සංගීත්සන් ගනේෂ්කුමාර් වහා නිදහස් කරනු!

දෙමල රැප් ගායකයාට එරෙහිව ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාවට දමයි: කලාවේ, කලාකරුවාගේ සහ භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරනු!

නන්දන නන්නෙත්ති

සංගීත්සන් ගනේෂ්කුමාර්

ජුනි 2 දින කිලිනොච්චියේ, උදයනගර්හි දී, දෙමල රැප් ගායකයෙකු වන – “හිපොප් සංගී“ යන වේදිකා නාමයෙන් ප්‍රචලිත – 24 හැවිරිදි සංගීත්සන් ගනේෂ්කුමාර් සිය නිර්මාන කාර්යයක් හේතුවෙන් දිස්ත්‍රික් අපරාධ වැලැක්වීමේ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඔහු මෑත දිනයක සිය TikTok ගිනුමට උඩුගත කල ගීත 4ක් දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (LTTE) “සහයෝගය දක්වන හෝ උත්කර්ෂයට නංවන” බවට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඔහුට චෝදනා කරයි.

ගායකයා සිය ජංගම දුරකථනය සමඟ අධිකරනයට ඉදිරිපත් කරන ලද අතර 1978 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ (PTA) 03(g) වගන්තිය යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත. අධිකරනය ඔහු ජුනි 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කලේ ය.

මෙම පනත යටතේ, ඇප ලබා ගැනීම දුෂ්කර ය. එහිදී, සාමාන්‍ය සාක්ෂි නීතියට වෙනස් ලෙස, පොලිසිය ලබා ගන්නා පාපොච්චාරන පිලිගැනෙන අතර, වරදකරු කරනු ලැබුවහොත්, වසර විස්සකට (20) නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට යටත් වේ. අධිකරනය විසින් ඔහු සතු සියලුම හෝ යම් දේපලක් රජය සතු කරනු ලැබිය හැකි ය.

අපි මෙම ගායකයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව, වහාම ඔහු කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා පෙරට එන මෙන් සියලු ප්‍රගතිශීලි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. සංස්කෘතික ප්‍රකාශනයකට එරෙහිව ත්‍රස්තවාදී නීති භාවිතා කිරීම, දෙමල ජනතාවගේ පමනක් නොව, සමස්ත කලාකරුවන්, ලේඛකයන් හා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරයකි.

ද ටැමිල් ගාර්ඩියන් වාර්තා කරන පරිදි “මෑත සතිවල දී, යාපනය පුරා යුද්ධයේ මිය ගිය මිනිසුන් වෙනුවෙන් පැවැත් වූ ආගමික කටයුතු, සංගීත ප්‍රසංග සහ සාම්ප්‍රදායික බෙර සංදර්ශනවලදී ඉදිරිපත් කෙරුනු නිජබිම තේමා කරගත් ගීතවල වීඩියෝ අන්තර්ජාලය තුල පුලුල් ලෙස සංසරනය වී ඇත. ඊට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා පොලිසිය එවැනි සිදුවීම්වලට සම්බන්ධ රංගන ශිල්පීන් සහ සංවිධායකයින් පිලිබඳ පරීක්ෂන තීව්‍ර කර ඇති බව වාර්තා වේ.“

“ගිය සතියේ, උරුම්පිරායි හි පැවති සංගීත සංදර්ශනයක දී ගායනා කරන ලද ගීත සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට, අභාවප්‍රාප්ත සහ කීර්තිමත් දෙමල සංගීතඥ එස්. ජී. සාන්තන්ගේ පුත් ගෝකුලන් ඇතුලු පුද්ගලයින් දෙදෙනෙක් කෝපායි පොලිස් ස්ථානයට කැඳවා ප්‍රශ්න කර ඇත.”

27 වසරක උතුරු නැගෙනහිර යුද්ධයේ අවසාන මාසවලදී පමනක් වුව දසදහස් ගනනක් සිවිල් වැසියන් මිය ගිය අතර, තවත් දහස් ගනනක් අතුරුදහන් වූහ. එහි කම්පනය සමස්ත සමාජයටම බරපතල ලෙස බල පෑවේය. යුද්ධය අවසාන වූ බව නිවේදනය කර දශක දෙකකට ආසන්න අද දවසේ පවා, එහි ඉතිහාසය, මතකය සහ අත්දැකීම් හා සම්බන්ධ කෘති නිර්මානය කරන දෙමල ලේඛකයෝ, සංගීතඥයෝ සහ සෙසු කලාකරුවෝ රාජ්‍ය ආරක්ෂක අංශවල නිරීක්ෂන සහ ප්‍රශ්න කිරීම්වලට මුහුන දෙමින් සිටිති. පලාතේ සාමාන්‍ය ජන ජීවිතය සෑම මොහොතක ම හමුදා පොලිස් අවධානය යටතේ පවතී.

ගනේෂ් කුමාර්ගේ ගීත, මෙම පරාධීනත්වයෙන් සහ යුද්ධයේ විනාශකාරී ප්‍රතිඵලවලින් ජ්වලිත වේ. විශේෂයෙන් අවධානයට ලක්ව ඇති ගීතයේ මෙම පද වැල බලන්න.

…රණබිම වැද යුදවන්
කොටි රණසුරුවන්
රජුගේ පිය මග දිගේ පෙරට එන
උණුව කැකෑරෙන දමිළ ලෙය

ගිණි ලූ ගේ දොර, බිඳ ලූ ජීවිත
නිහඬ බසකින් තවම කියන්නේ
දෙමළ ඊළාමය උසුලන බැව්
උරුමය
වියරූ කෝපයෙන්
ඉදිරියට ගිය නායකයාගේ

ලේ ගඳ හමනා මේ බිම මත්තේ
දරුවෙකු වුව රණ සෙබළෙකු වන්නේ
ෂෙල් වෙඩි පුපුරා පිලිරැව් නංවන
මහ රෑ මැදියම
සිහින දියව යයි අප හදවත් තුළ

එහෙත් ඒ සිහින තවම රැදී ඇත
අපගේ ඇස් තුළ
ඉතිහාසය යනු මව් බිම රැකුමට
සිය දිවි පිදුම ය

මිය ගිය කොටි සටන්කරුවන් සිහි කිරීම හා උත්කර්ෂයට නැංවීම ගනේෂ් කුමාර්ට එල්ල වන ප්‍රධාන චෝදනාවකි.

මලවුන් වෙනුවෙන් ශෝක වීමට ඇති අයිතිය මානව හිමිකම්වල වඩාත්ම මූලික අංගයකි. ජාතික ජන බලවේගයේ ආන්ඩුව දෙමල අනුස්මරන උත්සව තහනම් කිරීම මඟින් මෙන් ම, පීඩාවට පත් ජනයාගේ ශෝකය සහ විරෝධය ප්‍රකාශ කරන මෙවන් නිර්මාන නිසා ගායකයෙකු අත්අඩංගුවට ගැනීම මගින් ද සිදු කර ඇත්තේ වඩාත් මූලික මානව ගරුත්වයේ ක්ෂේත්‍රයට එරෙහි ම්ලේච්ඡ ක්‍රියාවකි. උතුරු නැගෙනහිර දහස් ගනනක් ජනයා අනුස්මරන තහනම මෙන් ම රජයේ තර්ජන නො තකා අනුස්මරන උත්සවවලට සහභාගී වූහ. මන්ද යත්, මියගිය අය වෙනුවෙන් ශෝක වීමේ අවශ්‍යතාවය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට ඇති බියට වඩා ශක්තිමත් බැවිනි.

යුද්ධයේදී මියගිය පුද්ගලයින්ගේ දේහයන් යැයි විශ්වාස කෙරෙන ළදරුවෙකුගේ ඇටසැකිල්ලක් සමග, ඇටසැකිලි 150 ක් පමන ගොඩ ගැනුනු චෙන්මනී සමූහ මිනී වල. ප්‍රස්තතුත වූ ඔහුගේ තවත් රැප් ගීයක පද පේලී කිහිපයක් මෙසේ ය:

කුඩා දරුවන්ගෙ ජීවිත බිලි ගත්තේ කවුරුන් ද?
හමුදාව..
තරඟෙට බෝම්බ හෙලමින් සිටි ඔබ නිසා
කුඩා දරුවෙකු පස් කයි
අහිංසකයන්ට කුමක් කල හැකිද
සියලු අයිතීන්ට අහිමිව
තමන්ගේ ම බිම මිය යනු හැර …

සොහොනේ ඇටකටු කතා කරයි
හැඟීම් ජීවිතය උදුරා ගනියි
මතකයන් දෙවියන්ට වෛර කරයි

මෙම ගීතවල බහුලව පෙනෙන දේ නම් ශෝකය, ජීවිත පූජා කල සටන්කරුවන් උදෙසා උපන් අභිමානය, විරෝධය සහ නිදහස ය.

සුනුවිසුනු වූ ජීවිත, ෂෙල් වෙඩි ප්‍රහාර යටතේ හැදී වැඩුනු දරුවන්, දවා පිලිස්සූ නිවාස, සමූහ මිනී වලවල් යන මේ සංසිද්ධීන්ගෙන් මතුවන කලාවට, කිසිදු රජයේ නියෝගයකට අවලංගු කල නො හැකි සාමාජයීය බරක් සහ මානව නීත්‍යානුකූලභාවයක් ඇත. එවැනි කලාවක් යටපත් කිරීම යනු එය සංකේතවත් කරන දුක් වේදනා මහජන මතකයේ පැවතීමට සුදුසු නොවන බව ප්‍රකාශ කිරීමයි. එය අතීතයේ අපරාධ අමතක කරවීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගේ ස්ථාවරයයි.

ගනේෂ්කුමාර් අත්අඩංගුවට ගැනීමට එරෙහි මහජන උද්ඝෝෂනයක්

යුද සමයේ උතුරේ මෙන් ම දකුනේත් මෙවන් ගීත ගායනා කෙරුනි. “මේ සිංහල අපගෙ රටයි“ වැනි ගීත ගැයුනේ 1960 ගනන් අග දී ය. යුද්ධ කාලයේ “රන බිම මැරුනේ සිංහලයෙකු නම්- වෙඩි සලකුනු නැත පිට පැත්තේ” වැනි වාර්ගිකත්වය මතු කරන ගීත බොහෝ ගනනක් බිහි විය. අදත් මේවා එලෙසින් ම ගැයෙමින් පවතී.

අපි මෙම සිංහල ගීතවල මෙන් ම සංගීත්සන් ගනේෂ්කුමාර්ගේ නිර්මාන තුල මතු කරන දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන නිගමනවලට එකඟ නො වෙමු. ධනපති ඒකීය සිංහල බෞද්ධ රාජ්‍ය‍ය මෙන් ම එල්ටීටීඊ බෙදුම්වාදය ද අධිරාජ්‍ය ගැති ධනේශ්වර සංකල්පයෝ වෙති.

විශිෂ්ඨ කලාකරුවෙකුගේ කාර්යය වන්නේ තාවකාලික දේශපාලන උන්මාදයන්ට උඩගෙඩි දීම නොව, තමන්ගේ පාර්ශවයේ සාධාරන අරගලය හෝ වේදනාව ප්‍රකාශ කරන අතරම, මිනිස් ජීවිතවල වටිනාකම සහ සාමය අගය කරන විශ්වීය මානුෂීය ගුනාංග තම නිර්මානයට අඩංගු කර ගැනීම ය.

ඒ කෙසේ වෙතත්, ගීතයේ සාහිත්‍යමය, සංගීතමය සහ චිත්තවේගී ප්‍රකාශනයේ ගුනය අගය කිරීම හෝ විවේචනය කිරීම කලා කෘතියක් සම්බන්ධයෙන් අනුගමනය කල යුතු පිලිවෙත බව අපි දනිමු. එවන් විවෘත සංවාදයක් සහ විචාරයක් තුලින් සමාජය වඩාත් දියුනු, සහනශීලී සහ එකිනෙකා තේරුම් ගත හැකි තත්වයක් නිර්මානය කල හැකි ය. මතු කර ගත යුතු ප්‍රශ්නය නම්, ඒ වෙනුවට ආන්ඩුව තහනම හා වාරනය පෙරට ගෙන ඇත්තේ මන්ද යන්න ය.

ආන්ඩුව ගායකයා අත්අඩංගුවට ගන්නේ එම කලාත්මක ප්‍රකාශනය චිත්තවේගීය සත්‍යයක් නිසා සහ පීඩිත ජනයා එම චිත්තවේගීය සත්‍යය, හඳුනාගෙන එය බෙදා ගැනීමටට පෙලඹෙන නිසා ය. කලාව ජනතාවගේ දුක් වේදනා දැනීමට සලස්වන්නේ ය. පීඩිත ජනතාවක් නිහඬව තබා ගැනීමට අවශ්‍ය අයට ලෝකයේ භයානක ම දෙය එයයි.

තතු එසේ වුව, මීට වසරකට ඉහත පැවැත්වුනු පලාත් පාලන මැතිවරන සමයේ දී පාලක ජාතික ජන බලවේගයේ මැතිවරන උද්ඝෝෂනය තුල දමිල ගීත විසි අටක් නිර්මානය කර ප්‍රචාරය කෙරුනු අතර, ඒවායේ ගනේෂ්කුමාර්ගේ ගීතවලට ද වඩා එල්ටීටීඊ නායකත්වය උත්කර්ෂයට නැංවුනු පද මාලා පැවැත්තේය යන සත්‍ය කරුන, ජාජබ ආන්ඩුවේ රැවටිලිකාරී දෙබිඩි කුහකවත මනාව ප්‍රදර්ශනය කරයි. ඉන් එක ගීයක, තමන් එල්ටීටීඊ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ පිලිරුවක්‌ වැල්වැටිතුරෙයිහි ඉදිකරන බවක් පවා කියැවුනු බව 2025 මැයි 4 වන දින ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කලේය. එකී ගීතයේ කොටස් කිහිපයක් පහත දැක්වේ:

අභීතකම හා ධෛර්යය පැතු දේශය,
දමිල අභිමානය වැජඹුනු භූමිය
ඉතිහාසය උත්පත්තිය ලද රට
උදාර නායකයා ලැබ දුන් රට

වේලුපිල්ලෙයි පාර්වතී අම්මාල් නාමයෙන්
අලුත් වරායක් මෙහි ඉදිවනු ඇත
අප ඉතිහාසය තව සිය වසරක් එහි නින්නාද දෙනු ඇත

ජාතික ජන බලවේගයේ පිලිවෙත්
දමිල ජාතියේ නායකයාගේ පිලිවෙත්
දෙකම එකමය.
දමිල ජාතික නායකයාගේ පිලිරුව
තඹ පිලිමයක් සේ
ඉදිවනු ඇත ඔහු උපන් භූමියේ ….

(2025 මැයි 4 දින Tamil Guardienහි පල වූ ඉංග්‍රීසි ගීතයෙන් පරිවර්තනය කර ඇත)

ග්‍රීක මිත්‍යා කථාවලට අනුව, රැවටිල්ලට අධිපති දෙවියා වන්නේ ඩොලොස් ය. දැන් ජාතික ජන බලවේගයේ ආන්ඩුව වැඩට බැස සිටින්නේ ග්‍රීක මිත්‍යා කථාවල මානය ඉක්මවා යන රැවටිලිකාරීත්වයකින් යුතුව ය.

ආන්ඩුවක් මර්දන නීති ක්‍රියාත්මක කිරීමට කෙතෙක් ඉක්මන් වේ ද යන්න, ජනතාවකගේ අවශ්‍යතා ඉටු කිරීමට එම ආන්ඩුවේ නොහැකියාවට සමානුපාතී වේ. ජවිපෙ අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් 2024 සැප්තැම්බර් 21 දින සිට මේ දක්වා පුද්ගලයන් 20ක් පමන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ධනපති ආන්ඩු, එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන සම්බන්ධ සම්මුති (ICCPR) පනත් කෙටුම්පත යොදා ගෙන, රම්සි රාසීක්, අහ්නාෆ් ජසීම්, ශක්තික සත්කුමාර, ෆාතිමා සහ නතාෂා එදිරිසුරිය යන කලාකරුවන් දඩයම් කලේ ය. ඔවුන්ට එරෙහි චෝදනා පවා ගොනු කිරීමට පොලිසිය අසමත් විය. අවසානයේ ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට සිදු විය. එහෙත් ඒ වන විට ඔවුහු මාස හා අවුරුදු ගනනක් ඇප අහිමිව සිර ගෙවල අනේකවිධ දුක් වින්දාහ. මර්දන නීති පාලක පන්තියට අවශ්‍ය වන්නේ සමාජය බිය ගන්වා යටත් කොට සිය පාලනය පවත්වා ගැනීමට ය.
ආන්ඩුව කලාවට කඩා පැනීම සත්‍යය දැන ගැනීම සඳහා මානවයාගේ හැකියාවට හා උවමනාවට එරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමකි. කලාත්මක නිදහස ආරක්ෂා කිරීමේ ලිබරල්වාදී මාවතක් නැත. එය සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමඟ වෙන් කල නොහැකි ලෙස බැඳී පවතී. එකී අයිතිවාසිකම් රැකීමේ එකම මාවත වන්නේ, මර්දනය, යුද්ධය සහ වාර්ගික බෙදීම ජනනය කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය යි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව ශ්‍රී ලංකාවේ සියලුම කම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන IMF කප්පාදු වැඩසටහනට මුහුන නොදී යාපනයේ දෙමල ගායකයා ආරක්ෂා කල නො හැකි ය. දෙමල ජන ජීවිතයේ භූමිභාගය ම නිරීක්ෂන සහ බිය ගැන්වීමේ කලාපයක් බවට පත් කරන උතුරු හා නැගෙනහිර මිලිටරි වාඩිලෑමට එරෙහි වීම කලාවේ නිදහස ආරක්ෂා කිරීමේ ප්‍රධාන කොන්දේසියකි. ජයග්‍රහනය කල හැකි ව්‍යාපාරයක් ගොඩ නැගිය හැකි වන්නේ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුවකින් ය. එය සමාජ අසමානතාවට එරෙහිව, සමාජවාදය සදහා වන කම්කරු පන්ති ක්‍රියා මාර්ගයෙන් සන්නද්ධ විය යුතු ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top