නන්දන නන්නෙත්ති විසිනි

1970 දශකයේ මුදුන්පත් වූ විරෝධාකල්ප ගීතය යනු කිසියම් එක් රටකට පමනක් සීමා වූවක් නො වී ය. උතුරු ඇමරිකාවේ බොබ් ඩිලාන්, දකුනු ඇමරිකාවේ වික්ටර් හාරා, අප්‍රිකාවේ මිරියම් මාකේබා, වැනි කලාකරුවෝ තම තමන්ගේ දේශපාලන පසුබිම් තුල පිහිටා අයුක්තියට, අසාධාරනයට හා පීඩනයට එරෙහිව හඬ අවදි කලහ. නන්දා මාලනියගේ භූමිකාව ස්ථානගත විය යුතු වන්නේ මෙම ලෝක විරෝධතා ගීත සිතියම තුල ය.
1945 අධිරාජ්‍යවාදී ලෝක සම්මුතියේ පදනම මත ගොඩ නැගුනු සාපේක්ෂ ආර්ථික සමෘද්ධිය පැවතුනේ දශක දෙකකටත් අඩු කාලයකි. ඉනික්බිති ලෝක නය බර, විරැකියාව, දුප්පත්කම, තරුන අසහනය සහ සමාජ අසමානතාව අහස උසට නැගීමේ ආරම්භය සටහන් වූයේ ය.
එක්සත් ජනපදය, යුරෝපය සහ ආසියාව, අප්‍රිකාව හා දකුනු ඇමරිකාවේ පසුගාමී රාජ්‍ය පද්ධතිය පන්ති අරගල මාලාවකින් ඇලලී ගියේ ය. 1968 මැයි, ජුනි ප්‍රංශ සිසුන්ගේ අරගලයත් සමග නැගී සිටී කම්කරු පන්තියේ මහා වර්ජනයෙන් ප්‍රංශ ආන්ඩුව ඇද වැටීමේ අද්දරට සේන්දු වී තිබිනි. එක්සත් ජනපදයේ වර්නභේදවාදයට හා සූරා කෑමට එරෙහි සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය, යුරෝපය සහ ඇමරිකාව අලලා ගත් වියට්නාමය ආක්‍රමනය කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ ආරථික පීඩනයට, විරැකියාවට හා රාජ්‍ය මර්දනයට එරෙහි අරගල මාලාව යනාදී වශයෙන් ලෝකය අලලා ගෙන වැල නො කැඩි ඇදී ගිය මහජන අරගල රැල්ල සමග රැඩිකලීකරනයට පාත්‍ර වූ තරුන පෙල, ප්‍රගතිශීලී කලාකරුවන් හා ඔවුන්ගේ නිර්මාන සාදරයෙන් පිලි ගත්හ.
සමකාලීන ලෝක විරෝධාකල්ප ගී කලාව හා රාජ්‍ය මර්දනය
මේ නයින් පන්ති අරගලයේ ම කොටසක් වන විරෝධාකල්ප ගීය යනු කලා කරුවා සිය දිවි දෙවැනි කොට සිදු කරන ධෛර්ය සම්පන්න මැදිහත් වීමකි. පාලක පන්තියට එය ඉවසිය හැකි නො වේ. ෆෙලා කුටීගේ නිවස ගිනිබත් කිරීම, මර්සිඩිසි සෝසා සහ මිරියම් මාබේකා මව් බිමෙන් පිටුවහල් කිරීම, ෆෙඩරල් රහස් ඔත්තු සේවය බොබ් ඩිලාන්ගේ දුරකථනවලට සවන් දෙමින් ඔහු පිටුපසින් හඹා යාම, නන්දාමාලනියගේ ගීත තහනම් කිරීම හා ඇයට ජීවිතාරක්ෂාව සඳහා පැන යාමට සිදු වීම, බොබ් මාලිට පහර දීම සහ වික්ටර් හාරා ඝාතනය ආදී සිද්ධීන් මගින් පෙන්නුම් කරන්නේ එයයි. පාලක පන්තිය තුවක්කුවට වඩා මහජන ඉල්ලීමවලට හා අදහස්වලට බිය වේ..
1973 චිලියේ, ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහය ලත් ජෙනරාල් ඔගොස්ටෝ පිනොචෙට්ගේ හමුදාව, විරෝධාකල්පික ගීත රචකයෙකු, සංගීතඥයෙකු, ගායකයෙකු මෙන්ම එරට සංස්කෘතික හා දේශපාලන සංගීත ප්‍රවනතාවයේ (New Song Movement) පුරෝගාමියෙකු වූ වික්ටර් හාරාගේ ඇඟිලි සන්තියාගෝ ක්‍රීඩාංගනයේ දහස්ගනනක් සිය භාරයට ගත් මිනිසුන් ඉදිරියේ තලා පොඩිකර දැමුවේ ය. ඒ, ඒවා හාරා සිය විප්ලවීය ගී ගායනයේ ගිටාරය වැයීමට භාවිත කල ඇඟිලි වූ නිසාවෙනි. එම වදක භූමියේ දී මරනය අභියස වුව හාරා “අපි ජය ගන්නෙමු“ නම් ගීතය ලියා තිබිනි, (Venceremos) වෙඩි පහරට සූදානම් වෙමින් ඔහු එය ගායනා කරද්දී වෙඩි සැර 44 ක් ඔහුගේ සිරුර පසා කර යවමින් ඔහු ඝාතනය කල බව සුප්‍රකට ය.

“නගරයේ මේ කුඩා කොටසේ අප පන්දහසකි“
“බිජු වපුරන සහ කම්හල් පවත්වා ගෙන යන අත් දසදහසක් මෙතැන පමනක් ඇත.“
“මනුසත් බව, කුසගින්නට, සීතලට, භීතියට, වේදනාවට, සදාචාරාත්මක පීඩනයට, ත්‍රස්තයට සහ උමතුවට නිරාවරනය වී ඇති තරම කොපමන ද? “
“ෆැසිස්ට්වාදයේ මුහුන ඇති කරන භීතිය කොතරම්ද?
ඔවුන්ට රුධිරය පදක්කම් හා සමාන ය – ඝාතනය වීර ක්‍රියාවකි“
“මෙක්සිකෝවේ කියුබාවේ හා ලෝකයේ මේ හඬ පතුරුවා හරින්න,“
හාරා චිලියේ “ඇමරිකන් විරෝධී“ ජනාධිපති සැල්වදෝර් ඇලන්ඩේ බලයට පත් කිරීමට වැඩ කල කොමියුනිස්ට්වාදියෙකු වූ අතර මේ අවස්ථාව වන විට පිනෝචෙට් හමුදා ඇලන්ඩේ ඝාතනය කර තිබිනි.
“අපේ ජනාධිපති සගයාගේ රුධිරය බෝම්බවලට හා මැෂින් තුවක්කුවලට වඩා බලගතුව පහර දෙනු ඇත.“
එබැවින්, නැවතත් අප අත් මිට මෙලෙවෙනු ඇත!“ ලෙස ගීතයේ අවසන් පදයෙන් හාරා, සටන අවසන් නැති බව කියා ගර්ජනා කලේ ය. So will our fist strike again!
ඒ අර්ථයෙන් හාරා නිවැරදි විය. ඔහු මරා දැමීමෙන් වසර 36කට පසුවත්, එනම් 2019 දී, ආර්ථීක පීඩනයට එරෙහිව පැන නැගී චිලියේ මහජන කැරැල්ල පිනොචෙට් ආන්ඩුවේ 1980 ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස ඉල්ලා සිටි අතර, එම කැරැල්ල වියට්නාමයේ ඇමරිකානු ආක්‍රමනයට ප්‍රතිචාර වශයෙන් “සාමකාමීව ජීවත් වීමේ අයිතිය“ ගැන ඔහු ගැයූ සුප්‍රකට ගීය යලි කරලියට ගෙන ආවේ ය.
සමාජ පන්තිවල පැවැත්ම නො තකා, සාමකාමී සහජීවනය උදෙසා සිය නිර්මාන කෞශල්‍යය ප්‍රචලිත කල ලෝක ප්‍රකට බොබ් මාලි, ජාතික සමාජවාදියෙක් වූ වික්ටර් හාරාට වඩා නන්දා මාලනියට සමීප ය. නමුත් රෙගේ ගීත ප්‍රවනතාවයේ ඉමහත් ආකර්ශනීය වූ හා එම නව සංගීත රටාවට ලෝකය දිනා ගත් සංගීතඥයා වූ බොබ් මාලි, නන්දා මාලනිය මෙන් දේශප්‍රේමී කොටු පවුර තුල නො රැඳුනේ ය.

So much trouble in the world- 1979 survival ඇල්බමයේ අඩංගු, ලෝකය විපත්තිදායක තැනක් වී ඇති බව කියන මේ ගීතය අනුව මෙසේ කියැවේ: මිනිසුන් පටු ආත්මාර්ථකාමය නැමති යානයේ නැගී යනවා ඔබ දැක ඇත. යථාර්ථයෙන් සැතපුම් මිලියන ගනනක් ඈතට යන ඔවුනට ඔබ හෝ මා ගැන තැකීමක් නැත. ඔබ විසඳුම් ලෙස දකින්නේ මායාවන් ය. මොන දේ වුනත් වීදියේ දිවි ගෙවන දුප්පතුන් වන අපට ඒ දවසට මුහුන දීමට සිදුවේ. අපි සටන් වදින්නෝ වෙමු. දැන් ඔවුන් සිටින්නේ කාල බෝම්බයක් මත ය. කාලය පැමින ඇති බව මම දනිමි. ඉහල ගිය දෙය යලි බිමට පාත් විය යුතු ය. කැරකෙන දෙය සිටි තැනට පැමිනිය යුතු ය.
මාලි A hungry mob is an angry mob ගීතයෙන් දුප්පත්කම කැරලිවලට හේතු වන බවත් යුද්ධය (War) නමැති ගීතයෙන් වර්ගවාදය හා කුලභේදය පවතින තාක් යුද්ධය නො වැලැක්විය හැකි බවත් සංකල්පනය කර තිබේ.
Buffalo Soldiers (1983 Confrontation) ඇල්බමය, සිවිල් ඇමරිකානු ඉතිහාසයේ අඳුරු පිටුවක් දිග හරියි. සිවිල් යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදීහු කලු ජාතිකයන් වහල් සේවයට ද මුල් පදිංචි කරුවන් වන රතු ඉන්දියානුවන්ට එහෙිව යුද්ධයට ද ඇද දැමූහ. ජීවිතය සඳහා වහලුන් හා සොල්දාදුවන් ලෙස සටන් කිරීමට සිදු වීම, පීඩිතයන් මර්දනයට පීඩිතයන් ම යොදවා ගැනීම සහ සමස්ත සමාජ අසාධාරනය පරාජය කර කල් පවතින සාමය සමග ලෝක පුරවැසිභාවය, ජාත්‍යන්තර සදාචාරයේ පාලනය වැනි සංකල්ප එම ගීතයට විශ්වීය ආකර්ෂනයක් ගෙන දුන්නේ ය. “Get Up, Stand Up”, “One Love”, “Redemption Song” ආදී වශයෙන් ලොවක් ආදරය කල මෙම ගීත සියල්ලටම පොදු සීමාවක් විය. මාලි සමාජ ප්‍රශ්න දෙස බැලුවේ ආගමික අධ්‍යාත්මික හා මානුෂික කෝනයකිනි.
මිනිස් මනස දූෂනයෙන් නිදහස් කිරීම ඔහුගේ කලාවේ අරමුන විය, “None but ourselves can free our minds” යනුවෙන් ඔහු සිය අපූර්ව සංගීත ස්වර සංකලනයට, තාලයට හා සුවිශේෂී රිද්මයට ස්වකීය ලතෙත් හඬ මුසු කලේ ය. ආයුධ වෙනුවට අධ්‍යාත්මිකව හා සංගීතයෙන් සමාජ අසාධාරනයට එරෙහිව සටන් කිරීම බොබ් මාලි අනුගිය රස්තෆාරී ආගමික අනන්‍යතාවයේ නියෝජනයකි.
මේ දක්වා අප නිදසුන් කොට දක්වා ඇති පරිදි ලොව පුරා සංගීතඥයෝ, යුද්ධය, පීඩනය, දරිද්‍රතාව සහ ඒකාධිපතිත්වයට එරෙහිව හඬ නැගූහ. මෙම සංසිද්ධිය හුදු අතීතාවර්ජනයක් එනම් “ස්වර්නමය යුගයක්“ පිලිබඳ ස්මරනයක් හෝ සුවිශේෂී නො වන කාරනයක් ලෙස වටහා නො ගත යුතු බව අපගේ පාඨකයා දැනටමත් තේරුම් ගෙන ඇතැයි සිතමු. එනමුත් එය, දැනටමත් අප සාකච්ඡා කල පරිදි, එයට තුඩු දුන් පන්ති බලවේගවල සහ එහි ගමන් පථය හැඩ ගැස් වූ දේශපාලන සීමාවන්ගේ දෘෂ්ටි කෝනයෙන් සංයුක්තව විශ්ලේෂනය කිරීම මග නො හැරිය හැකි ය.
විශේෂයෙන් හැට හැත්තෑ ගනන්වල අරගලයේ යෙදුනු මිනිසුන්ට හා ගැහැනුන්ට ස්වකීය අත්දැකීම් සහ අභිලාෂයන්ට ප්‍රකාශනයක් අත්කර දෙන සංගීත පිපාසාවක් පැවතුන නමුත්, මෙම කලාකරුවන් බොහෝ දෙනෙක් ක්‍රියාත්මක වූ දේශපාලන රාමුව පැවතුනේ ස්ටැලින්වාදය, කැස්ත්‍රෝවාදය, මාඕවාදය හෝ නව වමේ විසිරුනු සුලු ධනේශ්වර රැඩිකල්වාදය තුළ ය. එය මේ කලාකරුවන්ගේ කෘතිවල අන්තර්ගතය හා ඉරනම යන දෙකම මූලික වශයෙන් හැඩ ගස්වා ඇත.
සුප්‍රකට ඇමරිකානු පොප් ගායක පීට් සීගර් මෙන් ම චිලියේ වික්ටර් හාරා ද හැඩ ගස්වනු ලැබුවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය තුල ය. සීගර්ගේ ජීවිත කාලය පුරාම පැවති, කම්කරු පන්තිය ධනේශ්වරයේ ඊනියා ප්‍රගතිශීලීන්ට යටත් කල, ජනප්‍රිය මහජන පෙරමුනු දේශපාලනය අද දින කම්කරු පන්තිය මුුහුන දෙන දේශපාලන ව්‍යාකූලත්වයට මාවත කැපීමට උපකාරී විය.
වික්ටර් හාරාගේ ඉරනම තීන්දු කල එරට කොමියුනිස්ට් පක්ෂයේ පිලිවෙත ගැන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පෙන්වා දී ඇති පරිදි, ඇලන්ඩේ දක්ෂිනාංෂික කුමන්ත්රනයට ගොදුරු වූවා නො වේ, ඔහුගේ රජය පැවැති එකී කැලඹිලි සහිත කාල පරිච්ඡේදය තුළ කම්කරු පන්තිය දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහන ආරක්ෂා කිරීමට හැකියාව පැවති එකම බල වේගය වූ එම කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම ක්‍රියාකාරීව මර්දනය කිරීම මගින්, එය තමන්ගේම විනාශය කැන්දා ගත්තේ ය.
අපගේ සාකච්ඡාවට බඳුන් වූ කලාකරුවන් විසින් අනුගමනය කෙරුනු දේශපාලන සංවිධාන ධනවාදයට විප්ලවීය විකල්පයක් වූයේ නැත. ඒ වෙනුවට ඒවා ස්වාධීන කම්කරු ව්‍යාපාරයක වර්ධනය වැලැක්වූ බාධකයෝ වූහ.
1980-1990 දශක වන විට මෙම පුද්ගලයන්ගෙන් අතිමහත් බහුතරය ධනේශ්වර සමාජය සමග සාමය ඇති කර ගෙන තිබිනි. ඔබාමාගේ පදවි ප්‍රාප්ති උත්සවයේ පීටර් සීගර් ගායනයෙන් සහාය විය. බොබ් ඩිලන් ජනාධිපති නිදහස් පදක්කම ලබා ගත්තේ ය. ආජන්ටීනාවේ “පීඩිතයන්ගේ හඬ“3 (The Voice of the Voiceless) විරුදාවලියට හිමිකම් කී මර්සිඩීස් සෝසා, ගිල්බර්ටෝ ගිල් ලූලාගේ ධනවාදී කම්කරු පක්ෂ රජයේ සංස්කෘතික අමාත්‍ය ධූරය පිලි ගත්තා ය.

මේ වනාහි පුද්ගලික පාවා දීමක් නො වේ. මෙම කලාකරුවන් බැඳී සිටි දේශපාලන ප්‍රවනතාවල තාර්කික අවසාන ලක්ෂ්‍යය එයයි. කම්කරු පන්තිය තුල ස්ථිර පදනමක් හෝ රාජ්‍යය පිලිබඳ විද්‍යාත්මක අවබෝධයක් නො මැති සුලු ධනේශ්වර රැඩිකල්වාදය, මහජන අරගලයේ පීඩනය අඩු වූ විට අනිවාර්යයෙන් ම ධනේශ්වරය දෙසට ආ පසු හැරී යයි.

කලාව දේශපාලනය සහ පන්ති විඥානය අතර පවත්නා අපෝහක සබඳතාව
කලාව හා පන්තිමය දේශපාලනය අතර පවත්නා සම්බන්ධතාව යන්නෙන් අදහස් වන්නේ කලාකරුවා අනිවාර්යයෙන් ම කිසියම් මාක්ස්වාදී ක්‍රියාකාරීත්වයක නියැලෙන සාමාජිකයෙකු විය යුතු බව නො වේ. සෞන්දර්යවේදය සතු ස්වාධීන් නීති මෙන් ම, යථාර්ථය ග්‍රහනය කර ගැනීම සඳහා වූ ඊටම අනන්‍ය විධික්‍රමයන් ද කලාව සතුව පවතී. එම නිසා, විශිෂ්ට ගනයේ කලා කෘතියක් යනු දේශපාලන ප්‍රකාශනයක් හෝ දෘෂ්ටිවාදාත්මක නිබන්ධනයක් නො වන බව වටහා ගත යුතු ය.
කෙසේ වුව ද කලාව හැම විටම පන්තිමය ව්‍යුහයකින් යුක්ත සමාජ සන්දර්භයක් තුල නිර්මානය වන්නකි. මේ හේතුවෙන්, අදාල යුගයේ පවතින මූලික සමාජ ඝට්ඨන හා ප්‍රතිරෝධතා සමග කලාකරුවා පවත්වන සබඳතාව – එය සවිඥානක හෝ අවිඥානක වුව ද – නිර්මානයේ ස්වභාවය තීරනය කිරීමෙහි ලා බලපානු ලබයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කලා විචාර අංශයේ ප්‍රමුඛ න්‍යායාචාර්යවරයෙකු වන ඩේවිඩ් වොල්ෂ් “කලාව හා සමාජවාදය“ පිලිබඳ සිය දේශනයේදී පෙන්වා දෙන්නේ, මාක්ස්වාදය කලාව තුලින් අපේක්ෂා කරන්නේ මෙම ලෝකයේ යථාර්ථය සර්වපාක්ෂිකව නිරීක්ෂනය කිරීම හා නිරූපනය කිරීම බවයි.
මෙම තත්වය 19 වන සියවසේ විසූ ඔනරේ ඩී බලිසාක්, ලියෝ ටෝල්ස්ටෝයි, සහ චාල්ස් ඩිකන්ස් වැනි ශ්‍රේෂ්ඨ ධනේශ්වර යථාර්ථවාදී ලේඛකයන්ගේ නිර්මාන තුලින් මනාව පැහැදිලි වේ. පෞද්ගලික හෝ සවිඥානක මට්ටමින් ප්‍රතිගාමී දේශපාලනික ස්ථාවරයන් දැරුව ද ඔවුහු තමන් ජීවත් වූ යුගයේ සමාජ ප්‍රතිරෝධතා සත්‍යවාදී ලෙස ගවේෂනය කිරීමටත්, ඒවා සිය නිර්මාන පථයට ඈඳා ගැනීමටත් සමත් වූහ. ඔවුන්ගේ කෘති සර්වකාලීන අගයකින් යුක්ත වීමට බල පෑ ප්‍රධානම සාධකය වූයේ එම වෛෂයික ප්‍රවේශයයි.
1960 -1970 දශකයන් තුල ගොඩනැගුනු විරෝධතා ගීත ව්‍යාපාරය, කලාකරුවා වෛෂයික සමාජ යථාර්ථය සමග සක්‍රියව බද්ධ විය යුතු බව තහවුරු කල සංධිස්ථානයක් නියෝජනය කරයි. මෙම සාහිත්‍යයික හා සංගීතමය ප්‍රවනතාවයේ විශිෂ්ටතම නිර්මාන ලෙස සැලකෙන පීට් සීගර්ගේ “හැරී සිම්ස්ගේ මරනය“ (The Death of Harry Sims), මෙර්සිඩෙස් රෝසාගේ “ග්රේසියස් අ ලා විඩා“ වන් ගීත තව බොහෝ තිබේ.
Come and listen to my story, come and listen to my song
I will tell you of a hero, who’s now dead and gone
I will tell you of a young boy, whose age was nineteen
He was the bravest union man, that I have ever seen
Harry Simms was walkin’ down the track, one bright sun-shiney day
He was a youth of courage, his step was light and gay
He did not know the gun thugs was hiding on the way
To kill our brave young comrade this bright sun-shiney day ..
.. He gave his life in struggle, that was all that he could do
He died for the union, also for me and you
අසනුය මේ කතාව – අසනුය මේ ගීතය
කියනෙමි විරුවෙකු ගැන – මලගිය විරුවෙකු ගැන
එකුන් විසි වියේ පසුවුන – කියනෙමි තුරුනෙකු ගැන
ඔහු විය යුනියන්කරුවා එඩිතර ගුණයෙන් සසැදුන
හැරී සිම්ස් – හිරු දිදුලන එක් දිනයෙක
පිය නැඟුවා සතුටු සිතින් සැහැල්ලුවට
නොම දැන ඔහු එන පිය මඟ රැක සිටිනා
තුවක්කු ගත් මැරයන් ගැන
දිවි පිදුවා අරගලයේදී – කළ හැකි හැම දේ කරමින්
දිවි පිදුවේ ඔහු අපගේ සමිතිය වෙනුවෙන්
ඔබ වෙනුවෙන් හා මා වෙනුවෙන්
(පීට් සීගර්ගේ “හැරී සිම්ස්ගේ මරනය“ – පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු)
Thanks to life, which has given me so much
It has given me the ear that in all its width
Record night and day, crickets and canaries
Hammers, turbines, barks, showers
And the tender voice of my beloved
තුටු වේවා දිවියට – බෝ දේ ලැබ දුන් මට
එය ලැබ දුන් සවනින් මට –
ඇසේය රෑසින් හඬ – කැනරි කුරුල්ලන් හඬ
මිටි පහරක මහ හඬ – ටර්බයිනෙක ගුම් හඬ
බල්ලන් බුරනා හඬ – වැසිපොද ඉසිරෙන හඬ
මා පියයා අමතන – ආදරබර මුදු හඬ
(මෙර්සිඩෙස් රෝසාගේ “ග්රේසියස් අ ලා විඩා“ – පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු)

ශ්‍රී ලංකාවේ ජනයා අතර ප්‍රචලිත පැරනි ආකෘතියක් පෙරලා සුනිල් ආරියරත්න විසින් පද රචනය කල, නන්දා මාලනිය ගැයූ, ඔස්ටින් මුනසිංහයන් ලයාන්විත සංගීත නිර්මානය “සීතල පොලවම සිරී යහනක් වේවා“ ගීතය ද මේ නිර්මාන අතර තැබීමට වටී.
සීතල පොලොවම සිරි යහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර් මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත් පත දිව බොජුනක් වේවා
මා මුර ගෑවේ පිහිටක් අයැදින්ටයි
ධන වැද්දෙකුගෙන් බඹසර රැකගන්ටයි
ඔබ දිව ආවේ මා දිවි ගලවන්ටයි
අවි එසවූයේ යුක්තිය විසඳන්ටයි
දිලිඳු ලඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපේ උන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ
තුලාව ගෙන නෙත් යුග බැඳ රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
ඔබ වන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතකින්
මරා දමමි ඇය මරා දමමි සැනෙකින්
එම නිර්මානවල පැවැත්මට හේතු වී ඇත්තේ, පන්තිමය සූරා කෑම සහ දේශපාලන අරගලයන්ගෙන් සමන්විත සමාජ පසුබිමක ජීවත් වූ මිනිසාගේ සැබෑ ආත්මීය අත්දැකීම්වලට උසස් කලාත්මක ස්වරූපයක් ලබා දීමට ඒවා සමත් වී තිබීමයි. එම නිසා, එම නිර්මානකරුවන්ගේ දේශපාලන හෝ සවිඥානික සීමාවන් මගින් එම සෞන්දර්යාත්මක කෘතිවල අගය කිසි සේත් ම ඌනනය නො වේ.
විරෝධතා ගීත ව්‍යාපාරයේ දෘෂ්ටිවාදාත්මක සීමාවන්
කෙසේ වුවද, මෙම කලාත්මක ප්‍රවනතාවයන් සතු වූ දේශපාලනික සීමාවන් නිර්මානවල ව්‍යුහාත්මක සීමා නිර්නය වීමට ද බලපෑවේය. අව්‍යාජ විප්ලවවාදී දේශපාලන රාමුවක් නොමැතිකම හේතුවෙන්, විරෝධතා ගීත ව්‍යාපාරයට සමාජ කෝපය සහ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට හැකි වුව ද, විප්ලවීය ඉදිරි මාවත පෙන්වා දීමට නො හැකි විය. එහි න්‍යායාත්මක සීමාවන් ප්‍රධාන කරුනු තුනක් ඔස්සේ හඳුනාගත හැකිය.
- අධිරාජ්‍යවාදයට එරෙහිව වියට්නාම් යුද්ධය වැනි අධිරාජ්‍යවාදී මැදිහත්වීම් හෙලා දුටුව ද, එය අවසන් කල හැක්කේ ජාතික ධනේශ්වරයට එරෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් බව වටහා දීමට මෙම ව්‍යාපාරය අසමත් විය.
- පීඩිතයන්ගේ මානුෂීය ගෞරවය අගය කලද, ධනේශ්වර රාජ්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරනය කිරීමෙන් පලක් නොවන බවත්, එය සහමුලින්ම පෙරලා දැමිය යුතු බවත් කම්කරු පන්තියට අවබෝධ කර දීමට ඔවුනට නො හැකි විය.
- උපායමාර්ගිකව ගත් කල, කම්කරු පන්තිය වෙනුවට ගොවි ජනතාව සහ රැඩිකල් සුළු ධනේශ්වරය ආදේශ කල “ගරිල්ලාවාදයේ” විනාශකාරී ප්‍රතිවිපාක හඳුනා නො ගෙන, චේ ගුවේරා වැනි චරිත හුදෙක් උත්කර්ෂයට නැංවීමට පමනක් මෙම ව්‍යාපාරය කටයුතු කලේ ය.
සමකාලීන කලාත්මක ප්‍රකාශනය හා විප්ලවවාදී දේශපාලන ප්‍රකාශනය
සමකාලීන සංස්කෘතික අවකාශය තුල කලාව හා දේශපාලනය අතර පවතින සබඳතාව සංකීර්න මෙන්ම තීරනාත්මක පරිවර්තනීය අවධියකට එලඹ තිබේ.වර්තමාන ව්‍යාජ වාම ප්‍රවනතාවන්ගේ මූලික ලක්ෂනය වන්නේ, කලා කෘතියක අන්තර්ගතය කලාත්මක සාරය සහ වෛෂයික ගුනය විවේචනයට ලක් කරනු වෙනුවට නිර්මානකරුවාගේ අනන්‍යතා දේශපාලනයේ සීමාසහිත භාවය ප්‍රතිනිශ්පාදනය කිරීමයි. අනෙක් අතින් ආයතනික හා ප්‍රාග්ධන කේන්ද්‍රීය සංගීත කර්මාන්තය විසින් පද්ධති විරෝධී විසම්මුතික මියුරු කට හඬවල් තමන් වෙත අවශෝෂනය කරගනිමින් ඒවායේ පවතින රැඩිකල් දේශපාලන විභවය අඩපන කරනු ලබයි.
කෙසේ වුවද, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන අධිරාජ්‍යවාදී යුද්ධ, ආර්ථික කප්පාදු සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකත්වයන්ට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය තුලින් පැන නගින විරෝධතාවන් සැබෑ විවේචනාත්මක කලාවක පුනරුදයක් සදහා අවශ්‍ය වෛෂයික කොන්දේසි නිර්මානය කරමින් පවතී. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි, වත්මන් සංගීතඥයන් සම්ප්‍රදායික පටිගත කිරීමේ මැදිරිවලින් ඔබ්බට යමින්, ගෝලීය මහජන විරෝධය නිරූපනය වන ප්‍රබල සමාජ දේශපාලන ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට පෙලඹී ඇත. (Popular music in 2025: Signs of resistance emerge amid war, fascism and corporate conformity)
මෙහිදී වත්මන් කලාකරුවාගේ කාර්ය වන්නේ හැටේ දශකයේ විරෝධතා ගීත රැල්ල හුදෙක් අනුකරනය කිරීම නො වේ. මන්ද, එම ව්‍යාපාරය ඒ අවධියට පමනක් සීමා වූ අතර එහි යම් දේශපාලන අඩුපාඩු කම් පැවතිනි. ඒ වෙනුවට වත්මන් කලාව මහජනතාවගේ සැබෑ විමුක්තිය සහ නිවැරදි සමාජවාදී දේශපාලන වැඩපිලිවෙලක් සමග බද්ධ විය යුතු ය. මෙයින් අදහස් කරන්නේ කලාව දේශපාලන මෙවලමක් බවට පත් කර ගැනීම නො ව කලාකරුවාට සමාජ යථාර්ථය නිවැරදිව දැකීමට සහ එය අවංකව හා නිර්ව්‍යාජව ප්‍රතිනිර්මානය කිරීමට අවශ්‍ය කරන දේශපාලන පැහැදිලිකම ලබා දීමයි.
1960-70 අත්දැකීම දෙස බැලීමේ දී, සමාජ අර්බුදය උග්‍ර වන විට දක්ෂ කලාකරුවන් විශාල පිරිසක් පීඩිත ජනතාවගේ පාර්ශ්වය තෝරා ගත් බව පැහැදිලි වේ. එහෙත් එකල පැවති ඇතැම් දේශපාලන ව්‍යාපාරවල (ස්ටැලින්වාදය සහ නව වාමාංශික ප්‍රවනතා) වැරදි මග පෙන්වීම් නිසා එහි සාධනීය කලාත්මක පිබිදීම වඳවී ගියේ ය. එබැවින් අනාගත රැඩිකල් කලාකරුවන්ගේ රැල්ල සමාජය යහපත් අතට හැරවීම උදෙසා කම්කරු පන්තියේ සැබෑ විද්‍යාත්මක හා විප්ලවවාදී නායකත්වය සමග අත්වැල් බැඳ ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ උදෙසා සටන් වැද සිටින එකම ව්‍යාපාරය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යි.
සමාප්තයි.
