සමාජවාදී සමානතා පක්ෂයේ වාම කන්ඩායමේ ප්‍රකාශය
නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරනයේ දී, සමාජවාදී සමානතා පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයෙකු වන රාසරතිනම් තිරුඥානවේල් හා එම කන්ඩායම වෙත සිදු කෙරෙන පොලිස් බලපෑම් හෙලා දකින සසප වාම කන්ඩායම, මෙහි බැරෑරුම් ඇඟවීම් සැලකිල්ලට ගන්නා ලෙස සමස්ත කම්කරු පන්තියෙන් හා පීඩිත ජනයාගෙන් ඉල්ලා සිටී.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කෙරෙන මෙම සිදුවීමට අනුව පසුගිය ඔක්තෝබර් 12 වන දින තිරුඥානවේල් සහෝදරයා සොයා ඔහුගේ නිවෙසට පැමිනි පොලිසිය ඔහු පිලිබඳ තොරතුරු විමසා ඇත. අසල්වැසි ඥාති නිවෙසකින් ඔහුගේ දුරකථන අංකය ලබා ගත් පොලිස් නිලධාරීහු ඉන්පසු දින තුනක් ම ඔහුට කතා කරමින් ඔහුගේ ඡායාරූපයක් ඉල්ලා සිටිමින්, කන්ඩායමේ සෙසු සාමාජිකයන් පිලිබඳ ව යලියලිත් විමසා ඇත.
මෙය කලක පටන් උතුරුකරයේ සසප / විකොස ශාඛාවලට එරෙහිව වරින්වර පොලිසිය විසින් සිදු කර ඇති හිරිහැර මාලාවක අභිනව පියවරයි. පොලීසියේ මෙකී ක්‍රියාකලාපය පිලිබඳ වඩාත් විස්තරාත්මක වාර්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මෙම සිදුවීම සම්බන්ධ වාර්තාවේ එයි. එකී ලිපිය සඳහා සබැඳිය මෙම ලිපිය අවසානයේ දක්වා ඇත.
මෙම බියගුලු ප්රයත්නය අතෙකින් කොලඹ ආන්ඩුව විසින් උතුරු නැගෙනහිර ජනයාට එරෙහිව නිරන්තර ව පවත්වා ගෙන යමින් සිටින මර්දනකාරී පාලනයේ උත්සන්න කිරීමක් සනිටුහන් කරන අතර, අනෙක් අතින්, ඊට ද වඩා, වාර්ගික බෙදීම් පරාජය කරමින් උතුරු නැගෙනහිර හා රටේ සෙසු පලාත්වල වාසය කරන කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ කිරීමේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු වැඩ පිලිවෙලට එරෙහිව මැදිහත් වීමක් සනිටුහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගලග්රහයෙන් ගනු ලැබ සිටින අර්බුද ග්රස්ත දිසානායක ආන්ඩුවට ජනයාගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් මත කඩා පැනීම සඳහා කල් බැලීමේ අවකාශයක් නැත. පැරනි ධනපති හා ව්‍යාජ වාම පක්ෂ ද ස්ථාපිතය ද කෙරේ පවතින ගැඹුරු මහජන පිලිකුල හා අවිශ්වාසය ගසා කා බලයට යන්තම් නැඟ ගත් ඔවුන්, එම මහජන පිලිකුල හා අවිශ්වාසය තමන් වෙත හැරෙන්නට පෙර සිය ප්‍රහාර මුදා හැර මහජන ව්‍යාපාරය දන ගස්වා ගත යුතුය. පොලිසියට හා හමුදාවට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ සලසන බවට ජනාධිපතිවරයා ලබා දෙමින් සිටින ප්රතිඥාවල යටින් ඇත්තේ මෙම යථාර්ථයයි.
මේ ආකාරයෙන් විනා මේ අර්බුදයට මුහුන දීමේ අන් මාවතක් ධනපති පන්තියට හා එහි තෝන් ලනුව අතට ගෙන සිටින දිසානායක ආන්ඩුවට නැත. එම අර්බුදයට මුහුන දිය හැකි එකම ශක්‍ය විකල්ප වැඩ පිලිවෙල වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ කාර්මික ශක්තිය මෙහෙයවා ධනේශ්වර ක්‍රමය බිඳ දැමීමේ හජාජාක වැඩ පිලිවෙලයි. එකී වැඩ පිලිවෙල ඉදිරිපත් කිරීමට ඇති අයිතිය යනු කම්කරුවන් හා පීඩිතයන් විසින් රැක ගත යුතු තමාගේ ම අයිතියකි. ඔවුන් මේ පාගා දමන්නේ හුදු සසප අපේක්ෂක කන්ඩායමේ අයිතිය පමනක් නොව, ධනපති වැඩ පිලිවෙලින් ස්වාධීන ක්‍රියා මාර්ගයක් සඳහා පෙනී සිටීමට කම්කරු පන්තියට ඇති අයිතියයි. එබැවින් මෙම මර්දනකාරී මැදිහත්වීමට එරෙහිව නැඟී සිටින්නැයි අපි අපේ සියලු පාඨකයන්ගෙන් ද, සමස්ත කම්කරු පන්තියෙන් හා ශිෂ්‍යයන්, රැකියා විරහිතයන් ඇතුලු සියලු පීඩිතයන්ගෙන් ද ඉල්ලා සිටිමු.
ඊට එරෙහිව ඔබ ලබා දෙන ප්‍රකාශවලට අප වෙබ් අඩවියේ ඉඩකඩ වෙන් කෙරෙනු ඇති අතර, මේ තත්ත්වයන් පිලිබඳ සාකච්ඡාවක් වර්ධනය කිරීමට ඉදිරිපත් වන්නැයි අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.
ලෝසවෙඅහි පහත ලිපිය ද කියවන්න:
ශ්‍රී ලංකාවේ සසප, උතුරේ තම මැතිවරන අපේක්ෂකයින්ට එරෙහි නීති විරෝධී රාජ්‍ය හිරිහැර නතර කරන ලෙස බලකර සිටී