නිහාල් ගීකියනගේ විසිනි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර පහක් නික්ම ගොස් ඇත. ආන්ඩු ගනනාවක්, බෝම්බ ප්‍රහාරය සැලසුම් කල ප්‍රධාන මොලකරු ‘සොයමින්’ වසර පහක් ගෙවා දමා ඇත.
2019 අප්‍රේල් මස 21 වෙනි දින ලෝකය කම්පනය වුයේ මෙම සිද්ධියෙනි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනෙකු විසින් ක්‍රිස්තියානි දේවස්ථාන 3කට සහ සංචාරක හෝටල් හතරකට එල්ල කෙරුනු ප්‍රහාරයෙන් 310 ක් ජනයා මරනයට පත් වු අතර, තුවාල ලැබූවන් 580 ක් විය.මියගිය අය අතරින් 45 ක් විදේශීය සංචාරකයන්ය.
මෙම ප්‍රහාරයට වසර 5 කට පෙර, 2014 දී, ලංකාවේ මුස්ලිම් විරෝධී කැරලි පුපුරා ගිය අතර, මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ දේපල ඉලක්ක කර ප්‍රහාර පැවති රජයන්ගේ අනු දැනුම ඇති ව, “බොදුබල බල සේනා සංවිධානය” විසින් මෙහෙයවන ලදී. 2014 ජුනි මාසයේ අළුත්ගම, බේරුවල හා දර්ගා නගරය යන ප්‍රදේශවලට එල්ල කල ප්‍රහාර වලින් මුස්ලිම් ජාතිකයන් , ඔවුන්ගේ කඩසාප්පු, කර්මාන්ත ශාලා සහ දේවස්ථාන විනාශ කරන ලදී. දසදහසක පමන ජනතාවක් මේ ප්‍රහාරවලින් අවතැන් විය. එයින් අටදහසක් මුස්ලිම් ජාතිකයන් වු අතර ඉතිරි දෙදහස සිංහල ජාතිකයන්ය. මෙහිදී මරන හතරක් වාර්තා වූ අතර අසූවක් දෙනා තුවාල ලැබූහ.
2018 දී නැවතත් සංවිධානය වූ සිංහල බෞද්ධ වර්ගවාදී නඩ මුස්ලිම් විරෝධී ප්‍රහාර දාමයක් ලංකාව තුල දියත් කලෝය. ඒවා මාර්තු මස 2 වෙනි දින සිට මාර්තු මස 10 වෙනි දින දක්වා පැවතිනි. ප්‍රධාන වශයෙන් මෙම ප්‍රහාර අම්පාර හා මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොට පැවති අතර, පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව ද ඒවාට ගොදුරු වූ තවත් ප්රදේශයකි. මහනුවර දිස්ත්‍රික්කයේ උඩිස්පත්තුව, තෙල්දෙණිය, දිගන හා තැන්නකුඹූර ප්‍රදේශ වල මුස්ලිම් පීඩිතයෝ මෙම ප්‍රහාරයේ ගොදුරු බවට පත් වූහ. ඔවුන්ගේ දේපල කොල්ලකෑම , ගිනිතැබීම හා අන් ආකාර වලින් විනාශ කිරීම ද, ඔවුන්ගේ කඩසාප්පු වර්ජනය කිරීමට සිංහල ජනයා පෙලඹවීම එල්ල කරගත් වඳ කොත්තු, වඳ ඇඟලුම්, සිංහල ජාතිය විනාශ කිරීම සඳහා ස්ත්‍රීන් වඳ භාවයට පත් කරන දොස්තරලා ආදී වශයෙන් අතේ පැලවෙන බොරු ප්‍රචාරය කිරීම ද ඇතුලත් වූ මෙම උද්ඝෝෂන, මෙම වර්ගවාදී, ආගම්වාදී ම්ලේච්ඡත්වයේ පරිමාව කෙතෙක් දැයි පෙන්වා දුන්නේය. සුලුතර මුස්ලිම් ජනයාට ජීවිතය ගැන විශ්වාසය තබා මහ මග යාම පමනක් නොව, ස්වකීය වාසස්ථාන වල රැදී සිටීම පවා බිය ගෙන දෙන කරුනක් වන පරිමානයට මෙකී ම්ලේච්ඡත්වය ඉහල නැඟින. මේ තත්ත්වය මෙකී ජනවර්ග අතර ඝර්ෂනයක් ජනනය කරමින්, එයින් පීඩනයට පත් යමෙකු අපරාධයකට පෙලඹවීමට අවශ්‍ය කොන්දේසි ඇති තරම් නිර්මානය කලේය.
බොහෝ පරීක්ෂන වාර්තා හා විශ්ලේෂන පාස්කු ප්‍රහාරයේ මෙම ගතික පදනම් සැලකිල්ලට නොගනී.ඒ වෙනුවට මෙය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා එල්ල කල ප්රහාරයකි යනාදී වශයෙන් කුමන්ත්රන න්‍යායයන් සාකච්ඡාවට යොමු කර ඇත. තමන් සිංහල බෞද්ධයන්ගේ ජනාධිපති යයි කියා ගන්නා මිනිසෙකු බලයට ගෙන ඒම සදහා සුලුතර මුස්ලිම් පීඩිතයන්ගේ කන්ඩායමක් දිවි පුදන්නේ මන්ද යන සරල ප්රශ්නය පවා යටපත් කිරීමට මෙම ධනේශ්වර ප්රතිගාමී ව්‍යාපාර ක්‍රියාත්මක විය. අනෙක් අතට ඉහල මධ්‍යම පංතියේ කන්ඩායමක් වන බෝම්බකරුවන් සිය අඹු දරුවන් ද නොතකා ජීවිත අහිමි කර ගත්තේ කිනම් බලවේගයක පෙලඹවීම නිසාද ? ප්‍රථම කරුන ඉහත සදහන් හිතාමතා සැලසුම්කර ඔවුන් මත හෙලූ ජාත්‍යන්තර පීඩනයයි. තමන් මුහුන දී සිටින තවමත් පිලිතුරක් සොයාගෙන නැති පීඩාව ලෝකය හමුවේ තැබීමට ඔවුහු මෙම මංමුලා සහගත ක්‍රියාව සිදු කලා විය හැක. එය ලොව පුරා මුස්ලිම් මූලධර්මවාදී සංවිධානවල මංමුලාවේ ම කොටසකි.
අද මේ මොහොත වන තුරුත් මියගිය අය හා තව දෙතුන් දෙනෙක් හැර මෙවැනි ක්‍රියාත්මක සංවිධානයක් ලංකාව තුල සිටින බවට කිසිදු සොයා ගැනීමක් කිරීමට ආරක්ෂක අංශ සමත් නොවීම සැලකිය යුතු කරුනකි. පිලිතුර එවැනි සංවිධානයක් නැත. සංවිධානය වී සිටි පිරිස මරාගෙන මැරුනෝ ය. බොහෝ විට ඔවුන් තමන් විසින් සිදු කරන විනාශය මුස්ලිම් පීඩිතයන්ගේ ඇස් අරවන්නක් වනු ඇතැයි විශ්වාස කලා විය හැකිය. සුලු ධනේශ්වරයට ධනේශ්වර පීඩනයට මුහුන දීමේ ශක්‍ය ක්‍රියාමාර්ගයක් නැති වීම ම, මෙවැනි මදාවිකාර ක්‍රියාවන්ට ඔවුන් පොලඹවයි.
කෙසේ වෙතත්, මෙහි නොතකා සිටිය නොහැකි තවත් කරුනක් නම් ආණ්ඩුවේ ප්‍රධානියා වන එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ආරක්ෂක අංශවල ප්‍රධානීන් පමනක් නොව මැති ඇමතිවරුන් මෙම ප්‍රහාරය සිදුවන බවට කල් ඇතිවම තොරතුරු දැන සිටියේය යන්නයි. මෛත්‍රිපාල එයට වැරදිකාරයා බව තීන්දු කල අධිකරනය ඒ වෙනුවෙන් දඩයක්ද නියම කලේය. සිදුවුයේ ප්‍රභූ ආරක්ෂාව මිස ජනතාවගේ ජීවිත නොසලකා හැරීමය. ත්රස්තවාදයට පොලඹ වන සමාජ තත්වයන් නිර්මානය කිරීම මෙන්ම එසේ නිර්මානය කල ත්රස්තයන්ට සෙසු මහජනයා ගොදුරු කිරීම යන දෙ කරුනම සම්බන්ධයෙන් වගකීම ධනපති පාලනය විසින් භාර ගත යුතුය.ගෝඨාභය රාජපක්ෂ හා පොදුජන එක්සත් පෙරමුන මෙන්ම ජාතික ජන බලවේගය ද පාර්ලිමේන්තු බලය දිනා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය යහමින් භාවිතා කලෝය.
ලෝකය පුරා ජනයා කම්පනයට හා කෝපයට පත් කල මෙම ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ ‘මහා මොලකරුවන්’ පිලිබඳ ව, ප්‍රහාර දියත් කෙරුනු ලෝක තතුවලින් වෙන් කොට සාකච්ඡා කිරීම නිෂ්ඵල ක්‍රියාවකි.
ඇමරිකාව ප්රමුඛ අධිරාජ්‍යවාදීන් 1991 සිට දියත් කල යුද ප්රයත්නය සමග මුස්ලිම් විරෝධී ජාත්‍යන්තර ප්රචාරක ව්‍යාපාරයක් කුලුගන්වා ගැනීම අත්වැල් බැඳී තිබින. එය දෙවනලෝක යුද්ධයේ දී හිට්ලර් දියත් කල යුදෙව් සංහාරයේ ආදර්ශය අනුගමනය කල උපායකි. ඇමරිකානු අධිරාජ්‍යවාදය ප්රමුඛ NATO අධිරාජ්‍යවාදීන් රටවල් 42 ක සහයෝගයෙන් ඉරාකයට එරෙහිව දියත් කල 1990-91පලමු ගල්ෆ් යුද්ධය, 2001 ඇෆ්ගනිස්ථාන ආක්රමනය, 2003 මාර්තු 20 දින ඉරාක ආක්රමනය, 2011 අරාබි වසන්තයේ දී ලිබියාව බෝම්බ දමා සුනු විසුනු කිරීම හා 2011 ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිටු බලය සහිත සිරියානු සිවිල් යුද්ධය යන මෙම මෘග ප්‍රහාර මගින් මිලියන ගණනක් මරනයට ද යුධ සරනගතයින් බවට ද පත් කර ඇත. එම රටවල යටිතල පහසුකම් පොලොවට සමතලා කර මහජනතාව සමාජ කාලකන්නිකමට ඇද දමා ඇත. 2023 වසරේ ඇමරිකානු බ්‍රවුන් විශ්වවිද්‍යාලය ඇමරිකානු යුද වියදම් පිලිබඳ සමීක්ෂණයේ ප්‍රථිපල නිකුත් කරමින් සඳහන් කරන්නේ එක්සත් ජනපදය 2001 දී 9/11 ප්‍රහාරයෙන් පටන් ගෙන කරගෙන ගිය යුද්ධ හේතුවෙන් අවම වශයෙන් මිලියන 4.5 ජනතාවක් මිය ගොස් ඇති බවයි. මෙම පසු බිම තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව පැන නැඟි දැවැන්ත මහජන වෛරය මත හතු පිපෙන්නාක් මෙන් ඉස්ලාමීය ජිහාඩ් කන්ඩායම් බිහි විය.
“කෙසේ වෙතත් සත්‍යය නම්, එක්සත් ජනපදය ප්රමුඛ යුරෝපීය බලවතුන් සහ ඔවුන්ගේ කලාපීය සහචරයින් සියල්ලෝම මින් පෙර ISIS හා ඒ සමාන කන්ඩායම් වෙත මූල්‍ය, මිලිටරි සහ දේශපාලන සහය ලබාදුන් අතර, ‘ඇමරිකාවේදී සාදන ලදී’ (Made in America) යන මුද්‍රාව ඔවුන් මත තැබූ බවයි. මෙහි දී ISIS සංවිධානය, එහි ආගමික උමතුව, ධනවාදයට ඇති කැපවීම සහ උග්‍ර කොමියුනිස්ට් විරෝධය නිසා කැපී පෙනේ. ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය මෙන් ම සෝමාලියාවේ , නයිජීරියාවේ සහ වෙනත් තැන්වල ඇති සමාන කන්ඩායම් අධිරාජ්‍යවාදී බලවතුන්ට පීඩනය යෙදීමට ත්‍රස්තවාදය භාවිතා කර, කලාපීය බල මධ්‍යස්ථානයක් ලෙස අධිරාජ්‍යවාදය සමග නවාතැන් ගැනීමකට ඔවුන්ට බල කරයි.” (ISIS The Jihadist Movement S tamped “Made in America” 30 July 2014 WSWS.org)
2003 ඉරාක ආක්රමනය සඳහා වරපත්ර ලබා ගැනීමට එවකට ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් කොලින් පවෙල් 2003 පෙබරවාරි 5 වෙනිදා ඊනියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඇමතී ය. එහි දී ඉරාකයේ පවතින “සමූහ මිනිස් නාශක අවි” (Weapons of mass destruction) පිලිබඳ ප්‍රබන්ධය ඉදිරිපත් කෙරින. අද වන විට, මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ගේ සාපරාධී බොරුවක් බව ලොවම පිලිගනී. 2001 දී ඇෆ්ගනිස්ථානය ආක්රමනය කිරිමට පෙර ජෝර්ජ් W බුෂ් ප්‍රකාශයට පත් කලේ “පූර්ව භංග යුද්ධය”කි. සතුරා තමාට පහර දීමට පෙර සතුරාට පහර දීම යන ප්රස්තුතය පෙරට දමා ඉතා දිලිඳු හා පසුගාමී ජනතාවක් ගල් යුගයට යවන බවට වහසිබස් දොඩමින්, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් ඇෆ්ගන් ජනතාව මත මහා විනාශයක් පතිත කරනු ලැබිනි. 20 අවුරුද්දකට පසු ඇමරිකානු අධිරාජ්‍යවාදීහු යුද්ධයෙන් පරාජය වූහ. මෙම ප්‍රහාර දෙකේ මූලික අරමුණ වූයේ ඉරාකයේ තෙල් බිම් කොල්ලකෑමත්, ඇෆ්ගනිස්ථානයේ තමන් මත යැපෙන ස්ථාවර රාජ්‍යයක් ගොඩනගා ගෙන මධ්‍යම ආසියාවේ භූ සම්පත් තම ආධිපත්‍යයට යටත් කර ගැනීමත් බව අද නොරහසකි.
ඇමරිකානු සහ NATO අධිරාජ්‍යවාදීන් ගේ සාපරාධී යූද්ධයන් ගෙන් සරනගතයින් බවට පත්වූ මිලියන ගනනක ජනයා ජීවිතය සොයමින්, මුහුදූ මාර්ග හා ගොඩබිම් මාර්ග ඔස්සේ මාරාන්තික ගමනකින් පසුව යුරෝපයට ලගා වූ අතර, මෙම සරනගතයෝ යුරෝපා අධිරාජ්‍යයවාදීන්ගේ සහය ලබන ෆැසිස්ට් කල්ලිවල අපමන තාඩන පීඩන වලට ලක් වෙමින් සිටිති.
2024 දෙසැම්බර් මස 8 වෙනි දින සිරියානු රජය බිඳ වැටුනු අතර, බසාර් අල් අසාද් බලයෙන් පහ කෙරුනි.හයාට් ටරීර් අල්-ෂාම් (HTS) යන ඉස්ලාමීය කැරලි කණ්ඩායම සිරියාවේ බලය අල්ලා ගෙන ඇත. HTS හි පෙර ගමන් කරුවන් වන්නේ අල්කයිඩා, ISIS හා අල් නුස්රා යන ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම් ය. සිරියාව තුල ජීවත් වන සුළු ජාතීන් බියට පත්වී ඇති බව වාර්තා වේ. පසුගිය සිවිල් යුද සමයේ ඉස්ලාමීය කැරලි කරුවෝ සිරියානු සුලු ජාතීන් වන ක්‍රිස්තියානි, ඩෲස්, ෂියා හා අලවයිට් ජාතිකයන් විශාල ලෙස මරා දැමූහ. මේ වන විට සමාජ මාධ්‍ය වල කැරලි කරුවන් ස්ථාන දෙකක දී අලවයිට් ජාතිකයන් දෙදෙනකුගේ ඇස් බැඳ වෙඩි තබන රූප රාමු සංසරනය වේ.සිරියාවේ කතෝලික පල්ලියේ නියෝජිත කාදිනල් මාරියෝ සෙනාලි, HTS විසින් ඇලෙප්පෝ නගරය අල්ලා ගත් පසු එහි තත්වය වතිකානු පුවත් වෙත වාර්තා කලේ ය. “ඇතැම් කලාප තරමක් සන්සුන් ය, නමුත් සැක සංකා සහිතය. විශාල භීතියක් පවතී. රජයේ කාර්යාල වසා ඇත. රජයේ හමුදා අතුරුදන්ව ඇත. සන්නද්ධ කන්ඩායම් වීදි අරක් ගෙන ඇත. සිවිල් වැසියන්ට පහර නො දෙන බවට ඔවුහු පොරොන්දු වෙති. මේ වන තුරු ඔවුන් මෙම පොරොන්දුවට ගරු කර ඇති බව පෙනේ. නමුත් තවමත් මිනිස්සු බියට පත් වී නිවෙස් වලට වී සිටිති. භීෂණය සහ අවිනිශ්චිත පාලනය රජයයි.”
මෙම ලෝක දේශපාලන තතුවලින් වෙන් කර ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වටහා ගැනීම කල නො හැකි ය. ඊනියා පරීක්ෂන මග හරින්නේ හා වසන් කරන්නේ එම සැබෑ හේතූන් ම ය. පාස්කු ප්‍රහාරය පිලිබඳ සියලු පරීක්ෂන නැවතී ඇත්තේ තිරයෙන් පසුපස සිට එය සංවිධානය කල හස්තය හෙලිදරව් කිරීමට මෙපිටිනි. පාස්කු ප්‍රහාරය පිලිබඳ පූර්ව අනතුරු හැඟවීම් කොතෙකුත් දේශීය හා විදේශීය ඔත්තු සේවා විසින් ලබා දෙනු ලැබ තිබීන. එහෙත් එය වැලැක්වීමට මැදිහත් වීම රාජ්‍යය විසින් හිතාමතා මඟ හරින ලද සෙයකි. විවිධ බලපෑම් හා විවිධ උත්සුකයන් ඒ පසුපස තිබෙන්නට ඇත. “අපරාධයක සුලමුල සොයා ගැනීමට නම්, එම අපරාධයේ අර්ථ ලාභියා සොයා ගත යුතුය” යන්න අපරාධ විද්‍යාවේ සිද්ධාන්තයකි. කතෝලික පල්ලි වැනි සංවේදී ස්ථාන ද, යුරෝපීයයන් බහුලව ගැවසෙන ප්‍රධාන සංචාරක හෝටල් ද ඉලක්ක කෙරෙන ප්‍රහාරයක් ISIS වැනි ඉස්ලාම් අන්තවාදීන්ගේ සංවිධානයක් විසින් මෙහෙයවනු ලැබීම යනු, ඉහත විස්තර කල මුස්ලිම් ජනයා එල්ල කර ගත් විනාශකාරී ප්‍රහාර පන්නයේ නව ප්‍රහාර සඳහා අවශ්‍ය මහජන මනෝභාවයන් සඳහා මාවත විවර කිරීමක් නොවන්නේ ද? එය මුලුමනින් සේවය කරන්නේ කාගේ භූ දේශපාලන අවශ්‍යතා වලට ද? දැන් ගාසා තීරයේ හා ලෙබනනයේ නිර්මානය කර ඇති රුධිර ගංගාවන්ගේ පූර්ව සැලසුම් සමඟ මෙම ප්‍රහාරය බැඳී නැතැයි කාට නම් කිව හැකිද?
අපේක්ෂා භංග වූ මධ්‍යම පන්තියේ මෙම මංමුලාවට යටින් පවතින්නේ මධ්‍යම පන්තියේ අභිලාෂවත් සිහින තලා දමමින් දිග හැරෙන ධනේශ්වර ක්රමයේ මාරාන්තික අර්බුදයයි. එක් අතෙකින් ධනේශ්වර අර්බුදයෙන් බැට කමින් තම සමාජ පදනම් දෙදරා යමින් පවතින මධ්‍යම පන්තියට, ඊට ප්රතිපක්ෂ ව නැඟෙන කම්කරු පන්තියේ බලගතු ව්‍යාපාරයක් ද දෘශ්‍යමාන නොවේ. මේ තතු විසින් මංමුලාසහගත සාහසිකත්වයට ඇද දැමෙන මෙකී මධ්‍යම පන්තිය පෙරලා තම අවශ්‍යතා සඳහා මෙහෙයවා ගැනීමට ඇටවූ ධනේශ්වර උගුල් රාශියක් පවතී. දේශීය ධනපති පන්තියේ අවස්ථාවාදී උපාමාරු සඳහා ද අධිරාජ්‍යවාදයේ භූ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ද බලල් අත් ලෙස මෙම බලවේග යොදා ගැනේ. ධනේශ්වර ක්‍රමය විසින් වනසන ලද සිහිනවලින් යුත් වියරුහුනු ස්ථරයක් එකී ධනපති ක්‍රමය විසින් ම ඔවුන්ගේ ම භූ දේශපාලන මූලෝපායයන් වෙනුවෙන් මරනය කරා හරවා යවනු ලැබෙන්නේ එපරිද්දෙනි. එම විනාශකාරීත්වය පිලිබඳ ව ඔවුන් ම පවත්වන පරීක්ෂනවලින් කිසි දා සත්‍යය හෙලි වනු නැත.
මේ ආකාරයේ මං මුලාසහගත ත්‍රස්ත ක්‍රියා සදහටම නතර කිරීම අවශ්‍ය ය. එහි මූලික කොන්දේසිය ලෙස විශාල සමාජ ස්ථරයක් අපේක්ෂා භංගත්වයට ඇද දමන, හා යලි ඒවා තමාගේ ම අවශ්‍යතා සඳහා විනාශයට දක්කනු ලබන ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම අත්‍යවශ්‍ය වේ. ජරපත් ධනපති ක්‍රමය ලේ ගංගාවල කිමිදී තම පර්යාය රැක ගැනීමේ වියරු සහගත ප්රයත්නයක යෙදී සිටී. සියලු වර්ගවාදී, ආගම්වාදී හා බෙදුම්වාදී ගැටුම්වල මූලය පවතින්නේ එම ධනේශ්වර අවශ්‍යතාව තුල ය. එකී ගැටුම් අවසාන කිරීමේ අභියෝගය භාර ගත හැකි එකම බලවේගය වන්නේ ධනපති ලාභය මත තම පැවැත්ම රඳා නො පවත්නා එකම පන්තිය වන කම්කරු පන්තියට පමනෙකි. සියලු වාර්ගික ආගමික හා ජාතික භේදවලට එරෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර සන්ධානයකට හා, එවැනි සන්ධානයක නායකත්වයෙන් මෙහෙයවනු ලබන මහජන ව්‍යාපාරයකට පමනක් සියලු වර්ගවාදී යටි උගුල් කපා දමා සැබෑ වාර්ගික එකමුතුවකට පදනම දැමිය හැකි වනු ඇත
මෙහෙයින්, පාස්කු ප්‍රහාරය පිලිබඳ සැබෑ පරීක්ෂනයක් සිදු කරමින් සත්‍යය හෙලි කල හැක්කේ, කම්කරු පන්තියේ ඡන්දයෙන් පත් කරන හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය ලබන කම්කරු පරීක්ෂනයකට ම පමනි.