සිරකරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය කිරීම සඳහා සිරකරුවන් අපරාධකරුවන් හා යක් ලෙස වෙස් ගැන්වීමට දරන රජයේ ප්‍රයත්නය ප්‍රතික්ෂේප කල යුතුය

නන්දන නන්නෙත්ති විසිනි

ඝාතනය කරන ලද ඉසුරු දිල්ෂාන් පෙරෙරාගෙ මව සඳරේඛා

අගෝස්තු 1 සිට ගත වූ සතිය තුල ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 4ක ප්‍රචන්ඩත්වයේ කුරිරු, අමානුෂික ස්වභාවය ප්‍රදර්ශනය විය. පලමු සිද්ධිය මහර බන්ධනාගාරයෙන් ඉස්මතු වූයේ ය. 1)රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම, 2) ඇප ලබා ගැනීමේ ක්‍රියාවලිය ලිහිල් කිරීම හා කඩිනම් කිරීම 3) බන්ධනාගාර තදබදය විසින් ඇති කරනු ලබන දුෂ්කරතාවලට පිළියම් කිරීම, 4) රැඳවියන්ට පක්ෂග්‍රාහී ලෙස සැලකීමට එරෙහිව මූලික පහසුකම් සම්පාදනය කිරීම යන ඉල්ලීම් මත පැවැත්වූ රැඳවියන්ගේ උද්ඝෝෂණයක් මැඩීමට පොලිසිය, විශේෂකාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවනු ලැබිනි. එක් රැඳවියෙකු ඝාතනය කරන ලදී. තුවාල ලැබූ රැඳවියන් 9 දෙනෙකු රෝහල් ගත කෙරුනි.

අගෝස්තු 6 දින උදය වරුවේ, මත් ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට සීමා වූ පල්ලන්සේන කඳවුරේ තරුනයන් ද මෙම ඉල්ලීම 4  සඳහා උද්ඝෝෂනය කල අතර පොලිස් විශේෂ සේවා බලකාය ප්‍රමුඛ ආරක්ෂක භටයන් යොදවා, ඔවුන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඉන් 28 ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට යැවිනි.

පෙර දින රාත්‍රී 10 20ට පමන, වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ, රැඳවියන්ට පහර දී 11ක් බන්ධනාගාර රෝහලට ඇතුලු කිරීමෙන් පසු මොහොමඩ් අස්මාන් ෂරීෆ්ඩීන් නම් රැඳවියා මරනයට පත් විය.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ ඥාතීන් කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ඝාතනය කරනු ලැබූ බවට සාක්ෂි තමන් සතුව ඇති බව ය. අසාධ්‍යව සිටි අස්මාන්, රාත්‍රී 12ට සිට මරනයට පත් වූ දින උදෑසන 6 දක්වා මහ රෝහලට ඇතුලත් නො කර තබා ගෙන ඇති බව ඔවුහු කියති. දින තුනකින් ඔහුට ඇප ලැබීමට නියමිතව සිටි අතර ඊට පෙර ඔහු ඝාතනය කිරීමට නිලධාරීන් සැලසුම්ගතව වැඩ කර ඇති බව ඔවුහු කියති..

වෙඩි තබා ඝාතනය කල මාරවිල සඳුන් ලසන්තගේ බිරිඳ හා බිලිඳා

සිරකරුවන් ආරක්ෂා කිරීමේ කමිටුව, මෙය යම් පාතාල කන්ඩායමක කොන්ත්‍රාත්තුවක් බන්ධනාගාර නිලධාරීන් විසින් ඉටු කරනු ලැබීමක් ද යන සැකය මතු කර ඇත.

මෙම ප්‍රහාරය සිදු වන අවස්ථාවේ රැඳවියන් පිරිසක් තමන් බේරා ගන්නා ලෙස ඉල්ලා සිටින දුර කතන පනිවිඩයක හඬ පටයක් දැන් සමාජ මාධ්‍යයයේ සැරිසරයි. “සප්‍රාස් ඉක්මනින් මොකක් හරි කරපන්, අස්මාන් අයියට ගහනවා. චූටලාට ගහල, මහත්තුරු යකඩ පොලුවලින් ගහනවා. කුමාර, කරුනාරත්න, යාපා, උඩ පොයින්ට් එක තියෙන කුස්සියෙ වැඩ කරන මහත්තය, බන්දෙ ඉන්න මහත්තුරු…” බීමතින් මෙම ප්‍රහාරයට සහභාගී වූ බව එහි සඳහන් වේ. 

එදින ම කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ඝාතනය කර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12ක් රත්නපුර රෝහලට ඇතුලත් කෙරින. ආන්ඩුව මෙම මාරාන්තික ප්‍රහාර මාලාව නාමකරනය කර ඇත්තේ, පලා යාමට උත්සාහ කිරීම, මත්ද්‍රව්‍ය සඳහා රැඳවියන් දෙපාර්ශවයක් අතර ගැටුමක් හෝ එවැන්නක් වැලැක්වීමට උත්සාහ කිරීම වශයෙනි.   

කුමන්ත්‍රන න්‍යාය හා මීගමුව ඝාතකයන් නිදහස් කිරීම

නමුත්, දරාගත නො හැකි තත්වයන්, බන්ධනාගාර එහි ධාරිතාව මෙන් සිව් ගුනයකින් පිරී ඉතිරී යෑම, ජලය වැසිකිලි පහසුකම් නො මැති වීම, වෙනස්කොට සැලකීම විශේෂයෙන් මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් පසු ඇති කල භීෂනය, ලුනු දමා පිටට කේබල්වලින් පහර දීම වැනි වධ හිංසා පැමිනවීම විසින් රැඳවියන් තුල නො සන්සුන්තාව පුපුරනසුලු මට්ටමකට සේන්දු කෙරුනු බව රජය හොඳින් ම දනී.

මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණය දැනටමත් රැඳවියන් 62කට මිනී මැරුම් චෝදනා එල්ල කර ඇති අතර, මිය ගිය නිලධාරීන්ගේ පවුල්වලට වන්දි සහ තවත් සහන ලබා දී ඇත. රැඳවියන් ඝාතනය කල නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂන නැත. රජයේ විමර්ශන ක්‍රියාත්මක වන්නේ යුක්තිය ඉටු කිරීමට නොව සිදුවීම් වලලා දැමීමට බව දැනටමත් හෙලි වී ඇත.

මේ වන විට ආන්ඩුව සියලු බන්ධනාගාර තුලට පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා තවත් හමුදා ඛන්ඩ යොමු කරමින් තව දුරටත් රැඳවියන්ගේ හා ඔවුන්ගේ ඥාතී මිත්‍රාදීන් තුල බිය, සැකය සහ අසහනය උත්සන්න කරමීන් සිටී

තතු එසේ තිබිය දී, විරුද්ධ පක්ෂයේ කුමන්ත්‍රනයක්, හෝ මත් ද්‍රව්‍ය පාලනය කල නිසා පාතලය විසින් දැනුවත්ව මෙහෙයවෙන සංවිධානාත්මක ව්‍යාපාරයක් ලෙස, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දිග හැරෙන ප්‍රචන්ඩත්වය හුවා දැක්වීම, ගැඹුරු වන සමාජ අර්බුදයට ප්‍රතිචාර දක්වන ධනේශ්වර රාජ්‍යයයේ හා සංස්ථාපිත මාධ්‍යවල ම්ලේච්ඡත්වය මොනවට පෙන්නුම් කිරීමකි.

මේ විරාජ් ප්‍රසන්න, ඇබ්බැහියෙන් නිදහස් වීම සඳහා මාර්තු 26 දින ගත් බෙහෙත් ය. අප්‍රියල් 1දා පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් ඔහු 6 දා මීගමුවේ බන්ධනාගාරයේ දී ඇලපතට, පපුවට, කලවා ප්‍රදේශයට වෙඩි තබා ඝාතනය කර ඇත.

ජුලි 5 – 6 දිනවල මීගමුව බන්ධනාගාරයේ මිනිස් ජීවිත 32ක් බිලි ගත් බන්ධනාගාර ප්‍රචන්ඩත්වය මත්ද්‍රව්‍ය ජාලයක අවශ්‍යතා මත ඇති වූ ස්වයංසිද්ධ කල්ලි යුද්ධයක් බවට කෙරෙන නිල කතාව, ඊට සමගාමීව සංස්ථාපිත මාධ්‍ය මගින් ප්‍රතිනිෂ්පාදනය කර තිබේ. මීගමුවේ 6 දා සිදු කල ඝාතන, බන්ධනාගාර හදිසි වැටලීම්, හමුදාව සිදු කල උපක්‍රමික ප්‍රකෝපකරනයක ප්‍රතිපලයකි. ඊට අදාලව දැනට නිකුත් වී ඇති මරන පරීක්ෂන වාර්තා 28න් 17ක් ම වෙඩි වැදී මිය යාම් වන අතර, ඔවුන් ගොදුරු වූයේ නිලධාරීන්ගේ වෙඩි පහරවලට මිස සිරකරුවන්ගේ ප්‍රචන්ඩත්වයට නො වන බවට සාක්ෂි ඇත.

මීගමුව බන්ධනාගාරයේ 6 දා සිද්ධීන්වලදී, සංජීව මධුසංඛ තරුනයා පන බේරා ගැනීමට දිව යද්දී, සම්පත් හා වේරගොඩ යන නිලධාරීන් දෙදෙනා රැඳවියන්ට එලව එලවා එල්ල කල වෙඩි  පහරකින් මරනයට පත් වූ බව ඔහුගේ සහෝදරයාට දැන ගැනීමට ලැබී ඇත. ඒ මොහොතේ සංජීවගේ මිතුරු ෂෙනාල් ද සිට ඇත.

මෙහි වැදගත්ම කාරනය පොලියට මුදල් දෙන්නන් අතර තරඟයකදී එක් පුද්ගලයෙකුගේ වුවමනාවට සංජීව ඇතුලු ඔහුගේ මිතුරන් තිදෙනෙකුට සතියක් වැනි කාලයක් තුල, 54 වගන්තිය යටතේ චෝදනා ගොනු වීම ය. එම උගුලට කොටු වූ රෝෂාන් තමන්ට එරෙහිව අටවා ඇති බොරු නඩුවට එරෙහි නීත්‍යානුකූල පියවර ගැනීමෙන් පසු නිදහස් ව සිටි අතර, සංජීවගේ ලිඛිත විත්තිවාචකය, මාරවිල ශ්‍රේෂ්ඨාධිකරනයේ විභාගයට ගැනීමට නියමිත වූයේ සංජීව ඝාතනය කෙරුනු ජුලි 6දා ම ය.

ප්‍රචන්ඩත්වයේ පන්ති ස්වභාවය

“බන්ධනාගාර පවතිනුයේ, දේවල් අහිමි, වඩාත් මංමුලාසහගත, පිඩිත මිනිසුන් ගබඩා කර තැබීමට ය.“

(කියවන්න, මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: ඉරි තලා ගිය පද්ධතිය හා කම්කරු පන්තිය)

පසු ගිය 6 දා මීගමුවේ බන්ධනාගාරයේ දී ඇලපතට, පපුවට, කලවා ප්‍රදේශයට වෙඩි තබා ඝාතනය කෙරුනු, උතුරු මූදුකටුවේ පදිංචිව සිටි ධීවරයෙකු වන, රන්වලගේ විරාජ් ප්‍රසන්න අවුරුදු 35ක දෙදරු පියෙකි. විරාජ් අත් අඩංගුවට ගත් අවස්ථාව වන විට ඔහු මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් වැලකීම සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියේ ය.

මේ අතර කොටුගොඩ, පාසැල් යන වසයේ පසුවන ලමුන් තිදෙනෙකුගේ පියෙකු වන ගයාන් මධුසංඛ සිල්වා 5දා සිදුවීම්වල දී, සිරකරුවන්ගේ ප්‍රහාරයට ගොදුරු වූ අතර බන්ධනාගාරයේ ඔත්තුකරුවෙකු ලෙස ඔහු යොදාගැනීම නිසා ඔහුට මේ ඉරනම නියම විය. ගයාන්ගේ මව සහ පියා කොහු මෝල්වල රැකියා කල පීඩිත කම්කරුවන් වන අතර තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් දීමට හෝ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කිසිවක් කිරීමට ඔවුන්ට හැකියාවක් නො වී ය. “මගේ දරුවට අනික් හිරකාරයෝ වගේ ඉන්න නො දී ඔත්තුකාරයෙකු කරපු ..” බන්ධනාගාර පාලනයට මව චෝදනා කලා ය. ”අන්තිමට ග්‍රාම සේවකයෙක්වත් තමන්ට සිදු වූ දෙය බලන්නට නොපැමිනියේ ය” යි ඇය කීවා ය.

“ඇයි මගේ දරුවට අනිත් හිරකාරයො වගේ ඉන්න නොදී ඔත්තුකාරයෙක් කර ගත්තේ?.” – ගයාන් මධුශංකගේ මව

වෙඩි තබා ඝාතනය කල, සිරිපුර පදිංචිව සිටි ඉසුරු දිලිශාන් පෙරේරාගේ මව ගෘහ සේවිකාවකි. ඇය සිය දරුවා මතින් මුදවා ගනු හැකි වෙතැයි සිතා ඇප නොදී බන්ධනාගාරයේ රැඳී සිටීමට ඉඩ හැරියා ය. ඇයට හිමි වූයේ ඔහුගේ මල මිනියයි.

හිසට වෙඩි තබා ඝාතන කල සමන් සංජීව ප්‍රනාන්දුගේ, මව මුදිතා ප්‍රනාන්දු, දරුවා නිදහස් කර ගැනීමට ත්‍රී වීලය විකුනා දැමීම ප්‍රමානවත් නොවූ නිසා සිය පුත්‍රයාගේ දරුවන් සහ සිය රෝගී සැමියා සමග ජීවත්වීමට ඇති පැල්පත ද උකස් කලා ය.

හිසට වෙඩි තබා ඝාතනය කල සමන් සංජීවගේ මව නඩු කටයුතු සඳහා උකස් කර ඇති නිවසේ දී අප සමග සාකච්ඡා කරමින් …

බන්ධනාගාර තුල වරප්‍රසාද මිලදී ගත හැකි මහා පරිමාන ජාවාරම්කරුවෝ මෙම ප්‍රහාරවලට ගොදුරු නො වෙති; ඒවාට ගොදුරු වන්නේ පරිශීලකයින් සහ සුළු වැරදිකරුවන් ඉලක්ක කර ගත් මත්ද්‍රව්‍ය යුද්ධයක සැඩ පහරට හසු වී ගසාගෙන යන ග්‍රාමීය සහ නාගරික දුප්පතුන් ය. 

බන්ධනාගාර ජනගහනයෙන් සියයට 75 ක් පමන නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින දුප්පත් රිමාන්ඩ් සිරකරුවන් ය. නීතිමය නියෝජනයක් ලබා ගත නො හැකි දුප්පත්තු බොහෝ එහි සිර වී සිටිති. හිටපු මානව හිමිකම් කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් නිවැරදිව හඳුනාගත් පරිදි, මෙය “දරිද්‍රතාවය අපරාධකරනය කිරීමක්” වේ

කම්කරුවන් සහ ග්‍රාමීය හා නාගරික දුප්පතුන්, සිරකරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය සඳහා සිරකරුවන් අපරාධකරුවන් ලෙස යක්ෂ වෙස් ගැන්වීමට රජය ගන්නා උත්සාහයන් ප්‍රතික්ෂේප කල යුතුය.

බන්ධනාගාර ප්‍රචන්ඩත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට සමාන්තරව දිසානායක රජය විසින් එල්ල කරනු ලබන පුළුල් ප්‍රහාරයේ කොටසකි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා ක්‍රියා කරමින්, රජය අනුකම්පා විරහිතව විදේශ නය ආපසු ගෙවීම ක්‍රියාත්මක කරමින් සහ මහා ව්‍යාපාරවල ලාභ ආරක්ෂා කරමින් සිටී. සමාජ අර්බුදය ගැඹුරු වෙමින් විරුද්ධත්වය වර්ධනය වන විට, එය මැඩපැවැත්වීම සඳහා ආන්ඩුව පොලිසිය, හමුදාව සහ මර්දනකාරී රාජ්‍ය උපකරන මත වැඩි වැඩියෙන් විශ්වාසය තබමින් සිටී.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තත්වයන් මිලියන ගනනක් දරිද්‍රතාවයට, අනාරක්ෂිතභාවයට සහ අහිමි වීමට ඇද දමන ධනේශ්වර ක්‍රමයේ ම නිෂ්පාදනයක් බව පැහැදිලි විය යුතු ය. එබැවින්, බන්ධනාගාර ප්‍රචන්ඩත්වයට සහ රාජ්‍ය ඝාතනවලට එරෙහි සටන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනෙන් වෙන් කල නො හැකි ය

රාජ්‍යයේ කෲරත්වය අවසන් කල හැකි වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ/ජා.ජ.බ. සහ එහි ව්‍යාජ වාම ක්ෂමාලාපකයින් ඇතුළු සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව සමාජවාදය සඳහා අරගලය තුල කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් පමනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top