නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පාපොච්චාරණය: ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ ‘ඇමරිකානුවන්’ට බැර කිරීම

නිහාල් ගීකියනගේ

නිව්යෝර්ක් ටයිම්ස් ගොඩනැඟිල්ල

පසුගිය සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25 ක් පිරීම නිමිත්තෙන්, ”වැරදි සිදු වී ඇතැ”යි යන හෙඩිම යටතේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිය කතුවැකිය පළ කර තිබිණි. මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ පිළිබඳ හෙළිදරව්වකැයි ඔබ සිතන්නේ නම් සැබෑ වැරදීම එයයි. එය දැනට යටපත් කළ නොහැකි පරිද්දෙන් තහවුරු වී ඇති සත්‍ය කරුණු පිළිගනිමින් ඒවා සාමාන්‍යයීකරණය කිරීමේත්, අපරාධ සහාය පිළිබඳ තම දායකත්වය ද ඇතුළුව සැබෑ වරදකරුවන්ගේ කාර්යභාරය සඟවා රාජ්‍යයේ සාපරාධී ක්‍රියාවන්හි වගකීම ඇමරිකානු ජනයා මත පැවරීමේත් දුෂ්ඨ උත්සාහයකි.

9/11 ප්‍රහාරයෙන් පසු උපන්, ඇමරිකානු ජනගහනයෙන් තුනෙන් පංගුවක් වන මුළුමහත් තරුණ පරපුරක් හමුවේ විකෘති ඉතිහාසයක් මවා, එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය මෙන්ම ප්‍රමුඛ මාධ්‍යවල ද සාපරාධී දායකත්වය වසං කිරීම ඔවුන්ගේ අරමුණයි.

“මෙම සංවත්සරයේදී ඇමරිකාව තමන් කල වැරදි වලට මුහුණ දිය යුතුය”යි ඔවුහු කියති. නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ වැරදි ලෙස දක්වා ඇත්තේ,
– 2003දී ඉරාකය ආක්‍රමණය කිරීම
– සිරකරුවන්ට වධහිංසා කිරීම
– ඇමරිකානු ජනතාව පිළිබඳ අධිකරණ අවසරයකින් තොරව සිදු කල මහා පරිමාණ නිරීක්ෂණ
යනාදියයි.
මේ අපරාධ දැන් සමස්ත ලෝකය හමුවේ නොසැඟවිය හැකි පරිදි කුප්‍රකට වී ඇති ඒවාය.

ඉරාක ආක්‍රමණය

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”ඉතා දුරදිග ගිය බව සඳහන් කරන ටයිම්ස් පුවත්පත, ඇමරිකානු ප්‍රතිචාරය විසින් උරුම කරන ලද්දේ දිගු හා ලේ වැකි යුද්ධ දෙකකැයි සඳහන් කරයි. ඉන් එකක් වූ ඉරාක යුද්ධය බොරු හේතු මත ආරම්භ කළ බවත්, එම යුද්ධ දෙක රට තුලත් විදේශයන්හිත් ඇමරිකාව දුර්වල කල බවත් කතුවැකිය පවසයි.

වැරදි සිදු වී ඇතැ“යි යන වාක්‍ය ඛණ්ඩයේ මුල්ම කුප්‍රකට භාවිතය සිදු කළේ, 1987 ජනවාරි 27 වෙනිදා ඉරාන-කොන්ට්‍රා අපකීර්තිය පිළිබඳ කථා කළ ජනාධිපති රොනල්ඩ් රේගන් ය. ඇමරිකාව රහසිගතව ඉරානයට ආයුධ විකුණා, එයින් ලැබුණු මුදල්, CIA විසින් සංවිධානය කර ආයුධ සපයන ලද බලකායක් වූ කොන්ට්‍රා වෙත ලබා දුන් අතර ඔවුන් ගේ කාර්යභාරය වූයේ නිකරගුවාවේ සැන්ඩිනිස්ටා ආණ්ඩුව පෙරලා දැමීමයි.මෙම සංවිධානය නිකරගුවානු සිවිල් ජනතාව ඝාතනය කිරීම, වධහිංසා කිරීම සහ පැහැරගෙන යෑම් වල යෙදුන බව සඳහන් වේ. 1986 ජූනි 27 වෙනිදා ජාත්‍යන්තර අපරාධ අධිකරණය තීන්දු කලේ, කොන්ට්‍රා වෙත ආයුධ සහ මුදල් සැපයීමෙන් ඇමරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කල බවයි.

දැන් “වැරදි සිදු වී ඇතැ“යි පාපොච්චාරණය කරන නිව්යෝක් ටයිම්ස් පුවත්පත දිගින් දිගටම ආක්‍රමණශීලී යුද්ධ සහ ඇමරිකානු ජනතාවගේ මූලික ව්‍යවස්ථාමය අයිතිවාසිකම් වලට එල්ල වූ ප්‍රහාර සාධාරණීකරණය කළ අතර, ජනතාව මත මෙම වැරදි තීරණ පැටවීම සඳහා උපකාර වූ අසත්‍ය තොරතුරු දිගින් දිගටම ප්‍රචාරය කලේය.

2003 පෙබරවාරි 6 වෙනිදා, ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ කල ඉදිරිපත් කිරීම ගැන ටයිම්ස් පුවත්පත ප්‍රශංසාවෙන් ලිවීය. පවෙල්ගේ ප්‍රකාශය සදාම් හුසේන් එක්සත් ජාතීන්ගේ යෝජනා උල්ලංඝනය කරන බව පෙන්වන මේ දක්වා ඇති බලවත්ම සාක්ෂිය ලෙස ටයිම්ස් හැඳින්විය. ඉන් සති හයකට පසුව ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කලේය.

“War on Terror”හෙවත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සමගම ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට දැඩි ප්‍රහාරයක් එල්ල විය. එහි ඉතා බරපතල සිදුවීම වූයේ සිරකරුවන්ට නීති විරෝධී ලෙස ක්‍රමානුකූලව වධහිංසා කිරීමයි.

ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ රජය විදේශ රටවල CIA රහස් සිරගෙවල් ජාලයක් පිහිටුවා එහි රඳවා සිටි පුද්ගලයින් වධහිංසාවට ලක් කලේය. 2002 අගෝස්තු මාසයේදී එම රජය ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව හරහා වධහිංසා නීත්‍යානුකූල බව පෙන්වන නීතිමය මත සහිත ලිපි සකස් කරවා ගත්තේය.

2014 දෙසැම්බර් 9 වෙනිදා සෙනෙට් බුද්ධි තොරතුරු කමිටු වාර්තාවක සඳහන් වූයේ CIA විසින් එවැනි රහස් සිරගෙවල්වල අවම වශයෙන් 119 දෙනෙකු රඳවා ගෙන ඇති බවයි. සිරකරුවන්ට ජලයෙන් හුස්ම හිරවන ආකාරයේ (water boarding) වධහිංසා කල අතර, ඇතැම් අය පැය 180 ක් දක්වා නිදා ගැනීමට ඉඩනොදී විවිධ අපහසු ඉරියව් වල රදවා තිබුණි. එක් සිරකරුවෙකු අඩ නිරුවත් තත්වයෙන් කොන්ක්‍රීට් බිමකට දම්වැල් වලින් බැඳ තිබූ අතර, ශරීර උෂ්ණත්වය අධික ලෙස පහල යෑම නිසා (Hypothermia) ඔහු මියගිය බවට සැක කෙරේ.

අද නිව්යෝර්ක් ටයිම්ස් සංස්කාරක මණ්ඩලය ඇමරිකාව “සිරකරුවන්ට වධහිංසා කල බව” පිලිගනී. නමුත් 2004 සිට 2014 දක්වා වසර දහය පුරාම ඔවුහු, බුෂ් රජයේ මෙම අපරාධකාරී මානව හිමිකම් උල්ලංඝනයන් හැදින්වීමට වධහිංසා (Torture) යන වචනය භාවිතා නොකිරීමට හිතාමතා තීරණය කර සිටියෝය. ඒ අතරම, එහි ඉරිදා සඟරාව බුෂ් රජයේ එම ප්‍රතිපත්ති සාධාරණීකරණය කිරීමට පවා කටයුතු කලේය.

ඉරාකයේ අබුග්‍රයිබ් සිර ගෙදර

2004 අප්‍රේල් 28 වැනිදා CBS විසින් ඉරාකයේ අබුග්‍රයිබ් (Abu Ghraib) සිර ගෙදරදී ඇමරිකානු සෙබළුන් ගත් ජායාරූප විකාශය කලේය. එම ජායාරූප වල ඉරාක සිරකරුවන්ට සිදුකල අමානුෂික ක්‍රියා පෙන්වා තිබුණි.

  • හිසට ආවරණ දමා වසා තිබීම
  • නිරුවත් සිරකරුවන් පිරමිඩයක ආකාරයට එකිනෙකා මත ගොඩගසා තිබීම
  • දම්වැලකින් සිරකරුවකු මෙහෙයවීම
  • ශරීරයට විදුලි වයර් සම්බන්ධ කර පෙට්ටියක් මත සිටීමට බල කිරීම හා ඒ අතර ඇමරිකානු සෙබළුන් ජායාරූප ගැනීම.

ඉන් දින හතරකට පසුව ,2004 මැයි 2 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් සගරාවේ මයිකල් ඉග්නටීෆ් (Michael Ignatieff) විසින් “අඩු නපුරු දේවල්” (Lesser Evils) නමින් ලිපියක් පල කලේය. එහිදී ඔහු කියා සිටියේ නපුර පරාජය කිරීමට සමහර විට තවත් නපුරු ක්‍රම භාවිතා කිරීමට සිදුවිය හැකි බවයි. ඔහු සදහන් කල ක්‍රම අතර:
• සැකකරුවන් දින නියමයක් නොමැතිව රඳවා තැබීම
• බලහත්කාරී ප්‍රශ්න කිරීම
• ඉලක්ක කර පුද්ගලයන් ඝාතනය කිරීම
• පූර්ව ආක්‍රමණික යුද්ධ කිරීම
වැනි දේ ඇතුළත් විය.

ඔහුම පිලිගත්තේ මෙම ක්‍රියා ජාතික සහ ජාත්‍යන්තර නීතියෙන් බැහැර වන නිසාත්, නීතිමය ක්‍රියාවලියකින් තොරව මිනිසුන් මරා දැමීම හෝ ඔවුන්ගේ නිදහස අහිමි කිරීම නිසාත්, මේවා “නපුරු ක්‍රියා” වන බවයි.

ටයිම්ස් නවතම කතුවැකියේ සඳහන් වන්නේ ඇමරිකානු රජය ඇමරිකානුවන් සහ විදේශිකයන් යන දෙපිරිසම විශාල පරාසයකින් නිරීක්ෂණය සහ තොරතුරු එකතු කිරීම සඳහා නව බලතල භාවිතා කළ බවත්, එම බලතල “අතීශයින් දුර දිග ගිය” බවත් පමණි. රජයේ දැවැන්ත රහසිගත නිරීක්ෂණ (Surveillance) වැඩසටහන පිළිබඳව ටයිම්ස් දැඩි ලෙස විවේචනය කිරීමක් සිදු නොකලේය.

අධිකරණ වරෙන්තු නොමැතිව ඇමරිකානු රජය සිදු කළ දැවැන්ත දුරකතන/සන්නිවේදන නිරීක්ෂණ හෙළි කෙරෙන සිය වාර්තාවක් 2004 නොවැම්බර් ජනාධිපතිවරණයට පෙර සිට 2005 දෙසැම්බර් 16 දක්වා පල නොකර සිටීමට නිව්යෝර්ක් ටයිම්ස් කටයුතු කළේය. පසුව එඩ්වඩ් ස්නෝඩන් විසින් ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) හි රහසිගත ලේඛන හෙලි කෙරුණු විට, 2014 දී ටයිම්ස් එම රහස් ප්‍රසිද්ධ කිරීම විවේචනය කලේය. ලේඛක මයිකල් කිංස්ලි (Michael Kinsley) පවා ප්‍රකාශ කලේ රජයේ රහස් ප්‍රසිද්ධ කල යුතුද නැද්ද යන්න අවසානයේ තීරණය කළ යුත්තේ රජයම බවයි. මෙලෙස ටයිම්ස් පුවත්පත, රජයේ නීතිවිරෝධී ක්‍රියා රහසිගතව තබා ගැනීමට සිය සහාය ලබා දුන්නේය. දැන් නිව්යෝර්ක් ටයිම්ස් කියා සිටින්නේ තමන්ගේ පෞද්ගලික තොරතුරු තමන්ගේ අනුදැනුමකින් තොරව රහසේ නිරීක්ෂණය කිරීමේ වරදට ඇමරිකානු ජනයා වගකිව යුතු බව ද?

එඩ්වඩ් ස්නෝඩන්

ටයිම්ස් ප්‍රධාන චෝදනාව වන්නේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”(War on Terror) නමින් කල යුද්ධය තුළ ඇමෙරිකාවට මැදපෙරදිග තුළ තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ බවයි. යුද්ධයකට යා යුත්තේ පැහැදිලි සහ සාක්ෂාත් කල හැකි අරමුණු සමගය. මුල් අරමුණ ඉක්මවා යුද්ධය දිගු නොකල යුතුය. වැදගත්ම දෙය වන්නේ “ජයග්‍රහණය කිරීම”යි. මෙය නරුම පාපොච්චාරණයකි. ඉරාක ආක්‍රමණයෙන් මරා දැමුනු ලක්ෂ 2-3 ක ජනයා ගැන, වනසා දැමුණු වසර දහස් ගණනක ඓතිහාසික සංස්කෘතික උරුමයන් ගැන වගවීමක් අවශ්‍ය නොවේ. ‘වරද’ නම් ඇමරිකානු පාලක කතිපයාධිකාරයේ ගෝලීය ආධිපත්‍යයික ”අරමුණු” ජය ගැනීමට එම ආක්‍රමණය අසමත් වීමයි.

ටයිම්ස් හි මෙම විවේචනය ට්‍රම්ප් පාලනයේ ඉරාන යුද්ධය ගැන ඩිමොක්‍රටික් පක්ෂයේ විවේචනයට සමානය. සෙනෙට් සභික ග්‍රේ පීටර්ස් ආරක්ෂක ලේකම් පීට් ගෙග්සෙත් ගෙන් අසා ඇත්තේ ඔහුට යුද්ධය ජය ගැනීමට පැහැදිලි දිගුකාලීන සැලැස්මක් නැත්තේ මන්ද යන්නයි. ඔහුගේ ඉල්ලීම “මෙම යුද්ධය ජය ගන්න” යන්නයි.

ටයිම්ස් කියන්නේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” (war on terror) නිසා රටේ ශක්තිය වැඩි කිරීමට භාවිතා කළ හැකි සම්පත් විශාල ප්‍රමාණයක් නාස්ති වූ බැවින්, ඉදිරියේ දී ඇමෙරිකාවට තරඟකරුවන් ලෙස මතු වන චීනය සහ රුසියාවට එරෙහිව ඇමරිකාව ශක්තිමත් කිරීමට භාවිතා කළ හැකි සම්පත් අහිමි වූ බවයි.

ටයිම්ස් පුවත්පත, ඇමරිකාව තමන් කල “වැරදි වලට” මුහුණ දිය යුතු බව කියයි. මේ තීරණ ගත්තේ, ඇමරිකානු සාමාන්‍ය ජනතාවද ? නැත.

ඉරාකය ආක්‍රමණය කිරීම, CIA රහසිගත සිරගෙවල් පවත්වාගෙන යාම, ඇමරිකානුවන්ගේ සන්නිවේදනය නිරීක්ෂණය කිරීම වැනි තීරණ ගත්තේ, පාලක පන්තිය, එහි දේශපාලන පක්ෂ දෙක සහ ඒවාට සහය දුන් මාධ්‍ය ආයතනයි. නිව්යෝක් ටයිම්ස් එම පද්ධතියේ කොටසකි.

වධහිංසාවට නියෝග කල රජයේ නිලධාරීන්, රජයේ බොරු ප්‍රචාර පල කළ මාධ්‍ය සංස්කාරකවරුන් සහ යුද්ධ වලට ඡන්දය දුන් දේශපාලනඥයන් කිසිවෙකුත් සැබෑ ලෙස වගකීමට ලක් කර නැත. ඒ වෙනුවට එම පුද්ගලයන්ගෙන් බොහෝ දෙනා සහ එම ආයතනම අදත්

• ගාසාහි ඝාතන/යුද්ධයට සහාය දක්වන බව,
• ඉරානය සමග යුද්ධයක් සඳහා දිගු කාලීනව බලපෑම් කල බව,
• රුසියාව සමග පවතින යුද්ධය තවත් උත්සන්න කිරීමට ඉල්ලා සිටින බව,
• චීනය සමග අනාගත යුද්ධයකට සූදානම් වන බව
පැහැදිලිය.

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” පිළිබඳ සැබෑ වගවීමක් අවශ්‍ය නම්, ඒ යුද්ධ වලට වගකිව යුතු පුද්ගලයන් සහ ආයතන නම් කල යුතුය.

ඉදිරියේදී ඇතිවිය හැකි යුද්ධවලට එරෙහි අරගලය ද, අධිරාජ්‍යවාදී ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවලින් මෙන්ම ‘නිව් යෝර්ක් ටයිම්ස්’ (New York Times) පුවත්පත නියෝජනය කරන සමස්ත සංස්ථාපිත-මූල්‍ය-හමුදා-බුද්ධි අංශ යාන්ත්‍රණයෙන් සම්පූර්ණයෙන්ම වෙන් නොවී දියත් කළ නොහැක. එක්සත් ජනපදය තුළ මෙන්ම ජාත්‍යන්තරව ද, තමන්ගේම අවශ්‍යතා පදනම් කරගනිමින් ස්වාධීනව බලමුලු ගැන්වෙන කම්කරු පන්තියට පමණක්ම එවැනි විග්‍රහයක් සහ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ හැකිය.

(ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2026 සැප්තැම්බර් මස 11වෙනි දින පළ වූ, ඇන්ඩ්‍රෙ ඩේමන් සහෝදරයා ගේ The record of the New York Times on the “war on terror” ලිපිය ඇසුරෙනි)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top