ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වන්න!

ඉරානයට එරෙහිව එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ ෆැසිස්ට්වාදී යුද උන්මත්තකයන් කල්ලිය සහ ජනඝාතක ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය හවුලේ එල්ල කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්ගේ උක්ත මැයෙන් පළ වූ ප්‍රකාශය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල පිටුවෙන් උපුටා පහත පළ කරමු.

ලෝකයම තාප න්‍යෂ්ටික යුද්ධයක අන්තරායයේ මුවවිට හමුවන ගෙන එන මෙම සාපරාධී ප්‍රහාරය සම්බන්ධයෙන් නෝර්ත් සහෝදරයා ඉතා සංක්ෂිප්ත ලෙස හා ව්‍යක්ත ලෙස ලියා ඇති මෙම ප්‍රකාශය පිළිබඳ සමීප සාවධානය යොමු කරන මෙන් අපේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ යුද-උම්මත්තක කල්ලියේ නියෝගයෙන් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය දැවැන්ත දේශපාලන අපරාධයකි. එය ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී වන අතර එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කිරීමකි. එක්සත් ජනපදයට පහර දී නොමැති සහ එයට කිසිදු තර්ජනයක් එල්ල නොකරන රටකට එරෙහිව, ජන සංහාරක ඊශ්‍රායල තන්ත්‍රය සමඟ සහයෝගයෙන්, කොංග්‍රසයේ අවසරයක් පවා නොමැතිව, එය දියත් කර ඇත.

මෙම සාපරාධී ප්‍රහාරයේ පලමු පැය කිහිපය තුල, දකුනු ඉරානයේ මිනාබ් හි බාලිකා පාසලකට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් සිසුන් 24 දෙනෙක් මිය ගියහ. ඉදිරි දිනවලදී කී දහසක්, කී දස දහසක් සහ කී ලක්ෂයක් මිය යනු ඇත්ද?

දින හතරකට පෙර, ට්‍රම්ප්, එක්සත් ජනපදයේ තත්වය පිලිබඳ දේශනය පැවැත්වීමට කොංග්‍රසය සහ ඇමරිකානු ජනතාව ඉදිරියේ පෙනී සිටියේය. යුද්ධය දියත් කිරීමට ඔහු පැහැදිලිවම තීරනය කර තිබුනද, ඔහු තම තීරනය සඟවා ගත් අතර ඔහුගේ පැය දෙකක ඝෝෂාව අතරතුර ඉරානය ගැන යන්තම් සඳහන් කලේය.

බේස්බෝල් කැප් තොප්පිය පැලඳ සිටිමින් ට්‍රම්ප්, මධ්‍යම රාත්‍රියේ තම තීරනය ප්‍රකාශ කලේ බොහෝ ඇමරිකානුවන් නිදා සිටියදීය. ඔහු එක්සත් ජනපදය සහ මුලු ලෝකය ම විනාශකාරී මාවතකට යොමු කර ඇත. මෙම යුද්ධය ඇමරිකානු සමාජයේ අභ්‍යන්තර සමාජ අර්බුදය විසඳන්නේ නැත, එක්සත් ජනපද ධනවාදයේ ගෝලීය තත්ත්වයෙහි දිග්ගැස්සුනු පිරිහීම ආපසු හරවන්නේ නැත.

සියලු දේශීය හා ජාත්‍යන්තර ප්‍රතිවිරෝධතා තීව්‍ර වනු ඇත. යුද්ධයමත් අනිවාර්යයෙන්ම උත්සන්න වී මුලු ග්‍රහලෝකයම ගිල ගනු ඇත.

ඉරානයට එරෙහි ප්‍රහාරය, 1945-46 දී නාසි නායකයින්ට එරෙහි නියුරම්බර්ග් නඩු විභාගවලදී “සාමයට එරෙහි අපරාධයක්” ලෙස විස්තර කරන ලද දෙයට හරියට ම සමාන බව කිසිදු මාධ්‍ය ප්‍රචාරනයකට සැඟවිය නොහැක.

අනාගතයේ දී, ඉතිහාසඥයින් 2026 පෙබරවාරි 28 වන දින ට්‍රම්ප් ඉරානයට එල්ල කල ප්‍රහාරය, 1939 සැප්තැම්බර් 1 වන දින හිට්ලර්ගේ පෝලන්තය ආක්‍රමනය කිරීම සමඟ සංසන්දනය කරනු ඇත. ඒවා සමාන පරිමානයේ අපරාධ වේ.

සමාජවාදී සමානතා පක්ෂය ඉරානයට එල්ල කරන ලේ වැකි ප්‍රහාරය වහාම නතර කරන ලෙස බලකර සිටී.

මූල්‍ය-සංගත කතිපයාධිකාරයේ අවශ්‍යතා සඳහා දියත් කර ඇති මෙම යුද්ධයට කම්කරු පන්තිය සහ තරුනයින් සහ සියලු ප්‍රගතිශීලී සහ යහපත් ජනතාව විරුද්ධ විය යුතු ය.

මෙම සාපරාධී යුද්ධය දියත් කොට ඇත්තේ, ඇමරිකානු නගර සහ අසල්වැසි ප්‍රදේශ භීතියට පත් කිරීම සඳහා සංක්‍රමන සහ රේගු බලාධිකාරියේ (ICE) නියෝජිතයන් යොදවා ඇති සහ අයිතිවාසිකම් පනත උල්ලංඝනය කරන පරිපාලනයම ය; එම ආන්ඩුවම ය. 

මෙම යුද්ධය වහාම අවසන් කරන ලෙස ඉල්ලා ඔබේ කම්හල්වල, වැඩපොලවල, පාසල් සහ අසල්වැසි ප්‍රදේශවල රැස්වීම් කැඳවන්න.

ඇමරිකානු ජනතාව මෙම යුද්ධයට විරුද්ධ බවත් එහි කොටස්කරුවන් වීමට අවශ්‍ය නොවන බවත් ලෝකය දැනගත යුතුය.

ස්ථාවරයක් ගන්න. ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලස්වන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top