කම්කරු ජීවිත දෙකක් කාර්මික අනතුරුවලට බිලි වෙයි

පරාක්‍රම කුරුප්පු විසිනි

නොවැම්බර් මුල් සතියේ ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකක දී කම්කරුවන් දෙදෙනෙකුට සිය ජීවිත අහිමි කළ කාර්මික අනතුරු දෙකකින් සනිටුහන් කෙරෙන්නේ ධනේශ්වර පන්තිය කම්කරු ජීවිත පිළිබඳව දක්වන සාපරාධී නොතැකීමයි.

යටියන්තොට කිරිපෝරුව වත්තේ පිහිටි, හේලීස් ව්‍යාපාර සමූහයට අයත් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම සතු රබර් නිෂ්පාදන කම්හලේ යන්ත්‍රයක් පුපුරා යාමෙන් එහි ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ 25 හැවිරිදි රජිනිකාන්ත නම් තරුණයා එතැන දී ම මරණයට පත් වූයේය. පසුගිය 2 වන දා උදෑසන 8 ට පමණ වාර්තා වූ මෙම සිද්ධියෙන් තුවාල ලද තවත් කම්කරුවන් දෙදෙනෙක් දැනට කරවනැල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

රජිනකාන්ත – ඡායාරූපය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි

මෙයින් දින තුනක ඇවෑමෙන්, නොවැම්බර් 5 වන දින, මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ පිහිටි තේ කම්හලේ දලු අඹරන යන්ත්‍රයකට හිස අසුවීමෙන් එම යන්ත්‍රයේ ක්‍රියාකරු වූ 47 හැවිරිදි කේ. විජයකුමාර් මරණයට පත් විය. මෙම තේ කම්හල අයත් වන්නේ රිචඩ් පීරිස් සමාගම (ආර්පිකෝ) විසින් පාලනය කෙරෙන මස්කෙලිය වතු සමාගමට ය.

කළමනාකරණය නිසි ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කළේ නම් මෙම මෙම මරණ දෙකම වළක්වා ගත හැකිව තිබූ ඒවා ය.

ආරක්ෂක විධිවිධානවලින් තොර පැරණි යන්ත්‍ර කාර්මික පරීක්ෂාවකින් තොරව ක්‍රියාත්මක කරවීම, ආරක්ෂක ආවරණ හා ශරීර ආරක්ෂක උපකරණ නොමැතිකම, අසීරු නිෂ්පාදන ඉලක්ක පැනවීම වැනි අන්තරායකර කම්හල් තතු යටතේ මේ කම්කරුවන්ට වැඩ කිරීමට බල කෙරී ඇත.

විජයකුමාර්ගේ අවමඟුල – ඡායාරූපය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි

මෙසේ මරණීය අවදානමක් හිස මත ලඹ දෙමින් වැඩ කිරීමට කම්කරුවන්ට බල කෙරී ඇති තතු ඉදිරියේ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම පසුගිය 24/25 මුදල් වර්ෂය තුළ, බදු ගෙවීමෙන් පසු, රුපියල් බිලියන එක හමාරකට ආසන්න ශුද්ධ ලාභයක් උපයා ඇත. කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා මුදල් වැය කිරීමට මසුරුකම් කරන නමුදු ඔවුහු අධ්‍යක්ෂක මණ්ඩලයේ වැටුප ඊට ඉහත වර්ෂයට සාපේක්ෂව සියයට 29 කින් ඉහළ දැමීමට නොමසුරුව ක්‍රියා කර ඇත්තාහ.

මස්කෙළිය ප්ලාන්ටේෂන් සමාගමේ පසුගිය මුදල් වර්ෂයේ ශුද්ධ ලාභය මිලියන නවසිය පනහක් ඉක්මවා යයි. මේ ලාභ පොදි ගසා ගන්නා අතර කම්කරුවන්ට අවම ආරක්ෂාවක් සැළසෙන පරිදි යන්ත්‍රය ඉදිරියේ සේෆ්ටි ගාඩ් වැටක් හෝ ඉදි කිරීමට ඔවුහු ක්‍රියා කර නැත්තාහ.

මෙම තත්ත්වයන් නිශ්චිත කම්හල්වලට, නිශ්චිත රටවලට හෝ නිශ්චිත මහාද්වීපවලට පමණක් සීමා වී නැත. පසුගිය නොවැම්බර් 8 වන දින එක්සත් ජනපද තැපැල් සේවකයෙකු වූ 36 හැවිරිදි නික් ඇකර් ලියුම් තෝරන යන්ත්‍රයකට බිලි වී මිය යාම මේ සඳහා සාක්ෂ්‍ය දරයි. එක්සත් ජනපදය තුළ කෘත්‍රිම බුද්ධි යෙදවුම් මඟින් විශාල වශයෙන් කම්කරුවන් විස්ථාපනය කෙරෙමින් ඔවුන් විරැකියාවට හෙලන අතර අනෙක් අතට අනාරක්ෂිත සේවා තතු හමුවේ කම්කරු ජීවිත අවදානමේ හෙලීම නො අඩුව සිදු කෙරේ. කෘත්‍රිම බුද්ධිය ඇතුළු ඉතා ඉහළ මට්ටමක තාක්ෂනය ප්‍රකෝටිපතියන්ගේ ලාභ මලු පිරවීමට විනා කම්කරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට නො යෙදවේ. ඒ වෙනුවට එකී ඉහළ තාක්ෂනය යෙදවෙන්නේ කම්කරු රැකියා කපා හැරීමටත්, ලෝක තාප න්‍යෂ්ටික යුද්ධයක විනාශය මානව වර්ගයා මත පතිත කිරීමටත් පමණෙකි.

නික් ඇකර් – ඡායාරූපය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි

මේ තතු, ධනපති පන්තිය සමඟ සම්මුතියේ වැඩ පිළිවෙලවල් සියල්ල කීතු කර කම්කරුවන්ගේ ජීවිතාරක්ෂාවේ වගකීම ඔවුන් මත ම පවරා ඇත. සම්මුතිවාදී වැඩ පිළිවෙලවල්වල උගුල කම්කරුවන්ගේ ගෙල වටා එතීමට යත්න දරන වෘත්තීය සමිති මේ වගකීමෙන් කර හැර සිටින්නේ ඔවුන් ධනපතියන්ගේ ලාභය මත පදනම් වූ ධනපති ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින හෙයිනි.

කම්කරුවන්ගේ ජීවිතාරක්ෂාව හා ආරක්ෂාකාරී සේවා තතු වෙනුවෙන් පෙනී සිටීමට කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ මේ නිසා ය. ලෝක පරිමානව පවත්නා මෙම අනාරක්ෂිත තතු පිළිබඳ සාකච්ඡා කරමින් ඊට මුහුණ දීමේ වැඩ පිළිවෙලක් සකස් කොට සාක්ෂාත් කර ගත හැක්කේ මේ ආකාරයේ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් ඒවායේ ජාත්‍යන්තර එකමුතුව හරහා සමස්ත ග්‍රහ ලෝකයේ කම්කරු පන්තියේ ඒකාබද්ධ කාර්මික ශක්තිය ඒ සඳහා යොමු කිරීමෙන් පමණෙකි.

මේ සඳහා ස්වකීය වෘත්තීය ආයතනවල සාකච්ඡා ආරම්භ කිරීමට කම්කරුවන් ක්‍රියා කළ යුතුය. රජිනිකාන්තට, විජයකුමාර්ට හා ඇකර්ට අත් වූ ඉරණම තවත් කම්කරුවෙකුට අත්වන තුරු නො සිට කම්කරුවෝ එම මූලිකත්වය ගත යුත්තාහ.

එහි දී, තමන්ගේ වෘත්තීය ස්ථානවල කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් මෙම තීරණාත්මක ගැටලුවට මුහුණ දීමට කම්කරුවන් පෙරමුණ ගත යුතුය.

එම මූලිකත්වයේ පියවරක් ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික) විසින් සංවිධානය කරනු ලබන, නොවැම්බර් 30 වන දින මස්කෙළිය නඟරයේ පැවැත්වෙන රැස්වීමට සහභාගී වෙන්නැයි අපි සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

ප්‍රසිද්ධ රැස්වීම පිළිබඳ සසප සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ප්‍රසිද්ධ ප්‍රකාශනයට මෙතැනින් පිවිසෙන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top