නිහාල් ගීකියනගේ විසිනි

ඉරාන “ඉස්ලාමීය ජනරජය සම්පූර්නයෙන් නැති භංග කර දමා, ගැලවීමට මොනම අවස්ථාවක්වත් නැති අපායට ඔවුන් තල්ලු කරන්නේ ද” යන්න ගැන තමන් තීරනයක් ගනිමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 22 වන අගහරුවාදා එක්සත් ජාතීන්ගේ 81 වන මහා මන්ඩලය අමතා පැවසීය.
“ඉරානයට නැවත මිනිසුන් මරා දැමීමට සහ රටවල් විනාශ කිරීමට කිසිදු අවස්ථාවක් නොදී, ඉස්ලාමීය ජනරජය සම්පූර්නයෙන් විනාශ කරන්න ද? එය වහා සිදු කරන්න ද?” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ප්‍රශ්න කලේය.
ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංගමය ඉදිරියේ සිදු කරන මේ කථාවේ ඇති නව්‍ය විශේෂත්වය කුමක් ද? එය කිසිසේත් ඇමරිකානු පිලිවෙතේ කිසියම් නව හැරීමක් පිලිබිඹු නොකරයි. එක්සත් ජනපදය මාස ගනනාවක් පුරා ඉරානයට එරෙහිව අපරාධකාරී ආක්‍රමනික යුද්ධයක් පවත්වා ගෙන යමින් සිටී. ඉරානය යුද්ධයෙන් යටත් කර ගැනීමට ට්‍රම්ප් දරන උත්සාහයට විරුද්ධ වූ ඉරානයේ මිලියන 93 ක ජනගහනය සමූලඝාතනය කිරීම වූ කලී සැබැවින්ම ධවල මන්දිරයේ සාකච්ඡාවට භාජනය වී ඇති මාතෘකාවකි. පසුගිය ජුනි 10 වන දින මාධ්‍යවේදී සෙමූර් හර්ෂ් වාර්තා කලේ, ට්‍රම්ප් තම ජ්‍යෙෂ්ඨ කාර්යමන්ඩලය සමග ඉරානයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිලිබඳව සාකච්ඡා කල රහසිගත රැස්වීමක දී, මෙය මතු කල බවයි. ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඉරානයේ යුද්ධයෙන් පසුගිය ජුනි 10 දා වන විට අවම වශයෙන් පුද්ගලයින් 3,468 දෙනෙකු මිය ගොස්, 26,500 ට වැඩි පිරිසක් තුවාල ලබා සිටියෝය. තව ද, සැප්තැම්බර් මැද භාගයේ එක්සත් ජාතීන්ගේ කරුනු සෙවීමේ මෙහෙයුමක දී, එක්සත් ජනපදය යුද අපරාධ සිදු කල බවට විශ්වාස කිරීමට තරම් සාධාරන හේතු සොයා ගැනින.
ට්‍රම්ප්ගේ කථාවේ අඩංගු අලුත් දේ වනුයේ, මිලියන 93 ක ජාතියක් මිහිමතින් ”අතු ගා දැමීමට” ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ තර්ජනය කිරීමේ දී ඔහු විදහා දක්වන මෘග විවෘතභාවයයි. ප්‍රවේශමෙන් තෝරා බේරා ගත් මිනීමරු වචන වලින් සිය ඝාතන අභිප්‍රාය එලිපිට ප්‍රකාශයට පත් කිරීමේ මෙම ව්‍යායාමයට කිසියම් හෝ පූර්වාදර්ශයක් වී නම්, ඒ, මීට වර්ෂ 85 කට වැඩි කලෙකට ඉහත දී ඇඩොල්ෆ් හිට්ලර් සෝවියට් සංගමයට එරෙහිව ”වර්නිච්ටුන්ස්ක්‍රීග්” (Vernichtungskrieg – සමූලඝාතන) යුද්ධය සම්බන්ධයෙන් කල සාකච්ඡාව පමනි. එහිදී ද, ට්‍රම්ප් මෙන් හිට්ලර් ප්‍රසිද්ධියේ තම සමූලඝාතන සැලසුම් නිවේදනය කලේ නැත. ඔහු එම නියෝග ලබා දුන්නේ පෞද්ගලිකව, සිය ජනරාල්වරුන් වෙත ය. ඔහුගේ හමුදා මාන්ඩලික ප්‍රධානී ෆ්‍රාන්ස් හැල්ඩර්ගේ දිනපොතට අනුව, 1941මාර්තු 30 වන දින, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 200 ක් සමග පැවති සංවෘත රැස්වීමක දී, ඉදිරි ආක්‍රමනය “සමූලඝාතන යුද්ධයක්” වනු ඇතැයි හිට්ලර් ඔවුන්ට පැවසීය.
එක්සත් ජනපදයේ ම මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංගමය පිහිටුවා ගැනුනේ ම, මේ ආකාරයේ මිනීමරු තර්ජන පිටුදැකීමේ ජාත්‍යන්තර ආයතනයක් ලෙස ය. දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශභංග වී ගිය ලෝක ධනපති ආර්ථිකය යලි ගොඩ නඟා ගැනීමේ මූලික ව්‍යායාමයට බාධාකාරී අයුරින් රටවල් අතර යුද්ධ සිදුවීම වැලැක්වීම එහි ප්‍රධාන අරමුනක් විය. නාසි ජර්මනිය යටත් වීමෙන් සති හතකට පසු,1945 ජුනි 26 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝහිදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අත්සන් කරන ලද්දේ, “අපගේ ජීවිත කාලය තුළ දෙවරක් (පලමු සහ දෙවන ලෝක සංග්‍රාම වශයෙන්) මනුෂ්‍ය වර්ගයාට කිව නොහැකි තරම් දුක්ඛ වේදනා ගෙන දුන් යුද්ධයේ ව්‍යසනයෙන් අනුප්‍රාප්තික පරම්පරාවන් බේරා ගැනීමේ” අරමුනිනි. ට්‍රම්ප්ගේ කථාව, එම ප්‍රඥප්තියේ දෙවන වගන්තිය ඍජුව උල්ලංඝනය කරයි. එම දෙවැනි වගන්තියේ කියවෙන්නේ, “ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව තර්ජනය කිරීමෙන් හෝ බලය යෙදවීමෙන් වැලකී සිටීමට” එහි සාමාජිකයන් බැඳී සිටින බවයි. එහෙත් මෙම පැහැදිලි උල්ලංඝනය හමුවේ විරෝධය පා සභා ගැබෙන් නැඟිට ගියේ ඉරානයේ සහ කියුබාවේ නියෝජිතයන් පමනෙකි. යුරෝපීය නියෝජිතයන් නිහඬව වාඩි වී සිටීමෙන් හා සමුලුවේ මුලසුන දැරූ බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා ඇමරිකානු ජනාධිපතිට ස්තුතිය පල කිරීමෙන් සනාථ වන්නේ, සමස්ත ජනගහනයන් එහැම පිටින් මිහිතලයෙන් අතු ගා දැමීම යන මාතෘකාව දැන් ලෝක ධනපතියන්ට සාමාන්‍ය කාරනයක් බවට පත්ව ඇති බවයි. 2026 දී එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ සමුලුව එපරිද්දෙන්, යුද්ධය ක්‍රියාකාරීව සැලසුම් කරන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.
“අධිරාජ්‍යවාදයේ යලි පැමිනීම, හිතුවක්කාරීකම, නිර්බාධිත හා අසීමිත බලය යලි පැමිණීම …… තම දේශසීමා පුළුල් කිරීම සඳහා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමට හැකි යයි ‘සමහරු’ විශ්වාස කරන ලෝකයක්” උදාවීම, ගැන ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් ඊලඟ අඟහරුවාදා කල ප්‍රකාශය ට්‍රම්ප් පිලිබඳ සියුම්ව ආවරනය කල විවේචනයකැයි ඇතැම් විචාරකයෝ පවසති. ”යුධ අපරාධ කාර්මීකරණය වී ඇත. සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම අපි දැක ඇත්තෙමු”යැයි ද ඔහු පවසා ඇත. එහෙත් මැක්‍රෝන් කිසි විටෙකත් ඇමරිකානු ජනාධිපති නම් කලේ නැත. එවැන්නක් ව්‍යංගයෙන් හැඟවේ නම්, එය අතිශය වංචාකාරී ය. ඔහු සිය හෙලාදැකීම ප්‍රසිද්ධියේ එල්ල කර ඇත්තේ රුසියාවට එරෙහිව ය. රුසියාවට එරෙහිව යුක්‍රේනය හිස සිට දෙපතුලට සන්නද්ධ කිරීමට ඔහු ට්‍රම්ප් සමඟ එක්ව කටයුතු කරමින් සිටී.
අධිරාජ්‍යවාදය පිලිබඳ මැක්‍රෝන්ගේ ”විවේචනයම”ත් අධිරාජ්‍යවාදී වැඩ පිලිවෙලකි. රුසියාවේ ”යුද අපරාධ” වලට මැක්‍රෝන්ගේ පිලිතුර වන්නේ යුරෝපීය බලවතුන් රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධය උත්සන්න කිරීමයි. රුසියාවට එරෙහි යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කෙරෙන යුද්ධයක් බවට ඔහු කරන ප්‍රකාශයත්, එකී යුද්ධයේ දී ඔහුගේ මිත්‍ර පාර්ශ්වයේ සිටින්නෙකු සමස්ත රටක් ම වනසා දමන බවට එල්ල කල තර්ජනයත් අතර පරස්පරය විසඳා ගැනීමට ඔහු කිසිදු උත්සාහයක් නොගත්තේය. යුරෝපීය බලවත්තු ඇමරිකානු මිලිටරිවාදය පාලනය කිරීමේ උපකරනයක් ලෙස කිසිදා ක්‍රියා නොකරති; ඔවුහු එම ගෝලීය යුද්ධයේදීම එහි හවුල්කරුවන් හෝ ප්‍රතිවාදීන් හෝ වන අතර, යුද්ධයෙන් ලැබෙන ප්‍රතිලාභ බෙදාගැනීම සම්බන්ධයෙන් ඔවුහු එකිනෙකා සමඟ තරග වදිති. ඔවුන්ගේ “මානව හිමිකම්” පිළිබඳ කථා, එම තරඟයෙහිලා යොදා ගැනෙන ආයුධයක් විනා මූලධර්මාත්මක ආස්ථානයක් නොවේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අපරාධකාරී යුද ප්‍රකෝපකාරීත්වයට අධිරාජ්‍යවාදීන් හෝ, ඩිමොක්‍රටිකයන් හෝ ඩිමොක්‍රටික් සහායකයන් වන DSA පාක්ෂිකයන් හෝ විරුද්ධත්වය දක්වතැයි අපේක්ෂා කිරීම මිත්‍යාවකි. ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයෝ රුසියාවේ හා ඉරානයේ යුද්ධය උත්සන්න කිරීමට පක්‍ෂව ඡන්දය දෙති. මෑතකදී ට්‍රම්ප් මුන ගැසුනු DSA පාක්‍ෂික මම්දානි ඔහු සමඟ යුද්ධය පිලිබඳව කටේ කෙල බිඳක් හෝ නොහෙලූ අතර, ඔහු වාර්තාකරුවන් අමතා කීවේ, ‘‘තම නගරය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම සම්බන්ධයෙන් ඔහුට ප්‍රශංසා කරන” බවයි.
මේ අනුව, යුද්ධයට හා සමූලඝාතනයට එරෙහි ව්‍යාපාරයක් ගොඩ නැඟීම මුලුමනින් හා ක්ෂනිකව කම්කරු පන්තියේ කර්තව්‍යයක් බවට පත්ව තිබේ. එකී කර්තව්‍යය සඳහා කම්කරු පන්තිය සියලු අධිරාජ්‍යවාදීන්ට හා ඔවුන්ගේ ව්‍යාජ-වාම උපාංගයන්ට එරෙහිව තමන්ගේම ස්වාධීන දේශපාලන ව්‍යාපාරය ගොඩනැඟීම හදිසි අවශ්‍යතාවයක්ව පවතී. අධිරාජ්‍යවාදී යුද්ධයේ තර්ජනය හුදෙක් ඉරාන ජනතාවට පමනක් එල්ල වූවක් නොවේ. එය රටක් රටක් පාසා කම්කරුවන්ට හා පීඩිතයන්ට එරෙහිව ව්‍යාප්ත වීමට නියමිත අතර, එහි පිරිවැය සඳහා ලෝකය පුරා කම්කරුවන්ගේ ජීවන මට්ටම් වනසා ලීමට ද නියමිතය. ට්‍රම්ප්ගේ සමූලඝාතන තර්ජනවලට පිලිතුර වන්නේ, මැක්‍රෝන්ගේ ”ප්‍රජාතාන්ත්‍රික” අධිරාජ්‍යවාදය හෝ ඩිමොක්‍රටිකයන්ගේ ”අඩු නපුර” පිලිබඳ ඉදිරි දර්ශන නොව, කම්කරු පන්තියේ ජාත්‍යන්තර පරිමාන එක්සත් භාවයයි; ඇමරිකාවේ, යුරෝපයේ, ඉරානයේ, යුක්‍රේනයේ, රුසියාවේ හා ආසියාවේ කම්කරුවන්, ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලින් සන්නද්ධව තමන්ගේම පාලක පන්තීන්ට එරෙහිව නැඟී සිටීමයි.
ට්‍රම්ප්ගේ වගාඩම්බර දෙඩවීම් වලට යටින් පවතින්නේ ධනපති ක්‍රමයේ මරලතෝනියයි. මෙකී දෙඩවීම්වල උල්පත වන අර්බුදයම එහි ප්‍රතිවිරුද්ධය ද – එනම්, සමාජ ප්‍රතිවිරෝධය හා ලෝක ගෝලීය පන්ති අරගලය ද නිර්මානය කරයි. දවසේ කර්තව්‍යය බවට පත් වී ඇත්තේ, එම අරගලයට එහි දේශපාලන ආකෘතිය අත්පත් කර දීමයි.
(මෙම ලිපිය සකස් කරන ලද්දේ ,ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඇන්ඩ්‍රෙ ඩේමන් විසින් රචිත (Trump threat to “annihilate “Iran : The criminalization of imperialist foreign policy) 22 September 2026 යන ලිපිය ඇසුරෙනි.)
