(2026 ජනවාරි 26 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ “Trump’s “Murder, Inc.” and the execution of Alex Pretti” නමින් එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය විසින් පළ කළ ලිපිය ඇසුරෙනි)
පරාක්‍රම කුරුප්පු විසිනි

මිනිඇපලස්හි යුද විශ්‍රාමිකයන්ගේ රෝහලේ (VA Hospital) කඩිනම් සත්කාර ඒකකයේ (ICU) හෙද නිලධාරියෙකු ලෙස සේවය කළ 37 හැවිරිදි ඇලෙක්ස් ජෙෆ්රි ප්‍රිටි, පසුගිය 24 වන සෙනසුරාදා ට්‍රම්ප් තන්ත්රයේ ICE (ආගමන හා රෙගු නීති බලාත්මක කිරීමේ බලකායේ) ඝාතකයන් විසින් මහ මඟ වෙඩි තබා ඝාතනය කරන ලදී.
අන්‍යයන් සුවපත් කිරීම සඳහා සේවය කළ කාරුණික පුද්ගලයෙකු වූ ප්‍රීටි මරා දැමීමෙන් පසු ඔහු “දේශීය ත්‍රස්තවාදියෙකු” ලෙස නම් කිරීමට ක්‍රියා කළ ධවල මන්දිර නිලධාරීහු, සිය අපරාධ සාධාරණීකරණය කිරීම උදෙසා කෙතෙක් පහත් අඩියකට පත්වීමට තමන්ට හැකිදැයි විදහා දැක්වූහ.
ප්‍රිටි ඝාතනය වූ කලී, ICE බලකාය විසින් සිය ප්‍රාන්තය ග්‍රහණයට ගෙන සිටීමට හා එහි ක්‍රියාත්මක පොලිස් රාජ්‍ය තතුවලට එරෙහිව ඊට ඉහත දිනයේ මිනසෝටාහි ලක්ෂයකට අධික ජනයා පෙළපාලි දැක්වීමට එරෙහිව දැක්වුණු ට්‍රම්ප්ගේ අපරාධකාරී තන්ත්රයේ ප්‍රතික්‍රියාව විය.
ප්‍රිටි ඝාතනය වී ඇත්තේ විරෝධතාකාරියකට එරෙහිව ගම්මිරිස් සිංචක (Pepper spray) ප්‍රහාරයක් එල්ල කළ ICE හා CBP (රේගු හා දේශසීමා ආරක්ෂක බලකායේ) ඒජන්තයන් ඇයට පහර දී බිම හෙලූ කල, ඇයට සහාය වීමට මැදිහත් වීමේ දී ය. වීඩියෝ වාර්තා වලින් පැහැදිලිව පෙනී යන පරිදි, සිය ජංගම දුරකථනය පමණක් අතැතිව සිටි ඔහු අල්ලා ගත් ෆෙඩරල් ඒජන්තයන්, ඔහුගේ බඳ පටියේ තිබූ ඔහු සතු නීත්‍යානුකූල පෞද්ගලික ගිණි අවිය උදුරා ඉවත් කර ඔහුට පිට පිට දහ වතාවක් වෙඩි තබා ඇත.
මේ වන විට දස ලක්ෂ සංඛ්‍යාවක් නරඹා ඇති මෙම වීඩියෝ දර්ශන ඒ සා පැහැදිළිව මෙම මිනී මැරුමේ කුරිරු ස්වභාවය ප්‍රකට කරන අතරතුර ට්‍රම්ප්ගේ අපරාධකාරී තන්ත්රය ජනයාගෙන් මෙසේ අසති: “ඔබට අප කියන දේට වඩා ඔබේ ඇස් විශ්වාස ද?”
මීට ඉහත දී සිදු කල රෙනේ නිකෝල් ගුඩ් ඝාතනයේ දී මෙන් ම මෙහි දී ද පවත්නා වීඩියෝ සාක්ෂි එම අපරාධ නිසැක ලෙස සනාථ කිරීමෙහි සමත් ය. ප්‍රිටි කිසි විටෙකත් සිය ගිණි අවියට අත නො තැබූ බව ඒවායේ මනාව පෙන්නුම් කෙරේ. මේ බලගතු සාක්ෂි ඉදිරියේ ‘ස්වාධීන පරීක්ෂණයක්’ ඉල්ලා සිටිමින් ඩිමොක්රටික් පක්ෂය, ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයක් ගොඩ නැගීමේ ට්‍රම්ප්ගේ ප්රයත්නය සඳහා අවශ්‍ය කාලය උපයා දීමට තැත් කරයි.
ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ප්රයත්නය රහසක් නො වේ. ඔහුගේ මුල් පාලනය අවසාන කෙරුනේ ෆැසිස්ට් කුමන්ත්‍රණ ප්රයත්නයකිනි. නව පාලන වාරය සඳහා පැවැති මැතිවරණ උද්ඝෝෂණයේ දී, ” පළමු දිනයේ සිට ම මම ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කරන්නෙමැ” යි ඔහු එළිපිට ම වහසි බස් දෙඩීය. ඩිමොක්රටික් පක්ෂය මෙය නො දුටු, නො ඇසූ ලෙස හැසිරීම මුග්ධත්වයක් ලෙස ගැනීම වරදකි. ඊට ඉඩ හැරීම ඔවුන්ගේ ද පන්ති අවශ්‍යතාවයයි.
ඇමරිකානු ඩොලරයේ අගය කිසිදා කිසිවෙකු විසින් පෙර නො දක්නා ලද මට්ටමකට ඇද වැටී ඇත. කෙටි කලෙකට ඉහත දී ලෝක මූල්‍ය කතිපයාධිකාරීන් තිගස්සවමින් රන් අවුන්සයක අගය ඇ. ඩොලර් 4,000 ඉක්මවා ගිය අතර අද එය ඇ.ඩො. 5,000 ද ඉක්මවා ඇත. මෙය ලොව පුරා ම ඇමරිකානු ඩොලරය පිළිබඳ විශ්වාසනීයත්වය මුළුමනින් දෙදරවන තත්ත්වයකි. එහි ජාතික ණය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා යයි. එක්සත් ජනපදය පසුවන්නේ රාජ්‍ය බංකොලොත් භාවයේ එළිපත්තේ ය. ආර්ථිකය අගාධයක මුවවිට වෙළෙවි වෙමින් පවතිද්දී පාලක ප්රභූහු සිය ධනය හා බලය රැක ගැනීම සඳහා වියරුහුණු ප්රයත්නයක යෙදෙමින් රුදුරු ලෙස මහජනයා මත කඩා පනිති.
ඇලෙක්ස් ප්‍රිටි ඝාතනය, මිනිඇපලස්හි මුදා හැරෙමින් පවතින පැරාමිලිටරි ත්‍රස්තවාදය දැවැන්ත ලෙස උත්සන්න කිරීමක් සනිටුහන් කරයි. එකී උත්සන්නිය වූ කලී, කැරළි පනත බලාත්මක කර, ඇමරිකාවේ සියලු නගර මිලිටරි ග්‍රහණයට නතු කර, එක්සත් ජනපදය තුළ ජනාධිපති ඒකාධිපතිත්වයක් පිහිටුවා ලීමේ කුමන්ත්රණයක කසකරුවා ය.
ජාත්‍යන්තර කම්කරු පන්තිය මේ අනතුරු සංඥාව වහා හඳුනා ගත යුතුය!
