නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – II

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ පරිච්ඡේද හතක් මේ දක්වා පරිවර්තනය කර පළ කළෙමු. තරමක දීර්ඝ පරිච්ඡේදයක් වන අටවැන්න කොටස් පහකින් පළ කිරීමට බලා පොරොත්තු වෙමු.

ඒ අනුව අද පළ කෙරෙන්නේ අටවැනි පරිච්ඡේදයේ දෙවැනි කොටසයි.

මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

8. ඇබර්න්වාදය: ව්‍යාධියක ඉතිහාස වාර්තාව – II කොටස

අප කිසිවෙකුට කිසිදා අමතක කිරීමට අසමත්ව ඇති මෙම කරුණු ප්‍රතික්ෂේප කිරීමට දැන් වෑයම් කිරීමේ දී ෂැට්මන් හිතාමතා ම පක්‍ෂයට වංචා කරයි. සෑම කල්හි ම, “සාමාන්‍ය” කාලවල දී පවා, ඔවුන් පක්‍ෂයේ නායකත්වය තුළ නො රිස්සුමේ හා කරදරකාරීත්වයේ නිත්‍ය ප්‍රභවයක් ව සිටි අතර, සෑම බැරෑරුම් කණ්ඩායම් අරගලයක දී ම ඔවුහු එහි එක්සත්කමට තර්ජනයක් වූහ. ‘එවැන්නක් නො පවතින’ ඇබර්න්ගේ කල්ලිය, නායකත්වය තුළ; විශේෂයෙන් ම මෙකී ෂැට්මන් හා බර්න්හැම් – හා කැනන් අතර; යලියලිත් සිදු කළ කතාබහවල විෂයය වී තිබිණ. ඇබර්න්ගේ නිමක් නැති කූට ප්‍රයෝග ගැන, ඔහුගේ ද්‍රෝහීත්වය ගැන, මූලධර්මාත්මක උත්සුකයන්ගෙන් තොර වූ ඔහුගේ කණ්ඩායම්වාදය ගැන, හා කොමියුනිස්ට්වාදයේ ජීව ගුණයට ආගන්තුක වූ ඔහුගේ එදිරිවාදුකම් පිරිමැසීමේ හා “පළි ගැනීමේ” නීච අභිචේතනයන් ගැන සඳහන් කරමින් බර්න්හැම්, ඔහු “ඇමරිකානු ස්ටැලින්”වරයෙකුගේ මූලාරම්භක අවස්ථාව ලෙස ලක්ෂණනය කළේ එක් වරක් පමණක් නම් නො වේ.

අප අතරින් ඇබර්න් ගැන සැබැවින්ම දැන සිටි කිසිවෙකු, පක්‍ෂ නායකත්වයට ඔහු ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් ඉතා ඉහළ තක්සේරුවක් තැබුවේ නැත.  ඉදින් ඔහු දේශපාලන කමිටුවේ සාමාජිකයෙකු ලෙස පිළිගැනීමට අප එකඟ වීමු නම්, ඒ ඔහුගේ දේශපාලන ප්‍රතිපදානයන් සඳහා නො වේ; ඔහු කිසිදා එවැනි එකකුදු සිදු කර නැත. නිසැකව ම ඒ, ඇබර්න් කණ්ඩායම “යනුවෙන් හැඳින්විය හැකි දෙයක් නැති වීම” නිසා ද නොවේ. සත්‍යය එහි ප්‍රතිබද්ධයයි. නිරවද්‍යව ම කිවහොත් අප විසින් ඔහු දේශපාලන කමිටුවට භාර ගැනුනේ ඔහු කණ්ඩායමක් නියෝජනය කළ බව අප දැන සිටි නිසා එම කණ්ඩායමට සහනයක් දීම් වශයෙනි. එනම්, එය සෑහීමකට පත් කිරීමේ ප්‍රයත්නයක් හා ඒ අතරතුර ම අප පරාජිත විරුද්ධවාදීන්ට එරෙහිව වෙනස්කම් නො කරන බව පෙන්වා දීම මඟින් එය නිරායුධ කර දැමීම සඳහා ය. අප විසින් ඔහු දේශපාලන කමිටුවට පිළිගැනුණේ තවත් හේතුවක් නිසා ය. ඒ, අප ඔහු විශ්වාස කළ නිසා නො ව, අපට ඔහු දෙස ඉතා ප්‍රවේශමෙන් බලා සිටිය හැකි ස්ථානයක ඔහු තැබීමට අපට අවශ්‍ය වූ නිසා ය. මේ තතු ආශ්‍රිත කරුණු එබඳු වන අතර, ෂැට්මන් තරම් හොඳින් මේ බව දන්නා අනෙකෙකු නැත.  

අපට අතිශය රහසිගත ස්වභාවයේ කරුණු සලකා බැලීමට තුබූ අවස්ථාවන්හි දී, හුදෙක් වරක් හෝ දෙ වරක් නො ව නැවත නැවතත්, නිළ දේශපාලන කමිටු රැස්වීමට පෙර නො නිළ වශයෙන් අපි එකී කරුණු විසඳා ගෙන ඇත්තෙමු. දේශපාලන කමිටුවේ රහස්‍ය කරුණු රැකීමෙහි ලා අපි ඇබර්න් මත රඳා නො සිටියෙමු. එක් වරකට වඩා වැඩි අවස්ථාවන්හි, මෙම පූර්වාරක්ෂාව අපෙන් ගිලිහී ගිය කල්හි, එම නො සැලැකිල්ල පිළිබඳව කණගාටුවීමට අපට හේතු එළැඹි තිබිණ. ඇබර්න් විසින් යලියලිත් රහසිගත තොරතුරු ඔහුගේ කල්ලියේ සාමාජිකයන් වෙත සම්ප්‍රේෂණය කර තිබින. මෙය, මෙම ඊනියා ‘හිංසාවට පාත්‍ර වූ’ “දෙවැනි පන්තියේ පුරවැසියන්” විසින් භුක්ති විඳින ලද එක් වරප්‍රසාදයකි. ඔවුහු එම තොරතුරු වඩාත් පුළුල් කවයන් අතට, ඇතැම්විට අපේ සතුරන්ගේ අතට, පත් කළෝය.        

චිකාගෝ නියෝජිත රැස්වීමෙන් අනතුරුව පත් කර ගන්නා ලද දේශපාලන කමිටුවේ “මුළු සාමාජික සංඛ්‍යාව වූ හත් දෙනෙකුගෙන් හතර දෙනෙකු ම – එනම්, එහි බහුතරයක්! ‘- හිටපු ඇබර්න්වාදීන්’ වූ බව” සඳහන් කරමින් ඇබර්න් කණ්ඩායමක් නො වීයැයි ඔප්පු කිරීමට ෂැට්මන් දරන තැත ද එතරම් ම වංචාකාරී ය. මෙම “හිටපු-ඇබර්න්වාදීන්” වූයේ ඇබර්න්, වයිඩික්, මැකිනි හා ගෝල්ඩ් ය. ප්‍රථමයෙන් ම, ඔවුන්ට බහුතරයක් ලබා දීමේ සැළසුමක් නො වීය; වයිඩික් පත් කර ගැනුනේ දේශපාලන කමිටුවේ සාමාජිකයෙකු ලෙස නො ව, ෂැට්මන් විසින් නම් කරන ලද අපේක්ෂක සාමාජිකයෙකු ලෙස ය. රැස්වීම් වාර්තා සටහන් වල දැක්වෙන පරිදි ඒ, “ෆැරල් ඩොබ්ස්ට සිය වගකීම් භාර ගත හැකි වන තෙක් කම්කරු ලේකම් ලෙස කටයුතු කිරීමට ඔහුට හැකි වනු පිණිස” ය. ෆැරල් ඩොබ්ස් දේශපාලන කමිටුවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස තේරී පත් වී සිටි අතර, ඔහු මධ්‍යස්ථානයට පැමිණීම වළක්වා ලූ වෙනත් හේතූන් මත ඔහුට එම සේවය ඉටු නො කළ හැකි ව තිබිණ. අපේක්ෂක සාමාජිකයෙකු ලෙස පළමුව යෝජනා වූ ගෝල්ඩ්මන්ට ද එලෙස ම ඒ දිනවල නිව්යෝර්කයට පැමිණීමට නො හැකි තතු එළැඹී තිබිණ. දෙවනුව මෙම දේශපාලන කමිටුව සඳහා තේරීම සිදු කෙරුනේ දේශපාලන පදනමක් මත නො ව, ක්‍රියාකාරීත්වය පිළිබඳව සැළකිලිමත් වෙමිනි. ඒ කාලයේ නිව්යෝර්ක්හි දිස්ත්‍රික් සංවිධායකයා වූ මැකිනි ඔහුගේ කෘත්‍යයන් හේතුවෙන්, දේශපාලන කමිටුවට පත් කිරීම අත්‍යවශ්‍ය ලෙස සලකන ලදී. ගෝල්ඩ් සම්බන්ධයෙන් ගත් කල, ඔහු තෝරා ගන්නා ලද්දේ YPSL (තරුණ සමාජවාදී ලීගයේ) ජාතික කමිටුව විසිනි. ෂැට්මන් නො තකා හැර ඇති මෙකී වාර්තාගත කරුණු, කමිටුව තුළ බහුතරය හිටපු-ඇබර්න්වාදීන්ට ලබා දීමේ සැළසුමක් නො වූ බව පෙන්වා දීමට ප්‍රමාණවත් ය.

බී.ජේ. වයිඩික් – ඡායාරූපය Marxists.org වෙබ් අඩවියේ අනුග්‍රහයෙනි

ඇබර්න්වාදීන් සිව් දෙනෙකු අවසානයේ කමිටුවට ඇතුලත් වූ තතු උදා වූයේ, කෘත්‍යයන් සඳහා ඔවුන් තෝරා ගත් හෙයින් හා ඩොබ්ස්ට හෝ ගෝල්ඩ්මන්ට මධ්‍යස්ථානයට පැමිණීමට නො හැකිව පැවැති හෙයින් වන අතර, අප මෙම ප්‍රතිඵලය සම්බන්ධයෙන් විරෝධතාවයක් පළ කළේ නැතැයි යන කරුණ කවර ආකාරයකින්වත් ඇබර්න් කල්ලියක් “නො පැවැතීම” සනාථ නො කරයි. එයින් සනාථ වන්නේ ඔවුන්ගේ පැරැණි වැරැදි හේතුවෙන් මෙම කෘත්‍යයන් ඔවුන්ට නො පවරා නො සිටි බව පමණෙකි. තව ද, දේශපාලන කමිටුවේ මෙම යම්තාක් දුරට අහඹු සංයුතිය, අදාළ පුද්ගලයන් ඍජු පක්ෂ කායය තුළට සංයුක්ත කර ගැනීම මඟින් ඔවුන් කල්ලි ගොඩ නඟා ගැනීම්වලින් හා කල්ලිවාදී සන්ථවයන්ගෙන් බිඳ ගැනීමේ ප්‍රයත්නයක් ලෙස; ඔවුන් පිළිබඳ පරීක්ෂාවක් වශයෙන් දැනුවත්ව ම භාරගන්නා ලදී. උදාහරණයක් ලෙස, වයිඩික් සම්බන්ධයෙන් සැලකු කල, ඇබර්න් කල්ලියේ සුළු ධනේශ්වර ඕපාදූප කවවලට මුළුමනින් ආගන්තුක ක්ෂේත්‍රයක් වන වෘත්තීය සමිති කටයුතු ඔහුට පැවරීම මඟින්, මෙම වඩාත් පුළුල් ක්‍ෂේත්‍රයේ ක්‍රියාකාරකම්, ඔහුගේ කල්ලිවාදී ආබාධයෙන් ඔහු සුවපත් කර, ඔහු තුළින් පාක්ෂිකයෙකු නිර්මාණය කර ගැනීමට ක්‍රියාත්මක වනු ඇතැයි අපට හැඟින.   

ගෝල්ඩ්මන් හා ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ දී – ඡායාරූපය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අනුග්‍රහයෙනි

ඉහත සඳහන් කෙරුණු පරිදි ගෝල්ඩ්, දේශපාලන කමිටුවට ඇතුලත් වූයේ YPSL (තරුණ සමාජවාදී ලීගයේ) නියෝජිතයෙකු වශයෙනි. එහෙත් චිකාගෝ නියෝජිත රැස්වීම දිනවල YPSLහි ජාතික ලේකම්වරයා ලෙස ඔහු පිළිබඳ අපේ ආකල්පය විමසා සිටි කල්හි අපි ඔහුට ෂැට්මන් විසින් පනවන ලද යම් නිශ්චිත කොන්දේසි ලබා දුනිමු. අප තිදෙනා අතර රැස්වීමක දී ෂැට්මන් ඍජුව ම ගෝල්ඩ්ට මෙසේ පැවසීය: “ඔබ YPSL තුළ පාක්ෂිකයෙකු වීමට යන්නේ නම් අපි ඔබට සහයෝගය දීමට කැමැත්තෙමු. එහෙත් ඔබ එ’තුළ ඇබර්න්වාදියෙකු ලෙස කටයුතු කළහොත් අපේ සහාය ඔබට හිමි නො වේ. තරුණ සමාජවාදී ලීගය ඇබර්න්වාදී කල්ලි දේශපාලනයේ කෙළි බඩුවක් වනු දැකීමට අපට අවශ්‍ය නො වේ. YPSLහි නායකයා ලෙස ඔබේ කටයුතු, ඇබර්න්ගේ මනෝභාවයන් හා ආත්මීය දේශපාලනය විසින් හැසිරවෙනු දැකීමට අපට අවශ්‍ය නො වේ.” චිකාගෝ සාමාජික රැස්වීම පැවැති දිනවල, “‘ඇබර්න් කණ්ඩායම’ ලෙස හැඳින්විය හැකි යමක් නො වූ” බව සම්බන්ධයෙන් සැබැවින් ම ෂැට්මන්ගේ විශ්වාසයේ දිග පළල මෙයින් මැන ගත හැකිය. ඔහුගේ “ට්‍රොට්ස්කිට ලියූ විවෘත ලිපිය” තුළ මීට පටහැනි සංකල්පයක් දැනවීමට ෂැට්මන් දරන ප්‍රයත්නය විසින් නියෝජනය කෙරෙන්නේ පක්‍ෂය මුළා කිරීම සඳහා හිතාමතා කරුණු විකෘති කිරීමකි. ඇබර්න් කල්ලිය “විසුරුවා හැර ඇතැ”යි ෂැට්මන් නිවේදනය කළේ, පක්ෂ තන්ත්‍රයට එරෙහි සංයෝජනයක අරමුණ වෙනුවෙන් ඔහුට එය, එහි නො විසිරුණු යථාර්ථය තුළ, අවශ්‍ය වූ කල්හි ය.

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I

Scroll to Top