මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: ඉරි තලා ගිය පද්ධතිය හා කම්කරු පන්තිය

නන්දන නන්නෙත්ති

මීගමුව බන්ධනාගාරය ඉදිරියේ සිය ආදරනීයයන් පිලිබඳ තොරතුරක් ඉල්ලා වැලපෙන කාන්තාවක්

පසුගිය ජුලි 5-6 දෙදින තුල මීගමුව බන්ධනාගාරයේ කැරලිකාරී සිද්ධීන් වලින් නිලධාරීන් හා රැඳවියන් 31කට දිවි අහිමි විය. 100කට අධික පිරිසක් තුවාල ලබා සිටිති. රැඳවියන් තවමත් ප්‍රහාරවලට ගොදුරු වන බව වාර්තා වෙයි. මාධ්‍ය මතු කරන්නේ මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් වල ඛේදවාචකය පමනෙකි.

සිද්ධියෙන් රැඳවියෝ 21 දෙනෙක් මිය ගියෝය. ඔවුන් අතර හිසට, පපුවට හා උදරයට තැබූ වෙඩි පහරවලින් මිය ගිය අය වෙති. දනහිසෙන් පහලට වෙඩි වැදීම් කිසිවක් වාර්තා වී නැත. මීගමුව බන්ධනාගාරයේ සිටි 2,400 කට අධික රැඳවියන් හා ඔවුන්ගේ ඥාතීන් අන්ත පීඩාවට පත් කරමින්, ඔවුන් කොන් කිරීමේ හා වෛරයට බඳුන් කිරීමේ දැනුවත් ව්‍යාපාරයක් රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වී පවතී.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කල පරීක්ෂන වාර්තාව තුල මෙම සිද්ධියට දී ඇති විශේෂ අර්ථකතනයට අනුව, “මේ වනාහී, බන්ධනාගාර පාලනය තමන් අතට ගැනීමට සහ මෙහෙයුම් කඩාකප්පල් කිරීමට රැඳවියන් ගත් උත්සාහයකි.”

ඒ අනුව 5දා, බන්ධනාගාරය තුල සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වීමට පටන් ගත් බව එම වාර්තාව කියයි.

එදා රාත්‍රී මීගමුව පොලිසිය ද, බන්ධනාගාර හදිසි වැටලීම් හා උපක්‍රමික බලකායේ (SPEAT) නිලධාරීන් 89 ක් ද සේවයට කැඳවා ඇත. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වාර්තා කර නැති නමුත්, 6 වෙනිදා සිද්ධීන් දිග හැරෙන්නේ බන්ධනාගාර හදිසි වැටලීම් හා උපක්‍රමික බලකාය (SPEAT) විසින් රැඳවියන්ට එරෙහිව ඇති කරන ලද ප්‍රකෝපකරනය නිසා ය.

සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානය වාර්තා කරන පරිදි, “ජුලි 5 සිද්ධියෙන් පසු බන්ධනාගාරය ලොක් ඩවුන් කලා. මූලික පහසුකම් අත් හිටුවා, බීමට ලබා දෙන ජලය සීමා කලා. වැසිකිලි භාවිතා කිරීමට ඉඩ දුන්නේ නැහැ.. පැය ගනනක් සිරකුටිවලම රඳවා තැබුවා. පවතින දැඩි උණුසුම, තදබදය, නිලධාරීන්ට පහර එල්ල වන්නේ මේ තතු නිසයි.”

සාමාන්‍ය තතු තුල පවා බන්ධනාගාරවල ජලය, නින්ද, බෙහෙත්, සෞඛ්‍ය ආරක්ෂාව වැනි මූලික අවශ්‍යතා දරුනු ලෙස සීමා වී ඇත. දැන් සිදු වී ඇත්තේ ඒවාට තව දුරටත් පහර දෙන විට සිදු විය හැකි දෙයයි.

CID වාර්තාවට අනුව, එදින උදෑසන 10.30-10.50 අතර විනාඩි 20 තුල රැඳවියන් පිරිසක් නිලධාරීන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇත. එයින් නිලධාරින් 10ක් මරුමුවට පත් ව ඇත.
ඉනික්බිතිව කැඳවනු ලැබූ විශේෂ කාර්ය බලකාය ඉව බව නැතිව රැඳවියන්ට වෙඩි තබා ඇති අතර ඉන් රැදවියන් 19ක් මරනයට පත් වී ඇත.

එස්ටීඑෆ් භාවිතා කරන ටී 56 හා බන්ධනාගාර නිලධාරීන් භාවිතා කරන මිලි මීටර 9 පිස්තෝලවලින් නික්මුනු හිස් උන්ඩ 271 ක් හා සිද්ධියට සම්බන්ධ ගිනි අවි 60ක් පිලිබඳ පරීක්ෂන පැවැත්වෙන බව CIDය වාර්තා කර ඇත. නිලධාරීන් සතු ගිනිඅවි පවා පැහැරගෙන තිබූ බවට වාර්තා වූ බැවින්, මහජන ආරක්ෂාව වෙනුවෙන් බලය පාවිච්චි කිරීම හැර වෙනත් මඟක් නොවූ බව රජය නිවේදනය කලේය.

ගේට්ටුවේ විවරයකින් සිය අවිය ඔබා නොපෙනෙන ඉලක්කවලට වෙඩි තබන ‘ආරක්ෂකයෙක්’

රැඳවියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය සහ ඔවුන්ට වද හිංසා පැමින වීම ගැන මානව හිමිකම් කොමිසමේ (HRCSL) නිලධාරීන්ට පැමිනිලි ලැබී ඇත‍. ඒවා ගැන සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂන සඳහා වැලිකඩ බන්ධනාගාරයට ඇතුලු වීමට ඔවුනට ඉඩ දී නැත. සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානයේ නීතිඥ කන්ඩායමට ද සිරකරුවන් මුන ගැසී පුද්ගලිකව හා රහසිගතව සාකච්ඡා කිරීමට බන්ධනාගාර නිලධරය ඉඩ නොදුන් බව නීතිඥ සේනක පෙරේරා පසු ගිය 23දා පැවැති සාක්ෂි විභාගයේ දී, මීගමුව මහේස්ත්‍රාත්වරියට පැමිනිලි කලේ ය.

කිසිම ආකාරයකින් සිරකරුවන්ගේ හඬ පිටත සමාජයට ඇසෙන්නට ඉඩක් ලබා නො දේ. පැහැදිලිව ම සාධාරන පරීක්ෂනයක් සිදු වන්නේ නැත.

රජය බලා සිටියේ මෙම අවස්ථාව ඩැහැ ගැනීමට ය. පාලනය ගිලිහී ගියේ, ධාරිතාව 600 ක් වන මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 2,400 ක රඳවා සිටී නිසා බව රජයේ නිගමනයයි. එය හුදෙක් ප්‍රශ්නය ගසා කා තමන්ට අවශ්‍ය වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමේ ප්‍රවිෂ්ඨයකි.

“ඇප නොදී හැකි තාක් සිරගත කර තැබීම හා එවන් දඩුවම් මගින් අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කල හැකිය” යන දන්ඩනීය මානසිකත්වය (Punitive mindset) පාලක පන්තිය විසින් සමාජගත කරනු ලැබේ.

උතුරු නැගෙනහිර යුද්ධය අවසානයේ එම ප්‍රතිපත්තිය, නඩු නැති ඝාතන හා සුදු වෑන්වලින් දියත් කරන ලදී. ඉන් අනතුරුව එක දිගටම ධනපති ආන්ඩුවලින් විවිධ නම් යටතේ – යහපාලන ආන්ඩුවේ මතින් තොර රටක්, ගෝඨාභය රාජපක්‍ෂගේ මතින් තොර රටක් හා මතින් තොර බන්ධනාගාර, රනිල් වික්‍රමසිංහගේ යුක්තියේ මෙහෙයුම, වර්තමාන ආන්ඩුවේ රටම එක මිටට ආදී වශයෙන් – ක්‍රියාවට නංවන ලද එකී ව්‍යාපෘතිය තබා ඇති වාර්තාව මෙසේ ය:

2000 වසරේ රඳවියන් 14,200
2015- 19,000, ඉන් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවෝ 25%- 35% අතර වෙති.
2019- 25,000- මත්ද්‍රව්‍ය වැරදි – 40%
2021- 19, 400 මෙහිදී කොවිඩ් වසංගතය මධ්‍යයේ රැඳවියන් අඩු වී ඇත.
2023 – දැවැන්ත පිම්ම – ‘යුක්තියේ’ මෙහෙයුම – 33,000 – සමස්ත රැඳිවියන් සංඛ්‍යාවෙන් 50% ක් මත්ද්‍රව්‍ය වැරදි
2026 – 42,000 – ඉන් 70%-80% අතර පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි සඳහා.

ආන්ඩුවේම වාර්තා සඳහන් කරන්නේ බන්ධනාගාර ධාරිතාව මෙන්ම තෙගුණයකටත් සිව් ගුණයකටත් අතර ප්‍රමාණයකින් ඒවා පිරී ඇති බවයි! නිදා ගැනීමේ පහසුකම, මූලික සෞඛ්‍යාරක්ෂක පහසුකම් හා නිසි ආහාර වේලකට ඇති අයිතියට අහිමි කරන ලද ලක්ෂ භාගයක් ජනයා වසංගතවලට නිරාවරනය වී කූඩු වී සිටිති. බන්ධනාගාර තුළ ක්ෂය රෝගීන්ගේ අනුපාතය පිටත සමාජයේ එම අනුපාතය මෙන් සිය ගුණයකින් වැඩිය.

සම්පූර්න රැඳවියන් සංඛ්‍යාවෙන් නීත්‍යානුකූල නඩු විභාගයකින් වැරදිකරුවන් වූ අය සිටින්නේ 30% ක් (10, 509) පමනෙකි. ඉතිරි සියයට 70 ම – 24,256 – රිමාන්ඩ් භාරයේ සිටින්නන් ය. මේ අතර වැඩි දෙනා ඇප තැබීමට, නීතිඥයන්ට විය පැහැදම් කිරීමට හා තමන්ට නියම වුනු දඩය ගෙවීමට මුදල් නොතිබූ හෙයින් සිරගත වූවන් ය.

මේ කූඩු තුල ආතතීන් වැඩි වන විට ඒවා නොවැලක්විය හැකි ලෙස පුපුරා යයි. 2020 දී මහර දී ද, 2012 දී වැලිකඩ දී ද, 2011 දී අනුරාධපුරේ දී දී ද, 2000 දී කළුතර දී දී ද සිදු වූ එය අද මීගමුවේ දී සිදු වී ඇත. මේ සෑම අවස්ථාවකම ධනපති රාජ්‍යය ප්‍රතිචාර දක්වා ඇත්තේ බුලට්වලින් සහ සත්‍යය වසං කිරීමෙනි.

බන්ධනාගාර සැමන් ටින් මෙන් පුරවන ලද්දේ “පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමට“ ය. නමුත් වඩවඩාත් ප්‍රචන්ඩ ස්වභාවයෙන්; දේශපාලනඥයාගේ හා ආරක්ෂක නිලධාරීන්ගේ සිට සදාචාරවාදයේ හා විමුක්තියේ මාර්ගෝපදේශකයා ලෙස පෙනී සිටින ආගමික සංස්ථාව දක්වා ම, ඒ සියල්ල අලලා ගෙන මෙම තත්වය පැතිරී ඇත. ගුවන් නියමුවන් මත් වී ගුවන් යානා පදවා මිනිස් ජීවිත අනතුරේ හෙලීමේ සිද්ධි ගැන ද දැන් වාර්තා වේ. බන්ධනාගාරය තුලට මත් කුඩු, දුරකථන ගෙන යන්නේ නිලධාරීන්ගේ කලු කඩය බව නො දන්නා දෙයක් නො වේ.

මෙය ධනපති ලෝකය අලලාගෙන පැතිර ගිය වසංගතයකි. මෙරට පාලක පන්තියේ පෙර ගමන්කරු වන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ආන්ඩුවේ වාර්තාව ශ්‍රී ලංකාවට දෙවැනි වන්නේ නැත.

Tackling the drugs crisis in our prisons -Sixth Report of Session 2024–26 (UK Parliament)

අපගේ බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය අර්බුදයට මුහුණ දීම – 2024–26 සැසියේ හයවන වාර්තාව (එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව)
“අපගේ බන්ධනාගාරවල නීති විරෝධී මත් ද්‍රව්‍ය වෙලඳාම සහ භාවිතය එහි ස්ථානීය ඉහලම මට්ටම් කරා ලඟා වී තිබේ. මත් ද්‍රව්‍ය භාවිතය ඉවසා සිටින, එය පිලිගන්නා, සංස්කෘතියක් පවතින අතර සිරකරුවන්ට ගැටලුවෙන් ගැලවීමට හෝ බන්ධනාගාරවලට එය සමග කටයුතු කිරීමට නො හැකි තරම් ය. මෙයින් පිලිබිඹු වන්නේ සිරකරුවන්ගෙන් 39% කට මත්ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමට හැකි බව ය. අපගේ වාර්තාවෙන් පෙනී යන්නේ, අපගේ බන්ධනාගාරවල ආවේනික මත්ද්‍රව්‍ය මට්ටම ජීවිත අනතුරේ හෙලන අතර, එම බන්ධනාගාරවල පාලනය සහ ආරක්ෂාව පවත්වා ගැනීමටත්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සිරකරුවන් ඵලදායී ලෙස පුනරුත්ථාපනය කිරීමටත් රාජ්‍ය බන්ධනාගාර සහ පරිවාස සේවයේ (HMPPS) ඇති හැකියාව අඩපන කරන බවයි… පද්ධතිය අසාර්ථක වෙමින් පවතින අතර මිනිස් වියදම පිළිගත නොහැකිය.“

ලොව කොතැනක වුවත් ධනේශ්වර පද්ධතිය විවෘත පන්ති යුද්ධය වෙනුවට සම්මුතිවාදයට ඉඩ දුන් සාපේක්ෂ සමෘධියේ අවසානය කරා පැමින සෑහෙන කාලයක් ගෙවී ඇත.

උතුරු නැගෙනහිර යුද්ධය ඉක්මනින් අවසන් කර සමෘධිමත් රටක් ගොඩ නගන බව , එවකට ජවිපෙ සහාය ලත් රාජපක්ෂ ආන්ඩුව පොරොන්දු වූයේය. ඊට ජන මාධ්‍ය, වෘත්තීය සමිති හා සෙසු ව්‍යාජ වම්මුන්ගේ සහාය ගොනු විය. කම්කරු පන්තිය වාර්ගිකව බෙදීමටත්, සංවිධානාත්මක බලය බිඳ දැමීමටත් මෙම ප්‍රතිගාමී ව්‍යාපාරය වෙහෙස නො බලා වැඩ කලේ ය.
නාමිකව වේවා, යුද්ධය නිමා වී ඇත. එහෙත් එතෙක් කලක් සකලවිධ දෝෂයන්හි ගිනුම යුද්ධයට බැර කරමින් සිටි ධනපති ආන්ඩුවලින් කම්කරු පන්තියේ, පීඩිතයන්ගේ, තරුණයන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබුනේ නැත. දැන් ශ්‍රී ලංකාව ඉහල මැදි ආදායම් ලබන රටකි. ධනපති වත්කම් ඉහල යද්දී දුප්පතුන් තවත් දුප්පත් වී ඇත.

ලංකාවේ ඉහලම ධනවතුන් සියයට 1 අත ජාතික වත්කම්වලින් 31% ක් ඒකරාශී වී පවතී. ජනගහනයේ අඩු වත්කම් සහිත දෙකෙන් පංගුව අත ඇති වත්කම් සමුච්චය සියයට 4 කට වඩා අඩුය. තරුනයන් ඉදිරියේ ඇත්තේ රැකියා නැති, ගෙයක් දොරක් නැති, බලාපොරොත්තුවක් නැති අනාගතයකි.

කුඩු රාජධානිය අඬු විහිදා පැතිරී ඇත. යුද්ධ පුහුනුව ලැබූ පොලිස් හා හමුදා සෙබලු සන්නද්ධ අපරාධකාරයන් බවට පත් ව සිටිති.

ආන්ඩුවේ පිලිවෙත, මේ තත්වයට සරිලන ප්‍රමානයෙන් බන්ධනාගාර වැඩි කිරීම ය.. ගාල්ල මහමෝදර පැරනි රෝහල වැඩි දියුනු කිරීම වෙනුවට එය බන්ධනාගාරයක් කිරීමට රජය තීරනය කර ඇත. එම බන්ධනාගාර තුළ ඇති විය හැකි කැරලි මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ආරක්ෂාව දිවයිනේ සියලුම ප්‍රධාන බන්ධනාගාර වෙත ලබාදීමට රජය පියවර ගෙන ඇත.

පාලක පන්තියට අනුව මේ වනාහී මහජන ආරක්ෂාව තර කිරීමයි.

කුප්‍රකට ඇමරිකනු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන් එය මෙසේ සූත්‍රගත කලේය:

“රජය යනු මහජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ පෞද්ගලික දේපල ආරක්ෂා කරමින් සමාජයේ සාමය පවත්වාගෙන යන මධ්‍යස්ථ බේරුම්කරුවෙකි. එසේම, සිරගෙවල් යනු එම නීතිය සහ සාමය කඩකරන, අනුන්ගේ නිදහස උදුරාගන්නා පුද්ගලයන්ට දඬුවම් කර සමාජය ආරක්ෂා කරන සාධාරණ ආයතනයකි.”
“අපරාධවලින් අහිංසක වින්දිතයන් දුක් විඳින විට, අපරාධකරුවන්ට දඬුවම් කිරීම රටේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ.”

ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නවතම වාර්තාවට අනුව, වසරකට සේවා ස්ථානවල අනතුරු හේතුවෙන් 60-80 අතර ප්‍රමානයක් මරනයට පත් වේ. 2000 ක පිරිසක් තුවාල ලබති. ඒ, ලාභ වැඩි කර ගැනීමේ අභිප්‍රාය වෙනුවෙන් ආරක්ෂක ක්‍රමෝපායයන් මඟ හැරීම නිසා ය. මේ මරණ සම්බන්ධයෙන් එක හාම්පුතෙක් හෝ එල්ලුම් ගසට නියම වූවාද?
ලෝක මට්ටමෙන් ගත් කල කුප්‍රකට බෝයිං මැක්ස් අර්බුදය ප්‍රබල සාක්ෂ්‍යයකි.

2018 ඔක්තෝබර් හා 2019 මාර්තුවල දී, Boeing 737 MAX ගුවන් යානා දෙකක් කඩා වැටී මිනිස් ජීවිත 346ක් අහිමි විය.

සමාගම් අතර තරඟය නිසා අනතුරු අවදානම සඟවා ගුවන් යානය භාවිතයට යෙද වූ බව පසුව හෙලි විය. මෙම සමූහ ඝාතනයට වග කිව යුතු අය එක දවසකට හෝ බන්ධනාගාරයක ගත කලෝ ද?

ප්‍රංශ නවකතාකරු ඇනටෝල් ෆ්‍රාන්ස් පවසන පරිදි, “නීතිය, එහි තේජාන්විත සමානාත්මතාවය තුළ ධනවතුන්ට මෙන්ම දුප්පතුන්ට ද පාලම් යට නිදා ගැනීම, වීදිවල යාචකයන් වීම සහ පාන් සොරකම් කිරීම තහනම් කරයි.”

නීතිය සියලු දෙනාට සමානව සලකන බව, පොත් පිටුවල පමනක් සඳහන් වන මායාවකි. යථාර්ථය වන්නේ, දුප්පතුන්ට පමනක් සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා සිදු කිරීමට බල කෙරෙන ක්‍රියාකාරකම් මේ නීතිය විසින් ඉලක්ක කරනු ලබන බවයි.

ධනපති අතලොස්සකගේ අවශ්‍යතාවන්ට මහජනයාගේ අවශයතා යටත් කිරීම දුප්පත් කමේ හා සමාජ අසමානතාවයේ මූලය වන අතර නීතියේ කාර්යය වන්නේ එම අපරාධය ආරක්ෂා කිරීමයි.

අප මේ ප්‍රශ්නයට ඍජුව මුහුන දිය යුතු ය. මීගමුව බන්ධනාගාර සිද්ධිය හුදෙකලා සිදුවීමක් නොව, යලියලිත් සිදුවීමට නියමිත සමාන සිද්ධි දාමයක එක් පරිච්ඡේදයකි. ඊට පිලිතුර තවතවත් සිරගෙවල් සෑදීම නොවේ. දුප්පත්කම නිසා කිසිවෙකු සිරගත නොකරන, මත්ද්‍රව්‍ය වසංගතයේ මූලයන් වන සමාජ හේතූන් උපුටා දමන, පෞද්ගලික ලාභය වෙනුවට මානව අවශ්‍යතා සපුරා ලන සමාජයක් පමනක් ඊට විසඳුම් සපයනු ඇත. ඒ සඳහා, මේ අපරාධකාරී පද්ධතිය පෙරලා දැමිය යුතු ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වීම, ධනපති පන්ති පාලනයෙන් ඉටු වනු නැත. කම්කරු පන්තිය ප්‍රධාන මහජන අරගලයක් මගින් බොරු නඩු ඇටවීම, ටාගට් ක්‍රමයට මිනිසුන් අත් අඩංගුවට ගැනීම, නීතිඥයන්ට සිරකරුවන් මුන ගැසීමට ඇති බාධා ඉවත් කිරීම වැනි මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කල යුතුු ය. මෝදර රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් බවට පරිවර්තනය කිරීමට ඉඩ නො දිය යුතුය. තරුනයන්ට සුරක්ෂිත ජීවිතයක් සහතික කල යුතුය.

මේ අරමුනු දිනන තෙක් සටන් කිරීමට සූදානම් සංවිධාන ගොඩ නැඟීමට ඉදිරියට එන මෙන් අපි කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන්, ගොවීන්, ඇතුලු සියලු පීඩිතයන්ගෙන් ඉල්ලා සිටිමු. ධනපති පන්තියේ සියලු පක්ෂ හා සංස්ථාපිත වලට එරෙහිව කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම කල් දැමිය නො හැකි අවශ්‍යතාවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top