යුක්‍රේන අභියාචනාධිකරණයෙන් පිළිතුරක්

අධිරාජ්‍යවාදී යුද්ධය විසින් ඉදි කෙරෙන නිශ්ශබ්දතාවයේ පවුර

පරාක්‍රම කුරුප්පු 

මයිකොලේව් අභියාචනා අධිකරණය අපට පිළිතුරු ලෙස, 2026 අගෝස්තු 26 දාතමින් යුක්‍රේන භාෂාවෙන් ලියැවුණු ලිපියක් යොමු කර ඇත. ඊ මේල් පනිවුඩයක අමුණා එවන ලද එම ලිපියේ සංක්‍ෂිප්ත අර්ථය වන්නේ, යුක්‍රේන් භාෂාව හැර අන් බසකින් එවන ලිපි තමන් නොතකා හරින බවයි!

මයිකොලේව් අභියාචනා අධිකරණය එවූ ලිපිය

එකී ලිපිය, මයිකොලේව් අභියාචනා අධිකරණය හා පර්වොමේස්ක් නගර දිස්ත්‍රික් අධිකරණය වෙත අප විසින් ඉංග්‍රීසි භාෂාවෙන් යවන ලද ලිපියට දුන් පිළිතුරකි. අපේ ලිපිය  හා එහි සිංහල පරිවර්තනය, 2026 අගෝස්තු 23 දින දරන ”බොග්ඩාන් සයුරොටියුක් නිදහස් කරනු! ඔහුට පැනවූ වසර 15 ක සිර දඬුවම අහෝසි කරනු!” මැයෙන් යුත් ලිපියේ පසු සටහන ලෙස පල කළෙමු. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බොග්ඩාන්ගේ නිදහස ඉල්ලා ලෝකයේ විවිධ රටවල සිට ඊ මේල් පණිවුඩ යවන ලද බොහෝ දෙනෙකුට ද ලබා දී ඇත්තේ මේ පිළිතුර ම බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කළේය.

මේ ඊ මේල් පණිවුඩයෙන් කියැවෙන අරුත අප වටහා ගත යුතුය. 27 හැවිරිදි යුක්‍රේන ජාතික සමාජවාදියෙකු වන බොග්ඩාන් සයුරොටියුක්, වධ හිංසා පැමිණවීම් හා අත්අඩංගුවේ දී සිදුවන මරණ සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන හා ධාරිතාව ඉක්මවා උතුරා යමින් පවතින යුක්‍රේන බන්ධනාගාර පද්ධතිය තුළ වසර 15 කට සිරගත කර ඇත්තේ පුටින්ගේ යුද්ධයට සහාය දීම නිසා නොව, යුද්ධය ඇරඹිම සම්බන්ධයෙන් රුසියාව හෙලාදකිමින් නොනැවතී, එය තම අභිමතාර්ථයන් සඳහා දිග අදිමින් අවසාන යුක්‍රේනුවාගේ ජීවිතය දක්වා පරදුවට තැබීම සම්බන්ධයෙන් නැටෝව ද හෙළා දකිමින් ලිපි හයක් ලිවීම නිසාය. තම තම රටවල ධනපති තන්ත්‍රයන්ට එරෙහිව දේශසීමා ඉක්මවා යන කම්කරු පන්ති ඒකාබද්ධතාවය වෙනුවෙන් එම ලිපි මඟින් පෙනී සිටි නිසා ය. ඒ අනුව, මෙය අදහස් දැරීමටත්, ඒවා එළිපිට ප්‍රකාශයට පත් කිරීමටත් එරෙහිව පැනවූ දඬුවමකි. මයිකොලේව් අභියාචනා අධිකරණයේ පණිවුඩයෙන් දන්වා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ලෝකය කියන්නේ කුමක්ද යන්න ඇසීමට තමන් නුසූදානම් බවයි. 

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලන්ස්කි එක්සත් ජනපදයේ හා යුරෝපයේ නැටෝ රටවල සංචාරය කරමින් යුද්ධයට ආයුධ ඉල්ලා සිටින්නේ යුක්‍රේන භාෂාවෙන් ද? එහිදී ද වෙනත් භාෂාවලින් ලැබෙන ප්‍රතිචාර නොතකා හැරේ ද?

මෙය හුදෙක් යුක්‍රේන අධිකරණයේ කුහක පිළිවෙතකට හෝ යුක්‍රේන තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර විරෝධයට පමණක් ලඝු කොට ගත නොහැකිය. බොග්ඩාන් සයුරොටියුක් සම්බන්ධ හඬ යටපත් කිරීමට ඔවුන් දරන තැත, ප්‍රමුඛ ඇමරිකානු හා යුරෝපීය මාධ්‍ය වල ද, ඒවා සේවා සම්පාදනය කරන ආණ්ඩුවල ද පිළිවෙතින් ගලා එන්නකි. 

නිව් යෝර්ක් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට්, ගාඩියන්, බීබීසී, ෆ්‍රෑන්ක්ෆර්ට් ඇල්ගෙමයිනෙ ට්සායිතුං, රොයිටර්, ඇසෝෂියේටඩ් ප්‍රෙස් ආදී වශයෙන් වූ කිසිදු ප්‍රමුඛ ධනපති මාධ්‍යයකට බොග්ඩාන් සයුරොටියුක්ට පැනවූ දඬුවම ප්‍රවෘත්තියක් නොවීය. එය හුදු අතපසුවීමක් නොව පිළිවෙතකි. ඔවුන් සිය යුද්ධය සඳහා හේතුපාඨ ලෙස ප්‍රචාරය කරන්නේ, යුක්‍රේනය ”නිදහස සඳහා සටන් කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකැ”යි යන මුසාවයි. යුද විරෝධී සමාජවාදියෙකු වසර පහළොවකට සිරගත කර ඇතැයි යන පුවත එම මුසාව පුපුරුවා හරී. එබැවින් ඔවුන්ට එම ප්‍රවෘත්තිය වළලා දැමීමට අවශ්‍ය වී ඇත. මේ බව කැපී පෙනෙන අයුරින් සනාථ වන්නේ, බොග්ඩාන්ට මෙම දණ්ඩනය පැනවූ දිනයේ ම, රුසියානු යුද විරෝධී විපක්ෂය මර්දනය කිරීම ගැන නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළ බව සැළකිල්ලට ගත් කල්හි ය. ඔවුන්ගේ ප්‍රයත්නය වන්නේ යුද වැදී සිටින දෙපාර්ශවය අතරින් එක පාර්ශ්වයක මර්දනය උලුප්පා දක්වමින් අනෙක් පැත්තේ මර්දනය සඟවා තැබීමයි. එමඟින් මර්දනය පවතින්නේ රුසියාවේ පමණකැයි පෙන්වා කම්කරුවන් අධිරාජ්‍යවාදී යුද කරත්තයට ගැට ගසා ගැනීමයි.  

සත්‍ය කරුණු සැඟවීම හා ව්කෘති කිරීම තිබියදීම, යුද්ධයට එරෙහි මහජන පිළිකුල තව දුරටත් නො සැඟවිය හැකි ලෙස ප්‍රකාශයට පත් වෙමින් පවතී.

2025 ඔක්තෝබරයේ වාර්තා වූ පරිදි, යුද්ධය මධ්‍යයේ, යුක්‍රේන හමුදා අතර යුද බිම හැර පලායාම් සහ නීති විරෝධී ලෙස සේවයට වාර්තා නොකිරීම් සම්බන්ධයෙන් 290,000 කට ආසන්න පිරිසකට අපරාධ චෝදනා යටතේ නඩු පවරා ඇත. ඉන් 200,000 කට ආසන්න පිරිසක් පළා ගොස් ඇත්තේ 2025 වසරේ මුල් මාස දහය තුළ දී ය. බඳවා ගැනීම් මධ්‍යස්ථානවල නිලධාරීන් බඳවා ගැනීම් ඉලක්කවලින් බඳවා ගැනීමට හැකිව ඇත්තේ අඩකට ද අඩු පිරිසකි. 2024 මුල් භාගය තුළ පමණක්, බලහත්කාරයෙන් යුද සේවයට බඳවා ගැනීමේ භට කණ්ඩායම් හා මහජනයා අතර ප්‍රචණ්ඩ ගැටුම් 40 ක් පමණ වාර්තා වී ඇත.  

රුසියානු ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛන වලට අනුව, රුසියාව තුළ යුද්ධයට සහාය දක්වන තරම්ම පිරිසකට එය නවතා දැමීමට අවශ්‍ය වී තිබූ බව 2023 දී වාර්තා විය. සමස්ත මානව හා ද්‍රව්‍යමය සම්පත් බලමුළු ගන්වා ගැනීම මහජන නැඟිටීමකට තුඩු දෙතැයි යන භීතිය නිසා ක්‍රෙම්ලිනය, බලහත්කාරයෙන් යුද සේවයට බඳවා ගැනීම පිලිබඳ නීති කිහිප විටක්ම සංශෝධනය කළේය.

2024 දෙසැම්බරයේ පැරිස්, බර්ලින් හා කොලොං නගරවල පැවැති යුද විරෝධී රැළි යුද්ධයට එරෙහිව යුරෝපයේ වර්ධනය වෙමින් පවත්නා විරුද්ධත්වය නිසැක ලෙස ප්‍රකාශයට පත් කළේය.

යුද්ධයට එරෙහිව වැඩෙන මේ විරුද්ධත්වය හමුවේ, යුද්ධයට එරෙහිව තම තම ආණ්ඩුවලට එරෙහිව නැඟී සිටිමින් ඒකාබද්ධ වන්නැයි බොග්ඩාන් සයුරොටියුක්ගේ ලිපි වලින් කෙරෙන කැඳවීම කියෙව් තන්ත්‍රයට ඉවසා දරා සිටිය හැක්කක් නොවේ. යුක්‍රේන අධිකරණය අපේ ලිපි කියවීම ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි. එම අදහස් වොෂින්ටනයට වේවා, බර්ලිනයට වේවා, පැරීසියට වේවා, ලන්ඩනයට වේවා උසුලා ගත හැකි නොවේ. ඔවුන්ගේ මාධ්‍ය මේ විරෝධතා ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි.  

අපේ භාෂාවලින් යවන අපේ විරෝධතා කියවීම ප්‍රතික්ෂේප කරන යුක්‍රේන අධිකරණයේ නිවේදන අප පිළිගත යුත්තේ මන්ද? යුක්‍රේන දේශසීමාවට ඔබ්බෙන් පවතින ලෝකයෙන් අවි ආයුධ පමණක් භාර ගනිමින්, අධිරාජ්‍යවාදීන්ගේ අවි සම්පාදනයේ පිරිවැයෙන් මිරිකී යන කම්කරුවන්ගේ අදහස් නොතකා හැරීමට හා නිහඬ කිරීමට ඔවුන් දරන තැත පරාජය කළ යුතුය. බොග්ඩාන් සයුරොටියුක්ට පැනවූ දණ්ඩනය ඉවත් කරමින් වහාම කොන්දේසි විරහිතව ඔහු මුදා හරින්නැයි තමන් භාවිතා කරන – ඉංග්‍රීසි වේවා, සිංහල වේවා දමිළ වේවා – කවර හෝ භාෂාවකින් ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලෙස අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලමු. (මයිකොලේව් අභියාචනා අධිකරණයේ ඊ මේල් ලිපිනය: inbox@mka.court.gov.ua)

Scroll to Top