Socialist.lk වෙබ් අඩවිය දියත් වෙයි

අද දින සසප වම වෙබ් අඩවිය වන socialist.lk දියත් කරන බව අප පාඨකයන්ට දැනුම් දෙන්නේ සතුටිනි.

දැනටමත් ඔබ දන්නා පරිදි, සසප වම සිය සන්නිවේදන මාධ්‍යය ලෙස ගොඩ නගා පසු ගිය ජුලි දක්වා පවත්වා ගෙන ගිය thesocialist.lk වෙබ් අඩවිය, අප කන්ඩායමෙන් පලා ගිය නීතිඥයෙකු වන සංජය විල්සන් විසින් පැහැර ගනු ලැබ ඇත. කිසිදු බාධාවකට සමාජවාදී සංස්කෘතිය සඳහා අප ගෙන යන අරගලය නතර කල නො හැකි බවට, එකී වෙබ් අඩවිය ගොඩ නැගීම සඳහා අපට ආධාර කල සියලු හිතවතුන්ට අපි සහතික වෙමු.

මානව වර්ගයා සිය පැවැත්මට ම අභියෝග කරන අන්තරායයන්ට අද දිනයේ මුහුන දී සිටී. පෘථිවිය මත ජීවයේ සමස්ත පැවැත්ම අභියෝගයට ලක් කරන න්‍යෂ්ටික යුද්ධයක දැවැන්ත ව්‍යසනයක අනතුරකට, ඒ සමඟ අත්වැල් බැඳ ගත් අත්‍යන්ත ලෙස විනාශකාරී වූත්, ආපසු හැරවිය නොහැකි තරමේ මට්ටමකට නැඟීමට අත්‍යාසන්න තත්ත්වයක පවතින්නා වූත් පරිසර ව්‍යසනයකට, කොවිඩ්-19 වසංගතය පෙරටු කොට ගනිමින් මානව ජීවිතයේ ගුනානාත්මක පැවැත්මට අභියෝගකාරී ව වර්ධනය වන වෛරස ආසාදනයන්ට හා තවත් අනේකවිධ මාරාන්තික අන්තරායයන්ට අපි මුහුන දී සිටිමු. මේ සියල්ලෙහි පදනම් හේතුව ලෙස පවතින්නේ ලාභය කේන්ද්‍ර කර ගත් නිෂ්පාදන ක්‍රමය අද මුහුන දී සිටින තීව්‍ර අර්බුදයයි. වෙනත් අයුරකින් කිවහොත්, ලෝක ගෝලීය මට්ටමට වර්ධනය වූ නිෂ්පාදනය හා ඒ මත අධිකාරය දරන යල් පැන ගිය ජාතික රාජ්‍යයේ ප්‍රතිරෝධයෙන් ප්‍රකාශයට පත්වන අර්බුදයයි. එම තතු පිලිබඳ විශ්ලේෂනවලට පදනම සපයමින් අර්බුදයෙන් ගොඩ ඒමේ මාවත විස්තාරනය කරන විද්‍යාව මාක්ස්වාදයයි.    

මාක්ස්වාදය අද දවසේ ව්‍යාජ වමුන්, වෘත්තීය සමිති නිලධරය හා සංශෝධනවාදීන්ගේ අනවරත ප්‍රහාර හා විකෘතකරනයන්ට මුහුන දී සිටී. එම විකෘතිකරන හා ප්‍රහාරවලට එරෙහිව මාක්ස්වාදී සංස්කෘතිය දැනුවත්ව වර්ධනය කිරීමෙන් තොරව මානව වර්ගයා අද මුහුන දී සිටින සාපරාධී විනාශකාරීත්වයෙන් ගැලවීමේ මාවතක් නැත. ඒ සඳහා ලොව පවතින්නේ එකම සංවිධානයකි. ඒ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. අපගේ කටයුත්ත වන්නේ, ශ්‍රී ලංකාවේ එහි ශාඛාව තුලින් ප්‍රකාශිත පසුබැසීම් හා අපගමනයන්ට එරෙහිව පක්ෂයේ සාමාජිකයන්ව සිටිය දී අප ගෙන ගිය අරගලය නො නවත්වා පෙරට ගෙන යාම ය. පක්ෂ නායකත්වය විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අප කන්ඩායම පක්ෂයෙන් නෙරපා හරිනු ලැබුන ද, අප ජාත්‍යන්තර කමිටුවේ මග පෙන්වීම යටතේ එහි ජාත්‍යන්තර වැඩපිලිවෙලට හා ලංකා ශාඛාවේ දේශපාලන හා ඓතිහාසික පදනම්වලට බැඳී, ඉදිරි දර්ශන ගොඩ නැඟීමටත්, ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර විප්ලවවාදී ක්‍රියා මාර්ගික වැඩ පිලිවෙලින් කේඩර පුහුනු කර ගැනීමට බාධාකාරී සියලු අවහිරවලට එරෙහි වත් සටන් වැදීම නො නවත්වා ගෙන යනු ඇත. මෙහි ලා අප දකින සෑම බාධකයක් ම, ඒවායේ හරයෙන් ම නිරවශේෂ ලෙස හෙලිදරව් කිරීමටත්, එමඟින් එලඹෙන පන්ති අරගල සඳහා අවශ්‍ය පැහැදිලිකම කම්කරු පන්තිය හා පීඩිත මහජනයාගේ ව්‍යාපාරය තුල ඇති කිරීමටත් මෙම වෙබ් අඩවිය නිරන්තරයෙන් කැප වනු ඇත. එකී ප්‍රයත්නය හමුවේ අප ඉදිරියේ මතුවන ඕනෑම බාධකයකට එරෙහිව ක්‍ෂමා හා සම්මුති විරහිත අරගලයක් කිරීමට එය සූදානම් ය. 

මූලධර්ම සම්බන්ධයෙන් පල කිරීමට නියමිත ලිපි මාලාවෙන් මේ සම්බන්ධ පුලුල් පැහැදිලි කිරීමක් සිදු කෙරෙනු ඇත. එනම්, අප පෙනී සිටින මූලධර්ම මොනවාදැයි එමඟින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. අප සමග දිගටම රැඳී සිටිමින් එම අරගලය සමඟ සහයෝගී විය යුත්තේ ඇයි ද යන්න අදාල ලිපි පරිහරනයෙන් ඔබට වැටහෙනු ඇතැයි අපි විශ්වාස කරමු. කෙසේ වෙතත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරෙන හජාජාක මඟ පෙන්වීම් ගුරු කොට ගන්නා අප වෙබ් අඩවිය ලෝසවෙඅට ආදේශකයක් නොව, එහි සමීප, එහි මඟ පෙන්වීම ලබන සටන් සගයෙකු බව දන්වා හිඳිමු.

අපේ විශ්ලේෂන පිලිබඳ අදහස් හා වාද විවාදවලට එහි ඉඩ ඇති බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.