නන්දන නන්නෙත්ති විසිනි

2026 ජුලි 1දා සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගලපා වැටුප සමග ගෙවා ඇත. තමන්ට රුපියල් 60,000 මුදලක් වැටුපට එකතු වී ඇති බව, පසුගිය දා මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ ය. ආන්ඩුව, “එපා ද, එපා නම් නො ගෙන ඉන්න“යි අර්චුනාට කෝචොක් කලේ ය. ඒ අනුව රුපියල් 60,000 දක්වා වන ගනන් ඉන්ධන වියදම් ලෙස, දුර ප්‍රමාන අනුව මන්ත්‍රීවරුන්ගේ පඩියට ලහි ලහියේ එකතු කර තිබේ.
පසු ගිය 10, 11 දෙදින තුල ග්‍රාම නිලධාරීහු ඉන්ධන දීමනාව වැඩි කරන ලෙස බලකරමින් ලෙඩ නිවාඩු දමූහ. 2018 සිට මේ දක්වා, ඔවුන්ට ගෙවූ රුපියල් 600/= ප්‍රවාහන වියදම් දීමනාව ශතයකින්වත් වැඩි වී නැත. එසේම, සියලු දීමනා සහිතව ග්‍රාම නිලධාරීයකුගේ වැටුප, දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ගෙවන ඉන්ධන දීමනාව නොඉක්මවන මුදලකි. එය, රුපියල් 55,000ත් 65,000ත් අතර ය.
2024 දී ග්‍රාම නිලධාරීන් සඳහා ඉන්ධන ලීටර් 20ක දීමනාවක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුන ද මේ දක්වා එය ක්‍රියාත්මක කර නැත. මෙවර ඔවුන් රජයෙන් කල ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, පසුගිය අය වැයෙන් ඊට ප්‍රතිපාදන වෙන් කර නැති බවත්, 2027 අය වැයෙන් එය ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා ඇත. එතෙක් සිය සොච්චම් පෞද්ගලික වැටුපෙන් ගමන් වියදම් දැරීමට නො හැකි බව ග්‍රාම නිලධාරීහු කියති.
නමුත් මන්ත්‍රීවරුන්ට 2026 සිට පැවති ඉන්ධන සීමාවට අදාල චක්‍ර ලේඛය ජුලි 1දා සිට බලපැවැත්වෙන පරිදි වහාම අවලංගු කර, නව ගැලපුම් කිරීමට ආන්ඩුවට හැකියාව තිබිනි. ඒ ජාතික ජන බලවේගය ආන්ඩුවේ සමානතාවය ක්‍රියාත්මක වන ආකාරයයි.
පොදුවේ කෘෂි උපදේශක, සමෘද්ධි වැනි සියලු බිම් මට්ටමේ නිලධාරීහු මෙම ප්‍රශ්නයට මුහුන දී සිටිති. කෘෂිකර්ම උපදේශක මුලු වැටුප රුපියල් 60,000 – 75,000 අතර ය. ක්ෂේත්‍ර හා ගමන් වියදම්වලදී ඉන්ධන දීමනාව ගනන් ගන්නේ ධාවන සටහන් පොත (Running Chart) අනුව ය. 2024 වසරේ සිට මේ නිලධාරීන්ට ගෙවන ඉන්ධන දීමනාව රුපියල් 7,500කි. මේ සඳහා, වරු 12ක් සහ කිලෝ මීටර් 400 ඉක්මවා ක්ෂේත්‍රයේ වැඩ කර තිබිය යුතු අතර සංචාරය කල දුර ප්‍රමානය කොතෙක් වුවත් එක වරුවක් හෝ අඩු වුවහොත් ඒ අනුව 1/12 වශයෙන් දීමනාව කපා දමයි.
2024 දී එතෙක් ගෙවූ රුපියල් 5,500 දීමනාව 7,500 දක්වා ගෙන ඒමත් සමග, එතෙක් පුහුනු කටයුතු සඳහා සහභාගී වීමේ දී නවාතැන් ආහාර හා ගමන් වියදම් ලබා දීමට අමතරව ගෙවූ රුපියල් 700- 800 වූ, වාර දෙකකට යටත්ව ගෙවූ සංයුක්ත දීමනාව කපා හැර ඇත. එනම් 2024 වැඩි කර ඇත්තේ යම්තම් රුපියල් 1000 ඉක්ම වූ ප්‍රමානයක් පමනි. නව ගැලපුම් ගැන කතාවක් නැත.
මෙවන් බොහෝ රාජ්‍ය සේවකයන්ගේ ඉන්ධන දීමනා ලබා ගැනීමට මාස 6කට වඩා කාලයක් – සමහර විට අවුරුද්දක් පවා – බලා සිටිය යුතු ය. මෙහි අර්ථය නම්, ලැබෙන සොච්චම් වැටුපෙන් රාජකාරී අවශ්‍යතා උදෙසා වැය කර පෞද්ගලික අවශ්‍යතා අත් හැරීම, හෝ ඒ සඳහා නය ගොඩට තවත් නය එකතු කර ගැනීම ය.
2024 හා 2025 අය වැය ලේඛන මගින් වැඩි කෙරුනු වර්තමාන වැටුප් මට්ටම රජයේ සේවකයන්ගේ මිල දී ගැනීමේ (ක්‍රය) ශක්තිය දශමයකින් හෝ ඉහල දැමුවේ නැත. සත්‍යය නම්, ඒවා 2019 පැවතියාට වඩා අතිශයින් පහත හෙලා ඇති බව ය.
වැටුප් වැඩි කිරීම ඇස් බැන්දුමකි. 2019 දී සියලු දීමනා සහිතව, රුපියල් 45,000ක වැටුපක් හිමි වූ අයෙක් 2027 වන විට 75,000 පමන වැටුපක් ලබති. එනම් දල වශයෙන් 65% කින් පමන වැටුප් ඉහල ගොස් ඇත. එහෙත් මේ කාලය තුල භාන්ඩ මිල 150%ට වඩා වැඩි වී, එදා රුපියල් 35,000ක් වූ මාසික වෙලඳ පැස රු. 85,000 දක්වා පිම්මේ ඉහල ගොස් ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන්ට අනුකූලව ඉහල දැමූ වක්‍ර බදු ගෙවීමට සිදුවන නිසා සෑම මිල දී ගැනීමකදී ම අමතර වැය කිරීමකට නැති නම් කොල්ලකෑමකට පාරිභෝගිකයා ගොදුරු වේ. ආන්ඩුවේ සොච්චම් වැටුප්වලින් ජීවන වියදම පියවා ගැනීමට කිසි සේත් ම හැකියාවක් නැති බව රහසක් නොවේ.
අමතරව සේවක පුරප්පාඩු නො පියවා රජයේ සේවකයන් මත දැරිය නොහැකි රාජකාරී පීඩනයක් ද පවත්වා ගෙන යයි. විශේෂයෙන් සෞඛ්‍ය වැනි සේවාවල සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල මෙය කැපී පෙනේ. තත්වය කෙතරම් විනාශකාරී ප්‍රතිඵල ඇති කර තිබේ ද යත්, ගුරුවරුන්ගෙන් 30.4%ක් විශාදයෙන් පෙලෙන බවත් තවත් 13.4% ක් මධ්‍යම මට්ටමේ මානසික පීඩනයට ලක්ව සිටින බවත්, මෑතක රජරටව විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් විසින් “ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ගුරුවරුන්ගේ ආර්ථික බර සහ මානසික සෞඛ්‍ය පීඩනය“ (Examining the economic burden and mental health distress among government schoolteachers in Sri Lanka) නමැති වාර්තාවෙහි පැහැදිලිව සටහන් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාවේ සෞඛය සේවකයන්ගෙන් 42.5% ක් සීමාව ඉක්ම වූ කාන්සාවෙන් Anxiety පෙලෙති. ඉතාමත් කනගාටුදායක ලෙස සෞඛ්‍ය සේවකයන්ගෙන් 4.1% ක් අධි මානසික පීඩනය නිසා දිවි නසා ගැනීමේ සිතුවිලි පවා ඇති කරගෙන ඇත. වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරතයන්ගෙන් 71.4% ක් අනාගතය පිලිබද බලාපොරොත්තු විරහිතභාවයකින් පෙලෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි, ආර්ථික පීඩනය හා රෝහල්වල පුරප්පාඩු නිසා අධිකවැඩ බර හේතුවෙන් පවුල් සබඳතා බිඳ වැටීම විශාදයට බලපාන ප්‍රධාන හේතුවක් වන බව Research Gate වාර්තා කර ඇත.( විස්තර සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ගේ මානසික සෞඛ්‍යය පිලිබඳ පර්යේෂන 2023- 2024 Ceylon medical journal සහ NIH- බලන්න)
දිනපතා ධනපති ව්‍යාපාරිකයන්ගේ ආදායම් ඉහල යමින්, දුප්පතුන් තවත් දුප්පත් වෙමින් රටේ “ඒක පුද්ගල ආදායම“ ඉහල යන අතර, මැති ඇමති හා ඉහල නිලධරයේ වරප්‍රසාද රැකේ.
මෙම අසමානතාව අඳුරේ තබමින් ආන්ඩුව සහ සංස්ථාපිත මාධ්‍ය, රජයේ සේවකයන් රාජකාරිය නිසි ලෙස ඉටු නො කරන දූෂිතයන් ලෙස හුවා දක්වන අවස්ථා බොහෝ ය. මෙය පවතින කොන්දේසිවලට එරෙහි පීඩාවට පත් ජනයා නොමග යැවීමේ දුෂ්ඨ උපායකි. එමගින් සියලු පීඩිත ජනයා එකිනෙකාට විරසකව පිහිටුවා ඔවුන්ගේ සටන් ශක්තිය බිඳ දැමීමට ඔවුහු වැඩ කරති.
වෘත්තීය සමිති ද මහජනයා දැනුවත් වී පන්ති අරගලයක් දක්වා මෙම අරගල වර්ධනය වීම සම්බන්ධයෙන් බියට පත්ව සිටී. ව්‍යාජ වාම සංවිධාන ද එවන් අරගලයක් වැලැක්වීම සඳහා හැකි හැම දෙය ම කරති. රාජ්‍ය සේවකයන් හා පොදුවේ කම්කරු පන්තිය එකිනෙකාගෙන් වෙන් කරමින් ලෙඩ නිවාඩු දැමීම වැනි හුදකලා, බෙලහීන ක්‍රියාවන්ට ඔවුන් යොමු කිරීමට මේ සමිති කටයුතු කරන්නේ එනිසා ය. එම වැඩ පිළිවෙලවල් මඟින් එකදු මූලික ප්‍රශ්නයක්වත් විසඳිය නො හැකි බව අප වටහා ගත යුතු ය. එම වැටහීම අයිතීන් දිනා ගැනීමේ ප්‍රථම කොන්දේසියකි.
කම්කරුවෝ තමන් වටා සෙසු පීඩිත ජනයා ඒකාබද්ධ කර ගත් අරගලයකින් සමාජ අසමානතාව අවසන් කිරීමේ වැඩ පිලිවෙල සඳහා සටන් වැදිය යුත්තාහ. එය මහා වැඩ වර්ජනයක ස්වරූපයෙන් ආරම්භ කිරීම වඩාත් උචිතය. ඒ සඳහා සමස්ත පීඩිත ජනයා දැනුවත් කර සංවිධානය කල යුතු ය. ඊට උචිත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන පාලක පන්තියේ හෝ ඊට සහාය වන පක්ෂ හා සංවිධානවලින් ස්වාධීන වීම අත්‍යවශය ඓතිහාසික අවශයතාවයයි.
