ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
18. ෆැරල් ඩොබ්ස්ට යැවූ ලිපියක්

නිව්යෝර්ක්
1940 ජනවාරි 03
ප්‍රිය ඩොබ්ස්,
… ඔබේ පෞද්ගලික ධාරනාවන්ගෙන් ඔබට පැවසිය හැකි දේට අමතරව ජ්‍යෙෂ්ඨයා සමඟ ඔබ සාකච්ඡා කළ යුතුයැයි හැඟෙන, ඔහු දැනටමත් නො දන්නා නිශ්චිත යමක් මට නැත. මෙහි තතු දිනපතා තීව්‍ර වෙමින් පවතී. ජ්‍යෙෂ්ඨයාගේ මුල් ලිපි හා ලේඛන මේ මිනිසුන් වටහා ගෙන ඇත්තේ අනතුරු හැඟවීමක් ලෙස නො ව මුදු බවේ හා දුබල බවේ සංඥාවක් ලෙස ය. පක්ෂය තුළ සුළු ධනපති විපක්ෂයට ඔහු එල්ල කළ බලගතු ප්‍රහාරය විසින් ඔවුන් පොළඹවනු ලැබ ඇත්තේ නැවතී මොහොතක් සවන් දීමට නො ව, වඩාත් බලගතු උන්මත්තක භාවයකට ඔවුන් ඇද දැමීමට පමණෙකි.
… ඊයේ රාත්‍රියේ පැවැති දේශපාලන කමිටු රැස්වීමේ දී, “ලියොන් ට්‍රොට්ස්කිට විවෘත ලිපියක්” යන මැයෙන් ෂැට්මන් පිළිතුරක් ලියා ඇති බව අපට දන්වන ලදී. ඔවුන් ටික කාලයකට දේශපාලනයෙන් ඉවත් වී කාව්‍ය ප්‍රබන්ධ කියවිය යුතුය. “දේව දූතයන් පය ගැසීමට බිය වන භූමිය කරා මෝඩයෝ දිව යතැ”යි ඇලෙක්සැන්ඩර් පෝප් අනතුරු හැඟවීය. තව ද, හැම්ලට් නාට්‍යයේ දී ශේක්ෂ්පියර්, “සර්ව බලධාරියා ස්වයං-ඝාතනයට එරෙහිව සිය ධර්ම වෛදිකය පිහිටුවා ඇතැ”යි සඳහන් කළේය.
ලෝකයේ බොහෝ මිනිසුන් යුද්ධවලින් මරා දැමෙමින් තිබිය දී, අන්තරායකර කලාපයෙන් පිටත සිටින අන්‍යයන් ස්වයං විනාශයේ ධූර්තියකට පිටත්වීම කණගාටුවට කරුණක් සේ හැඟී යයි.
සහෝදරත්වයෙන්,
ජේ.පී. කැනන්
19. සීට්ල්හි සහෝදරයෙකුට ලියූ ලිපියක්
නිව්යෝර්ක්
1940 ජනවාරි 4
ප්‍රිය ඩික්,
ඔබේ දෙසැම්බර් 27 දාතම දරන ලිපිය ලැබීමෙන් අතිශය සතුටට පත් වූයෙමි.
වර්තමාන අභ්‍යන්තර මතභේදය සම්බන්ධයෙන් පක්‍ෂයේ සහෝදරවරුන්ට අධ්‍යාපනය ලබා දීමට උපරිම අවධානයක් කැප කිරීම අත්‍යවශ්‍ය ය. ඉදිරියේ එන පක්‍ෂ සම්මේලනය ඇත්තෙන්ම හතරවැනි ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාවේ සැබෑ පදනම් සමුළුව වනු ඇත. එය විසින් හතරවැනි ජාත්‍යන්තරයේමත් සැබෑ පදනම් සම්මේලනය නියෝජනය කෙරෙනු ඇතැයි වඩාත් පුළුල් අර්ථයකින් අපට පැවසිය හැක. මෙහි දී අපි, වර්තමාන කාල පරිච්ඡේදයේ දී නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් පැවැත්වීමට හැකි එකම රට තුළ දී, (පක්‍ෂ) වැඩ පිළිවෙල පෙරළා දැමීම සඳහා දැරෙන ඒකාග්‍ර ප්‍රයත්නයකට ඒකරාශීව මුහුණ දෙන්නෙමු. ඉදින් එය මෙහි දී තරයේ ප්‍රතික්ෂේප වුවහොත්, එය හතරවැනි ජාත්‍යන්තරයේ ලෝක පරිමාන වර්ධනයේ සන්ධිස්ථානයක් නියෝජනය කරනු ඇත.
මේ දෘෂ්ටි කෝණයෙන් ගත් කල, ඔබ මෙම සමුළුවට නියෝජිතයෙකු ලෙස සහභාගී වීම අතිශය වැදගත් ය. අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය මුදල් වෙනුවෙන් උදව් කිරීමට අපි කිසියම් මඟක් සොයා ගන්නෙමු.
ව්‍යවස්ථාවට අනුව ඔබේ ශාඛාවෙන් තෝරා පත් කරන බලය ලත් නැගෙනහිර නියෝජිතයෙකු සහභාගී කරවීමට අපට හැකි වනු ඇත. එහෙත් මේ සම්මේලනයේ සැබෑ අභිප්‍රාය සඵල වන්නේ රටේ සෑම ප්‍රදේශයකින් ම වඩාත්ම සුදුසුකම් සහිත සහෝදරවරුන් පෞද්ගලිකව ම එයට සහභාගී වන්නේ නම් පමණෙකි.
මේ දෘෂ්ටි කෝණයෙන් ගත් කල, කාලගුණය තරමක් හෝ හොඳ අතට හැරෙන තුරු සමුළුව කල් දැමීමේ යෝජනාවට ඔබේ හෘදයාංගම සහාය හිමි වනු ඇතැයි මම සිතමි. එබැවින්, සීට්ල් ශාඛාවෙන් මෙම කල්දැමීම ඉල්ලා සිටින යෝජනාවක් ඉක්මණින් තැපැල් කොට එවීමට ඔබ කටයුතු කරතැයි මම අපේක්ෂා කරමි.
පෝර්ට්ලන්ඩ් ශාඛාව නිත්‍ය ශාඛාවක් ලෙස අධිකාරය ලබා ඇත. ඔබ එහි ගොස් ඔවුන් සාමාජික මුදල් ගෙවා නියෝජිතයෙකු එවීමට අවශ්‍ය කරුණු සපුරා සිටිත්දැයි සොයා බැලීම අතිශය වටනේය; ඇත්තෙන් ම එය අත්‍යවශ්‍ය ය. මෙම වත්මන් කාලයේ එවැනි සවිස්තරාත්මක තොරතුරුවල වැදගත්කම පමණට වඩා අවධාරණය කිරීම යනු මට නො කළ හැක්කකි. එමෙන්ම, වැන්කුවර් සම්බන්ධ කර ගැනීමට ඔබ කටයුතු කරන්නේ නම් ඉතා හොඳය. ටොරොන්ටෝවේ සිටින සහෝදරවරුන්ගේ විශාල බහුතරයක් බහුතර පාර්ශ්වයේ ආස්ථානයට සහය දක්වන බව අපට අසන්නට ලැබිණ. එහෙත් වැන්කුවර් ද නිවැරදි ආස්ථානයට එළැඹීම එසේ ම වැදගත් වේ.
සහෝදරත්වයෙන්,
ජේ.පී. කැනන්
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2, 10, 11-I, 11-II, 11-III, 12-I, 12-II, 13, L1, L2, L3, L4, L5, L6, L7, L8, L9, L10, L11
