සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම – 2

(සසප වම කන්ඩායමෙන් පලා ගිය ත්‍රිත්වයක් කම්කරු පන්තියේ පක්ෂයක නායකත්වය පිලිබඳ ව මාක්ස්වාදයට සතුරු ආස්ථානයක් යෝජනා කිරීම නිමිති කර ගනිමින්, ඔවුන්ගේ ආස්ථාන මාක්ස්වාදයේ දෘෂ්ටි කෝනයෙන් විභාග කිරීමේ විශ්ලේෂනයක් ලෙස මෙම ලිපි මාලාව පල වේ. එකී ආස්ථානවලට එරෙහිව මාක්ස්වාදී විධික්‍රමය හා මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා කැප වූ මෙම ලිපි මාලාව, සමකාලීන අත්දැකීම් තුල අප හමුවේ ඇති විප්ලවවාදී අභියෝග වටහා ගැනීමට හා ඒවාට මුහුන දිය යුතු ආකාරය නිස්සාරනය කර ගැනීමට අවශ්‍ය එලියක් විහිදුවනු ඇතැයි යන්න අපේ වැටහීමයි.
මෙහි පලවන්නේ එම ලිපි මාලාවේ දෙවැන්නයි. 2024 ඔක්තෝබර් 7 වන දින පල වූ පලමු කොටසට මෙතැනින් පිවිසිය හැකිය.)

(සැ.යු. ඔවුන්ගේ ලිපියේ උපුටනවල අංක ලෙස මෙම ලිපිය තුල දැක්වෙන්නේ, සිය ලේඛනය තුල ඔවුන් විසින් යොදන ලද අංක බව කරුනාවෙන් සලකන්න.)

නන්දන නන්නෙත්ති

කට්ටිවාදය

ත්‍රිත්වය, සසප නායකත්වය කට්ටිවාදී (sectarianism) ය යි චෝදනා කිරීමේ දී, අන් සෑම අවස්ථාවක දී මෙන් ම වෛෂයිකව පක්ෂයේ ක්‍රියා කලාපය පරීක්ෂා කරනු වෙනුවට කට්ටිවාදය ගැන වියුක්ත සත්‍යයන් රූපිකව ගෙන පක්ෂය මත පටවයි. ධනපති ගැති අවස්ථාවාදී පක්ෂ, තමන් හා තම සන්ධාන සමග පෙල ගැසීම ප්‍රතික්ෂේප කරන නිසා විප්ලවවාදී පක්ෂයට විරුද්ධව එම වචනය බොහෝ කලක් තිස්සේ දුෂ්පරිහරනය ඇත. විල්සන් කල්ලිය මේ අන්දමින් අතිශයින් දූෂනයට භාජනය වී ඇති “කට්ටිවාදය“ යන මෙම වචනය එහි අන්තර්ගතයෙන් ගලවා ගෙන තවත් වරක් දූෂනය කරයි.

හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියොන් ට්‍රොට්ස්කි ලියා ඇති පරිදි, කට්ටිවාදයේ “පදනමෙහි පවත්නේ, පාර්ශ්වීය හා සංක්‍රමන ඉල්ලීම් සඳහා, එනම්, කම්කරු පන්තියේ අධ්‍යතන මූලික අවශ්‍යතා හා උවමනාවන් සඳහා, අරගලය කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.

ට්‍රොට්ස්කි

“…විප්ලවවාදී දර්ශන පථයන් අනාවරනය නො කරන නිසා නිකායවාදයේ දේශපාලන වැඳ වැටීම සෙවනැල්ලක් මෙන් අවස්ථාවාදයේ වැඳ වැටීමෙහි අඩුව පුරවයි. ප්‍රායෝගික දේශපාලනයේ දී, සෑම විටම මාක්ස්වාදයට එරෙහි අරගලයේදී නිකායවාදීහු අවස්ථාවාදීන් සමග, විශේෂයෙන් ම මාධ්‍යමිකයන් සමග එක්සත් වෙති.“  (ලියොන් ට්‍රොට්ස්කි, ධනවාදයේ මරලතෝනිය, පිට 46, 47, කම්කරු මාවත ප්‍රකාශන)

ට්‍රොට්ස්කි තව දුරටත් එය විස්තර කරමින් මෙසේ කියයි: “ක්‍රියා මාර්ගය විස්තාරනය කිරීමේ දී අනතුරු දෙකක් පවතී. පලමුවැන්න නම්, පොදු වියුක්ත සීමාවෙහි රැඳී සිටිමින් ප්‍රදේශයේ වෘත්තීය සමිති සමග යථා සම්බන්ධතාවයකින් තොරව පොදු සටන් පාඨ පුනරුච්චාරනය කිරීමයි. කට්ටිවාදයේ වියුක්තකරනයේ දිශානතිය එය යි. අනෙක් අනතුර එහි ප්‍රතිවිරුද්ධය යි. පොදු විප්ලවවාදී පිලිවෙත අත් හැරී යාමට තරම් ප්‍රාදේශීය හා සුවිශේෂ කොන්දේසිවලට අනුගත වීමයි. මා විශ්වාස කරන්නේ, ඇමරිකාවේ දී දෙවන අනතුර වඩා ක්ෂනික බවයි. මිලිටරීකරනය, සන්නද්ධ පිකට් යනා දී ප්‍රශ්නවලදී ඉතා විශේෂ වශයෙන් මට එය මතක ය. ඒවා කම්කරුවන් සම්බන්ධයෙන් තාත්වික වන්නේ නැතැයි ඇතැම් සහෝදරවරු බියට පත් වූහ.“ ( සංක්‍රමන ක්‍රියාමාර්ගය- ට්‍රොට්ස්කි සමග සාකච්ඡාවක්. 1938 ජුනි 7)

අද දවසේ අපට ට්‍රොට්ස්කි දුටු ප්‍රතිසංස්කරනවාදී වෘත්තීය සමිති දැක ගනු නො හැකි ය. ට්‍රොට්ස්කි, ඉහත සිය වැකි මුලුමනින් ම ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයට යටත් කලේ ය. එනම්, උපායාත්මක ක්‍රියාවේ මූලධර්මය වූයේ, කම්කරු පන්තියත්, එහි විඥානය වූ පක්ෂය සහ එහි ක්‍රියා මාර්ගයත් අතර පවතින බාධක බිඳ දැමීම ය. 

2022 විප්ලවවාදී අරගලයේ දී සසප ක්‍රියා මාර්ගය වෙනුවෙන් ගොටාගෝගමට මැදිහත් වීම නිසා සසප තන්ත්‍රය විසින් සංජය විල්සන් සහ ආනන්ද වක්කුඹුර යන සාමාජිකයන්, පක්ෂ ව්‍යවස්ථාව පවා නො තකා, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීමේ උන්මත්තක ක්‍රියාව ද කට්ටිවාදයට සාක්ෂි ලෙස ඔවුහු මෙහි දී ඉස්මතු කරති. ඔවුනට අනුව, 2021 ගුරු අරගලය තුලදී  “මහා වර්ජනයකට මුහුන දීමේ නුසූදානම පෙන්නුම් කරමින් කම්කරු පන්තිය තුල විශ්වාසය බිඳ ගැනීම“, 2022 විප්ලවවාදී නැගිටීමේ දී ඓතිහාසික පරීක්ෂනයෙන් අසමත් වීම“  වැනි දේ කට්ටිවාදයට සාක්ෂි ය.

මෙහි සඳහන් ජෙනරල් ස්ට්‍රයිකයක් කැඳවීම එවක සසප වම විසින් යෝජනා කෙරුනේ, සසපට එවන් කැඳවීමකින් කම්කරු පන්තිය වහා ම මහා වර්ජනයක් සඳහා මෙහෙයවා ගත හැකිය යන මිත්‍යා විශ්වාසයකින් නො වේ. හිස් ප්‍රතිසංස්කරනවාදයට හා  කම්කරු පන්තිය මත ලැග සිටින ද්‍රෝහී නායකත්වයට එරෙහි ව, ඒවා හෙලිදරව් කොට කම්කරුවන්ගේ විප්ලවවාදී විඥානය වර්ධනය කිරීමේ සංක්‍රමනීය ඉල්ලීමක් හැටියට ය.

නායකත්වය මෙයට එකඟ නො වූ බව සැබෑ ය. ඒ මගින් එය, පක්ෂයේ හා පන්තියේ වර්ධනයට තිබූ අවස්ථාව මග හැරියේ ය. එහෙත් එයින් කම්කරු පන්තියේ විශ්වාසය බිඳ ගත්තේ ය යනු විකාරයකි.

කෙසේ වෙතත්, මෙම ත්‍රිත්වය – විශේෂයෙන් එවකට පක්ෂයේ දේශපාලන කමිටුව නියෝජනය කල විල්සන් – සසප වම ඒ සඳහා පක්ෂය තුල කල අරගලයට කිසිදු සහායක් එදා ලබා දුන්නේ නැත. පසුව ඔහු අපගේ ආස්ථානය පිලිගෙන ඒ වෙනුවෙන් පෙනි සිටියේ ය. නමුත් දැන් පැහැදිලි වන්නේ තමන් පිලි ගත්තේ කුමක් දැයි ඔහු වටහා ගෙන නො සිටි බව ය. එනම්, මෙම උපායාත්මක සටන් පාඨය යොදා ගන්නේ විශ්වාසය දිනා ගැනීමේ සරල අරමුනකින් නො වන බව ඔවුහු නො දනිති. ඊට පටහැනි ව, එවන් කැඳවීමකට සාර්ථක ප්‍රතිචාර දිනා ගත හැකි වන්නේ ම, කම්කරුවන්ගේ විශ්වාසය දිනාගත් පක්ෂයකට ම පමනි. 

එහෙත් පිටු 65 ලිපියට අනුව එහිදී සිදුව ඇත්තේ පක්ෂය “2022 විප්ලවවාදී නැගිටීමේ දී ඓතිහාසික පරීක්ෂනයෙන් අසමත් වීම“ ය. මේ කියන ඓතිහාසික පරීක්ෂනය කුමක් ද? 2022 අරගලය තුල දී පක්ෂය ඉදිරි දර්ශනය ඉවත දමා පලා ගියේ ද? වික්‍රමසිංහ තන්ත්‍රය නතර කිරීමට හැකියාව තිබිය දී එය මග හැර සිටියේ ද? මේ ප්‍රශ්නවලට පිලිතුර ඔව් නම් මේ පක්ෂය තව දුරටත් ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂයක් විය නො හැකි ය. ඊට එම නමින් පැවතීමට අයිතියක් ද නැත.

1933 දී අති විශාල තුන්වන ජාත්‍යන්තරයේ අනුමැතිය ද ඇතිව ජර්මානු කොමියුනිස්ට් පක්ෂය ‘හිට්ලර්ට පසු අප’ යන සූත්‍රය පෙරට දමා කල පාවාදීමෙන් ස්ටැලින්වාදය ඓතිහාසික පරීක්ෂනයෙන් අසමත් වූ බව අපි දනිමු. 1936-37 ස්පාඤ්ඤ පූමය, කම්කරුවන් සංවිධානය වී ප්‍රදේශ අත්පත් කර ගනිමින් විප්ලවය දියත් කර සිටිය දී, ධනපති පෙරමුනකට ගාල් වී ඓතිහාසික පරීක්ෂනයෙන් අසමත් විය. එවන් සෑම සිද්ධියක දී ම අපට දැක ගත හැකි මූලික ලක්ෂනය නම් විප්ලවවාදී ඉදිරි දර්ශනය ප්‍රතික්ෂේප කිරීම ය.

පක්ෂයක කර්තව්‍යන් ගැන ත්‍රිත්වයට මෙලෝ වැටහීමක් නැත. 2020 ජුලි 3 දා, සසප හිටපු ප්‍රධාන ලේකම්, අභාවප්‍රාප්ත විජේ ඩයස් කොලඹ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ඩේලි නිව්ස් මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයකට ලබා දුන් පිලිතුර මෙහි දී අදාල ය.. ප්‍රජාතන්ත්‍රීය ප්‍රශ්න හෝ, වැටුප් අධ්‍යාපන යනාදී අවශ්‍යතා සම්බන්ධයෙන් හෝ වන අරගලවල අඩුවක් නැත. ඒවා සිදුවන්නේ වෘත්තීය සමිති හෝ පෙසප වැනි පක්ෂ තිබෙන නිසා නොවේ. කම්කරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ අව්‍යාජ අවශ්‍යතාවන්වලින් පොලඹවනු ලබන බැවිනි. නමුත් මේවා දිනන්නේ නැත. එහි තේරුම නව වැඩපිලිවෙලක් අවශ්‍ය බව ය. සසප ක්‍රියාකාරීත්වය යනු, මෙම අරගල ජය ගන්නේ කෙසේ ද යන එකී ප්‍රශ්නයට ආමන්ත්‍රනය කිරීම ය. ඒ නිසා ඉදිරි දර්ශනයක් හා ක්‍රියා මාර්ගයක් සම්පාදනය කිරීම පක්ෂයේ කේන්ද්‍රීය කර්තව්‍යය යි. – මෙය කිසි සේත් ම, පන්ති අරගලයට සහභාගී නො වී සිදු කරන පන්ඩිතමානී උපදේශන ක්‍රියාවක් නො වන බව, මෙම ප්‍රකාශය පිලිබඳ වැරදි වැටහීමකට ඉඩ නො තෑබීම පිනිස අප සටහන් කල යුතු ය.

සසප 2022 මහජන නැගිටීමේ දී පහත සදහන් ආස්ථානය වෙනුවෙන් සටන් කලේ ය. “මහා මහජන විරෝධතාවන්, දැවැන්ත සටන්කාමීත්වයක්, අධිෂ්ඨානයක් හා ධෛර්යය සම්පන්න බවක් ප්‍රදර්ශනය කර ඇත. එහෙත් වැඩ කරන ජනයා දේශපාලන සංස්ථාපිතයට ගැට ගැසී, ධනපති අන්තර් කාලීන ආන්ඩුවක් කෙරෙහි විශ්වාසය තැබුවහොත්, අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ විනාශයකි.“

ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම හා ඒවායේ සම්මේලනයක් සඳහා කැඳවුම් කල එය මෙසේ පැහැදිලි කලේ ය: “ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී පදනම් දැමිය යුත්තේ, සිය පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම පිනිස දිවයින පුරා වැඩපොල, කම්හල්, වතු, නිවහන් ප්‍රදේශ හා ගම්බද ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම තුලින්  කම්කරුවන් හා ගම්බද පීඩිතයන් විසින් ම ය. මෙම කමිටු වැඩ කරන ජනයාගේ අභිලාෂයට අව්‍යාජ හඬක් දීමට නම්, ඒවා ධනපති පන්තියේ සියලු පක්ෂවලින් හා ඒවායේ වෘත්තීය සමිති ආවතේවකරුවන්ගෙන් ස්වාධීන වීම අත්‍යවශ්‍ය ය.“ ( කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සදහා, 2021 ජුලි 21 ලොසවෙ අඩවිය)

සසප මෙම වැඩ පිලිවෙල සඳහා වතු කම්කරුවන් අතර කල මැදිහත් වීමේ දී හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන්ගේ පෙලපාලියකට මූලිකත්වය ගත්තේ ය. ගුරු කමිටුවක් ගොඩ නගා ගුරුවරුන්ගේ උද්ඝෝෂන තුල පෙනී සිටියේ ය. සෞඛ්‍ය කම්කරුවන් අතර මැදිහත් වීමට උත්සාහ කලේ ය. මේවා තුල අපරිනතකම හා නුසූදානම පෙන්නුම් කලේ ය. 2021 ගුරු අරගලයේ ඉහල ම වර්ධනය තුල ගුරුවරුන්ගේ කමිටුව සෝදාපාලු වීමට පටන් ගත්තේ මේ තතු තුල ය. පසුව එම අත් දැකීම්  පරීක්ෂනයට භාජනය කොට ඉදිරි පියවර සදහා නිගමන උකහා ගැනීම ද සිදු නො කලේ ය. 

2022 අරගලය වර්ධනය වෙද්දී, එය ජයග්‍රහනය සඳහා වැඩ පිලිවෙලක් නැති බව මහජනයා අවබෝධ කර ගනිමින් සිටියෝ ය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන පක්ෂය ගොඩ නැගීමට කල හැකිව තිබූ අරගලය දුර්වල වීම ඉහත සඳහන් භාවිතයේ ප්‍රතිඵලයකි. සංඛ්‍යාත්මකව හෝ ගුනානාත්මකව පක්ෂය වර්ධනය නො වී ය. එය පක්ෂයට හා පන්තියට නො සිදුවිය යුතු ව තිබූ පාඩුවකි. 

කෙසේ වෙතත් සංඛ්‍යාත්මකව දුර්වල පක්ෂයක් – එය කෙතරම් බලගතු ක්‍රියා මාර්ගයකින් සන්නද්ධව සිටියත් – “නව නායකත්වයක් සම්බන්ධයෙන් ගත් විට පවත්නේ ඉතා සීමිත වූ තෝරා ගැන්ම් ක්ෂේත්‍රයකි. අලුත් නායකත්වයක්, පැරනි නායකත්වයට වඩා ස්ථිර බව, විශ්වාසවන්ත බව, අවංක බව ජනතාවගේ පලල් කොටස් ඒත්තු ගන්නේ ඔවුනගේ ම අත් දැකීම්වල පදනම මතින්, අවධි ගනනාවකින් ක්‍රමානුකූලවයි. සහතික වශයෙන් ම, විප්ලවයක් මධ්‍යයේ, සිදුවීම් වේගවත් ව පරිවර්තනය වන තත්වයක දී, දුර්වල (සාමාජිකයන් අඩු සංඛ්‍යාවක් ඇති) පක්ෂයකට දැවැන්ත එකක් බවට වර්ධනය වන්නට පුලුවන. එසේ වන්නේ එම පක්ෂය විප්ලවයේ ගමන් මග ඉතා පැහැදිලිව වටහා ගෙන ඇත්නම් හා, දෙඩවීම්වලින් මත් නො වූ, දඩයම්වලින් තැති නො ගත් ඉතා දැඩි ස්ථිර කේඩරයක් පක්ෂය සතුව පවතී නම් පමනි. එබඳු පක්ෂයක් විප්ලවයට පෙරාතුව සූදානම් වී තිබිය යුතු ය. මන්දයත්, කේඩරයක් පුහුනු කිරීමට සැලකිය යුතු කාලයක් නො සපයන බැවිනි.“ ( ලියොන් ට්‍රොට්ස්කි, පන්තිය පක්ෂය හා නායකත්වය, 1940)

ට්‍රොට්ස්කි තව දුරටත් පවසන්නේ, ජනතා පක්ෂයක් “වීම සඳහා නම්, ප්‍රථමයෙන් ම පැරනි පක්ෂ පෙරලා දැමීමට අවශ්‍යව තිබූ අතර, ඒ කටයුත්ත ඉටු කල හැකිව තිබුනේ ඒවාට විරුද්ධව කරන නිර්දය අරගලයක් මගින් ඒවායේ ධනේශ්වර ස්වභාවය ක්ෂමා විරහිතව හෙලිදරව් කිරීමෙන් පමනි,“ යනුවෙනි.  (එම)

කම්කරු පන්තිය මත පතිත කෙරෙන ධනේශ්වර පීඩනය පක්ෂය තුල ප්‍රකාශයට පත්වීම කපා හැරීම සඳහා හෝ, උපායන් හා මූලෝපායික කර්තව්‍යන් පිලිබඳව, සාමූහික ප්‍රයත්නයක් නො දරන පක්ෂයක් ඇතැම් මංමුලාසහගත පියවරයන්ට ගොදුරු වීම වැලැක්විය නො හැකි ය. එය ජය ගත හැකි එකම මාවත, එවන් මතභේදයන්ට ප්‍රකාශයට පත් වීමට ඉඩ සැලසෙන පරිදී ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා සිදු කර ඒවා ජය ගැනී ම ය.  

ඊට පටහැනි ලෙස, 2022 පැවති කොන්දේසි තුල දී පුහුනු කේඩරයන් සමග සමස්ථ සාමාජිකත්වය මෙහෙයවා ගැනීම වෙනුවට, සසප නායකත්වය අභ්‍යන්තර මතභේදවල එල්ලීගෙන සිටියේ ය. ඒ ඇයි ද  යන ප්‍රශ්නයට වෙහෙස මහන්සි වී පිලිතුරු සොයා ගන්නවා වෙනුවට කම්කරු පන්ති විරෝධී විසකුරු කට්ටිවාදය පක්ෂ නායකත්වය මත පැටවීම මගින් සිදු කෙරෙන්නේ කම්කරුවන් හා තරුනයන් තව දුරටත් ව්‍යාකූලත්වයට ඇද දැමීම ය.  

අවස්ථාවාදය

අවස්ථාවාදය සම්බන්ධයෙන් එක් පැහැදිලි නිදසුනක් නම්, තම සහෝදරයෙකු වන සරාජ් විල්සන්ට 2023 අගෝස්තු මාසයේ එල්ල වූ රාජ්‍ය මර්දනයක දී සංජය විල්සන්ගේ ක්‍රියා කලාපය යි. ලංකා ධීවර සංස්ථාවේ කාර්මික ඉංජිනේරුවරයකු වූ සරාජ් විල්සන්ට ආයතනයේ දූෂන හෙලිදරව් කිරීම නිසා මැර තර්ජන එල්ල වූ අතර එතනින් නො නැවතුනු පාලකයෝ ඔහුට එරෙහිව රහස් පොලිසියට බොරු පැමිනිලි කලහ.

මෙය වහා හෙලිදරව් කිරීම ඔහුගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවරක් බවත් අපගේ වෙබ් අඩවිය හා ක්‍රියාකාරී කමිටුව එම උද්ඝෝෂනය සඳහා යොදා ගත යුතු බවත් අපි පෙන්වා දුනිමු. නමුත් සංජය විල්සන්ගේ යෝජනාව වූයේ අපට වඩා “ලොකු“ පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට කටයුත්ත භාර දීමයි. පසුව අපගේ විශ්ලේෂනයට හා ආස්ථානයට එකඟ බව පෙන්වා සිටි නමුත් විල්සන් තමන් කතෘත්වය දරන සසප වමේ වෙබ් අඩවිය වූ thesocialist.lk මෙම සිද්ධිය හෙලිදරව් කිරීම සඳහා යොදා ගැනීම මග හැරියේ ය. ඒ වෙනුවට ඔහු අගෝස්තු 27 හා 28 දිනවල අදාල සිද්ධිය පිලිබඳ වාර්තා දෙකක් lankaskynews.com වෙබ් අඩවියේ පල කරවා ගෙන තිබිනි. විල්සන් ඇතුලත් ත්‍රිත්වය මෙම අවස්ථාවාදී ගමන නතර කර නැති බව මාක්ස්වාදී විධික්‍රමය පිටු දකිමින් ලියා ඇති පිටු 65 ලිපිය පිලිබිඹු කරයි.

මෙම ලිපියේ ඉදිරි කොටසේ දී  විභාග කිරීමට නියමිත පරිදි, මේ මගින් ප්‍රකාශයට පත් කෙරුනේ මොවුන් ජාත්‍යන්තර කමිටුව හා එහි වැඩපිලිවෙලට ඉහලින් ව්‍යාජ වම ශක්තිමත්ව සිටින බව පිලි ගෙන සිටි බව ය. ව්‍යාජ වමට තරම් විප්ලවවාදී ක්‍රියා මාර්ගයට මහජනයා කන් දෙන බවක් නො පෙනෙන නිසා, ඔවුහු වෛෂයික අවශ්‍යතාව කුමක් වුවත්, තමන් අපේකෂිත ප්‍රතිඵලය කෙසේ හෝ ලඟා කර ගැනීමේ මාවත වන තත්කාර්යවාදය අනුයාමට දැනුවත්ව ක්‍රියා කලෝය. 

මෙය අහම්බයක් නො වේ. ගාසා තීරයේ අධිරාජ්‍යවාදී මෙහෙයවීම යටතේ ඊශ්‍රායලය ගෙන යන සාපරාධී සමූල ඝාතක යුද්ධයට හා යුක්රේන යුද්ධයට වෘත්තීය සමිති හා ව්‍යාජ වම්මුන්ගේ සහාය ලැබේ. කම්කරු පන්තියේ ප්‍රබල අභියෝගයක් අධිරාජ්‍යවාදී සැලසුම්වලට එරෙහිව පැන නැගී ද නැත. මේ අතර ශ්‍රී ලංකාවේ යුක්තියේ මෙහෙයුම නමින් නීති විරෝධී ලෙස මිනී මැරිමට පොලිසියට අනුමැතිය ලැබුනු අතර, කිසිදු පක්ෂයක් හෝ සංවිධානයක් ඊට එරෙහිව පියවර ගත්තේ නැත. ඒ වෙනුවට ඒවා ඊට විවෘත හෝ ආවෘත සහයෝගය ලබා දුන්නේ ය.

යුක්තියේ මෙහෙයුමට  එරෙහිව ක්‍රියාශීලි මැදිහත් වීමකට මූලිකත්වය ගත්තේ කොලඹ ක්‍රියාකාරී කමිටුව හා අප කන්ඩායම පමනි. මෙම හුදකලාව ත්‍රිත්වයට සෑහෙන පීඩනයක් විය. එහෙත් විප්ලවවාදී දේශපාලන කන්ඩායමක් හැටියට අවශ්‍යය වූයේ මේ තත්වයන් ගැඹුරින් විශ්ලේෂනය කර අවශ්‍ය පියවරයන් සූදානම් කර ගැනීම ය. එය ප්‍රමුඛව ම කුඩා කන්ඩාමක් වන සසප වම දේශපාලනිකව ශක්තිමත් කර ගැනීමට අදාල කාරනයකි.

ඒ වෙනුවට විල්සන් ගාසා තීරයේ ඝාතන පිටුු දකින මහජන පෙත්සමක් අත්සන් කිරීමේ පහසු මාර්ගයක් සොයා ගත්තේ ය. ඒ අතර අප එතෙක් කම්කරු පන්තිය තුල ධනපති ප්‍රහාරවලට එරෙහිව සිදු කල තියුනු මැදිහත් වීම් හෙලා දකින තැනට ම ඔවුහු ගමන් කලහ. මේ අනුව ත්‍රිත්වයේ පෙල ගැසීම පන්ති අරගලයේ තීව්‍රතාවයට දැක් වූ ප්‍රතික්‍රියාවක් බව පැහැදිලි වනු ඇත. ජාත්‍යන්තරවාදය ගැන ව්‍යාජ හඬ තැලීම් හා අපගේ සංනිවේදන මාධ්‍යය පැහැර ගැනීම, අප ආරම්භ කල අරගලය නතර කිරීමට ඔවුන් ගත් අවසාන පියවර ය.

යමෙකු යම් ප්‍රවනතාවයක නියෝජිතයෙකු බවට පත් වීමේ දී, එය පිලිබිඹු කරන එක් ලක්ෂනයක් නම් ඒ නමින් අන් අයට කෑ ගසා දොස් තැබීම ය. කම්කරු පන්තිය තුල බල පවත්වන ධනේශ්වර විඥානය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යාමට වැඩ කරන අවස්ථාවාදය (opportunism), හුදු රූපික ප්‍රකාශනයක් බවට සිඳවා තමන්ට ගෝචර වන අන්දමින් එය භාවිත කිරීමට ත්‍රිත්වය වෙර දරති.

එහෙත් ප්‍රායෝගිකව ගත් කල අවස්ථාවාදය ප්‍රතිසංස්කරනවාදී, සංශෝධනවාදී මෙන්ම විවිධාකාර ධනේශ්වර ප්‍රවනතා සමග ඒ හෝ මේ ආකාරයෙන් පෙල ගැසේ. නමුත් සසප ඉතිහාසයේ කවර කලෙකවත් ධනපති පක්ෂ සමග හෝ අවස්ථාවාදයේ සංවිධානාත්මක රූපයන් වන වෘත්තීයසමිතිවාදය, ප්‍රතිසංස්කරනවාදය, සංශෝධනවාදය හෝ ව්‍යාජ වම සමග සම්මුති ගසා නැත.

විප්ලවවාදී පක්ෂය හා කම්කරු පන්තිය අතර පවතින්නේ පරස්පර විරෝධී සම්බන්ධතාවකි. පක්ෂය සටන් වදින්නේ කම්කරු පන්තියේ පවතින ස්වභාවික විඥානය වන ධනේශ්වර විඥානයට එරෙහි ව ය. පිටු 65 ලිපිය කියන ආකාරයට “පක්ෂය යලි පිලියම් කල නො හැකි ලෙස” මාක්ස්වාදයෙන් පලා ගොස් ඇත්නම් එය මෙහි සඳහන් දේශපාලන ප්‍රවනතා හෙලිදරව් කිරීම වෙනුවට ඒවා සමග තිරසාර සබඳතා ගොඩ නගාගෙන සිටිය යුතු ය.

මාක්ස්වාදයට අනුව විප්ලවවාදි පක්ෂයක උපායයන් හා ප්‍රතිපත්ති ගොඩ නැගී ඇත්තේ හුදෙක් තත්වානුකූල පදනමක් මත නො ව, මූලධර්මාත්මක පදනමක් මත ය. උපායයන් මෙම මූලධර්මවලින් වෙන් කිරීම යනු, විප්ලවවාදී ව්‍යාපාරයක මූලධර්මාත්මක අරමුනෙන් ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු වෙන් කිරීම වන්නේ ය. අවස්ථාවාදය යනු මෙයයි.