල්වී පක්ෂයත් එහි ඉදිරි දර්ශනයත් ආරක්ෂා කරමින් සටන් වැදුනේ ය.

අමරතුංග පක්ෂයට බැඳීම, ජාත්‍යතර කම්කරු පන්තිය තලා දැමීම සදහා ක්‍රියාත්මක වූ දක්ෂිනංශික ව්‍යාපාරයට එරෙහිව සිදු වූවකි. 1971 බ්‍රෙටන්වුඩ් සම්මුතිය බිඳ දමමින් ප්‍රකාශයට පත් ලෝක ධනේශ්වර අර්බුදය පන්ති අරගලය උත්සන්න කලේ ය. වෘත්තිය සමිති හා කම්කරු පන්තියේ නමින් පෙනී සිටි පක්ෂවල පාවාදීම මත හිස එසවූ පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහි සම්මුති විරහිත ප්‍රහාරයක් දියත් කලේ ය. බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්ගේ සිට මෙරට ජේ. ආර් ජයවර්ධන දක්වා අන්ත දක්ෂිනාංශික ආන්ඩු, කම්කරු පන්තිය පූර්න ලෙස යටත් කිරීමට වැඩ ආරම්භ කලේ ය. අමරතුංග කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය පිලිගනිමින් ඒ වෙනුවෙන් ජීවිතයම කැප කිරීම තෝරා ගන්නේ මෙවන් පසුබිමක ය.

මෙම කම්කරුවා, සමසමාජකාරයන්ගේ කුමන්ත්‍රනයට ගොදුරු වූවා සේම සමසමාජයේ මහා පාවා දීමට එරෙහිව සටනක් කොට ගොඩ නැගූ සමාජවාදී සමානතා පක්ෂය (එකල විකොස) තුල වැඩී ඇති, මුලධර්ම විරෝධී, අවස්ථාවාදී උමතු කල්ලියේ ගොදුරක් වීම නාටකාකාර දේශපාලන ප්‍රකාශනයකි.

මීට වසර කිහිපයකට පෙර හික්කඩුව කලුපෙ ගම්මානයේ ලදරු පාසැලක පැවැත් වූ උත්සවයක පොල් තෙල් පහන දැල්වීමට අමරතුංගට ආරාධනා කරන ලදී. ගම්වැසියන් ඒ තරමටම මේ කම්කරුවාට ගරු කලේ ය, ආදරය කලේ ය, අවංක නායකයෙකු ලෙස පිලිගත්තේ ය.

එහෙත් අමරතුංග ඉතා ලෙන්ගතුව ආරාධනය ප්‍රතික්ෂේප කලේ ය. එම විවෘත කිරිමට පාලක පක්ෂයේ අතුකෝරාල නමැත්තා ද සහභාගී විම නිසා ය, අමරතුංග දෙවරක් නො සිතා එය ප්‍රතික්ෂේප කලේ. ධනපති නියෝජිතයන් සමග කම්කරු පන්තියට ගනුදෙනුවක් නැති බව ඔහු තම හිතවතුන්ට පෙන්වා දුන්නේ ය.

ප්‍රතිපත්ති සම්බන්ධ මේ දෘඩභාවය විප්ලවවාදියෙක් වුවත් කම්කරු පන්තිකයෙකු ලෙස තමන් හරියට ම ස්ථානගත කරගැනීමට අසමත් මධ්‍යම පන්තිකයෙකුට නැත. විකොස මධ්‍යම කාරක සභිකයෙකුව සිටින අතර ම මහාචාර්ය සුචරිත ගම්ලත්, එවක 60,000ක් ගම්බද තරුනයන් ඝාතනය කල යුඑන්පී ආන්ඩුවේ ඇමතියෙකු සමග 1990 දී වේදිකාරූඪ විම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි ය.

අමරතුංග ආරාධනය ප්‍රතික්ෂේප කල දිනවලම මෙහි සඳහන් රත්නසිරි මලලගම, පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස සිටින අතර ම, සිය බිරිඳගේ ලදරු පාසැලේ විවිධ ප්‍රසංගයේ දී ආරධනා කර ගෙන්වා ගත් අතුකෝරල නමැති, අමරතුංග විසින් ප්‍රතික්ෂේප කරන ලද, පොදු පෙරමුනේ මන්ත්‍රී සමග එකට සිට පහන් දැල්වීම් යනාදිය සිදු කලේ ය. අමරතුංග ඇතුලු සාමාජිකයන් ඊට විරුද්ධ වූ විට රත්නසිරි සොයා බැලුවේ කැමරා ශිල්පියා ‍”එඩිට්” නො කර වීඩියෝව පිට කිරීම ගැන මිස සිය දේශපාලන නිවටකම කුමකින් පැන නැංගේ ද යන්න නො වේ.

විප්ලවවාදී පක්ෂය තුල මධ්‍යම පන්තික ප්‍රවනතා මතු වීම අරුමයක්වත් අසාමාන්‍ය දෙයක්වත් නො වේ. පක්ෂය ගොඩ නගන්නේ ප්‍රවනතා අතර දේශපාලන ගැටුම් තුලිනි. පක්ෂය පවතින මෙබදු ප්‍රවනතා හඳුනා ගැනීමේ දී අමරතුංග සහෝදරයාගේ දේශපාලන ජීවිතයෙන් ගත හැකි පාඩම් බොහෝ ය.

1988-89 විකොස සාමාජිකයින් තිදෙනෙක් ජවිපෙ ඝාතකයන් විසින් බිලි ගනු ලැබුනාහ. මේ අතර කිහිප වතාවක් ම ඝාතකයෝ මෙම ලියුමකරුගේ නිවස ද වට කල හ. පැරනි සාමාජිකයෙකු වූ සෝමරත්න කොඩිකාර සහෝදරයාට ද මරන තර්ජන එල්ල වී තිබිනි. පක්ෂය ජවිපෙ ක්‍රියාව හෙලිදරව් කරමින් කම්කරු පන්ති පිලිවෙත පැහැදිලි කල ලිපියක් මහජනයා අතර බෙදා හැරීම සඳහා අම්බලන්ගොඩ ශාඛාවට එවන ලදී. අම්බලන්ගොඩ ලෝකලයේ සාමාජික රත්නසිරි එදා අතුරුදන් වූ පසු නැවත දේශපාලනයට එන්නේ විජේවීර ඝාතනයෙන් පසුව ය. අමරතුංග මරනීය තර්ජනය මැද සිය පුතුන් පක්ෂයට බඳවා ගැනීමට හා, එසේ නො හැකි නම්, පක්ෂයේ ආධාරකරුවන් බවට පත් කර ගැනීමට තමන් කල කටයුතු ඉස්මත්තට ගත් අතර එක් පුතෙකු පක්ෂයට බඳවා ගත්තේ ය. අනතුරුව තාරක අමරතුංග නම් එම තරුනයා මරනයට කැප ව සිටි මෙම ලිපිකරුගේ ආරක්ෂාව ගැන ද දැනුවත් කර මා සමග දේශපාලන කටයුතුවල නිරත කලේ ය. ධනපති පන්තියට මෙන් ම කම්කරු පන්තියට ද බියපත්ව සැඟවී සිටිය නො හැකි ය.

මධ්‍යම පන්තියෙන් පක්ෂයට බැදෙන පුද්ගලයන් කම්කරු පන්තිය නැමති පාසලේ වසර ගනනාවක් පුහුනු කිරීමෙන් පසු මිස මොන ම වගකිව යුතු කටයුත්තක්වත් නො පවරන ලෙස ට්‍රොට්ස්කි පවසා ඇති දෙය ගැන තව බොහෝ ආදර්ශයන් අමරතුංගගේ ජීවිතයෙන් උකහාගත හැකි ය.

එවක අපගේ කම්කරුවාගේ කුඩා නිවස සෑම ඉරිදාවක ම පක්ෂයේ කටයුතු වෙනුවෙන් ම වෙන් විය. මේ කම්කරුවා ඒ හැම සාකච්ඡා වාරයක දී ම 15කට 20කට ආහාර පාන සැපයී ය. ඔහුගේ ආදරනීය බිරිඳ හා දරුවන් සැලකුවේ එය තමන්ට ලැබුනු අගනා අවස්ථාවක් ලෙස ය.

අපගේ කම්කරුවා පක්ෂයට බැඳෙන්නට පෙර තරමක් හිතුවක්කාරී හා දැඩි තීරන ගෙන තමන් නො රුස්නා දෙයට මුහුන දීමේ තත්වයක පසු වූ බව කියවේ. පක්ෂය තුල අමරතුංග අත්පත් කර ගත් දේ කෙතෙක් ද යත් මොහු සන්සුන් පුද්ගලයෙක් කර දීම ගැන තමන් පක්ෂයට නයගැති ය යි ඔහුගේ බිරිඳ දයා සහෝදරිය නිරන්තරයෙන් හා දැඩි තෘප්තිකරභාවයෙන් ප්‍රකාශ කරන්නී ය.

අමරතුංග සියලු අසීරුතා තිබිය දී සිය පුතුන් සිව් දෙනාට හැකි ඉහලම අධ්‍යාපනය ලබා දීමට අධිශ්ඨානවත් විය.

අමරතුංග තම එක් අතක පවතින දුර්වලතාව නො තකා වොලි බෝල් ක්‍රීඩාවට යොමු ව සිටියේ ය. නාට්‍යය, ගීතය, චිත්‍රය සහ මූර්තිය වෙත ඔහුගේ යොමු වීම දියුනු සංස්කෘතික කම්කරුවා පිලිබද ලකුනකි. 80 වියැති නමුත් තවමත් තරුන සිතැති මේ කම්කරුවා පොල් කටු යොදාගෙන කලාත්මක භාන්ඩ නිර්මානය කිරීමෙන් යම් ආදායමක් ද උපය යි.

මාක්ස්වාදී ව්‍යාපාරය හැම විට ම මෙබඳු පෙරටුගාමී කම්කරුවන් දිනා ගැනීම ඉලක්ක කර ගනී. ඔවුන්ට මිලියන සංඛ්‍යාත ජනයාට නායකත්වය දිය හැකි ය.

අවාසනාවට දැන් සිදුව ඇත්තේ වෙන දෙයකි. 2022 ජුලි 7 දින සිට සමාජවාදී සමානතා පක්ෂයෙන් ඔහු දොට්ට දමනු ලැබ ඇත. මෙම ලිපිකරුට එය හොදටම දැනේ. සංජය ජයසේකර සහ මා පක්ෂයෙන් දොට්ට දැමීමේ මුග්ධ තීරනය අමරතුංග මහත් සේ කම්පාවට පත් කලේ ය. දැන් මේ පක්ෂයේ සිට පලක් නැතැයි කියමින් වුවත් ඔහු උත්සාහ කලේ පක්ෂය තුල රැඳී සිටිමින් එය නිවැරදි කර ගැනීමට ය. අමරතුංග දොට්ට දැම්මේ හරියටම මේ උත්සාහය නිසා ය. මලලගමගේ මෙම කුමන්ත්‍රනය ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ඇතුලු දේශපාලන කමිටුව අනුමත කර ඇත.

එහෙත් අමරතුංග සහෝදරයා 4 ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ ‌‌ඓතිහාසික හා දේශපාලන පදනම් මත පිහිටාගෙන සිය ජීවිත කාලයම සටන් වදින බව ගැන අපට සැක නැත. ඔහු එදා මෙන් ම අදත් සියල්ලට ම පෙර පක්ෂය යන අදහස අත් නො හැර වැලඳ ගෙන සිටී. සහෝදරයා, නුඹට දීර්ඝායු!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top